ඈ අතිශය ශෝභමාන සිහින් තරුණියකි. දුහුල් සළුපිළියෙන් සැරසී, හිස මල් ගවසා, අභරණ පැළඳ අලංකෘතව සිටියාය. ඉරියව්වෙන් ආකාශචාරී ස්වභාවයක් පළ කළේය. මේ කුඩා බිතුසිතුවමක ස්වරෑපයයි. ඇය දේවතා රුවකි. මෙය පිහිටා ඇත්තේ අම්පාර නීලගිරි දාගැබට නුදුරින් වන මැද පිහිටි නීලගිරි කන්දේ ගුහා සිතුවමකය. නිලගිරි සෑය අයිති පුරාණ මහා විහාරයටම අයත් ක්ෂේත්‍රයේ මේ සිතුවම් ලෙන ද පිහිටියේය.
නීලගිරි හෙල නමින් හඳුන්වන මේ කන්දට පිවිසීමට නීලගිරි සෑය පුරාවිද්‍යා බිමේ සිට තරමක් දුර වනය හරහා ගමන් කළ යුතුය. චිත්‍ර පිහිටි ස්ථානය දක්වා ගමන් කරන විටත් පුරාණ ගොඩනැගිලිවල නටබුන් දැකගැනීමට ලැබේ.
අද වනාන්තරයට යටව පැවතියද නීලගිරි හෙල පුරාණයේ බොහෝ බැතිමතුන් පැමිණෙන විහාරයක් ලෙස පවතින්නට ඇති බව පෙනේ. ලෙන්වල පිහිටා තිබූ බිතුසිතුවම් බොහෝ දුරට විනාශ වී පැවතියත් සමහර චිත්‍ර කොටස් ඉතිරිව පවතී.
එහි පිහිටි සිතුවම් අතර වඩාත් විශේෂත්වයක් ගන්නා චිත්‍රය වන්නේ අප ඉහතින් සඳහන් කළ දෙවඟනයි. ඒ සිතුවම ප්‍රමාණයෙන් සෙ.මී. කිහිපයකි. ඉතා කුඩා රුවකි. මේ සිතුවම ගැන අපට දැනගන්නට ලැබුණේ අරුණ ශාන්ත නම් පර් යේෂකයා පළ කළ නීලගිරි හෙල බිතුසිතුවම් නම් පර් යේෂණ කෘතියෙනි. මෙසේ රට පුරා ඇවිදිමින් බිතුසිතුවම් ගැන සොයන අරුණ ශාන්ත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක් මෙන්ම පුරාවිද්‍යා විද්‍යාපති උපාධිධරයෙකි. බැංකු නිලධාරියෙකි. කොටියාගල බිතුසිතුවම්, හෙනන්නේගල බිතුසිතුවම්, කුරුල්ලන්ගල කුරුල්ලෝ ඇතුළු පොත් ඔහු මෙයට පෙර පළ කර තිබේ. නීලගිරි හෙල සිතුවම් ගැන මෙයට පූර්වයෙන් විස්තරාත්මක අධ්‍යයනයක් සිදු කර නොමැත.
නිලගිරි හෙල කන්ද පිහිටා ඇත්තේ පහළ හැඩඔය නිම්නයේය. කන්ද උසින් මී. 156 කි. ප්‍රධාන ගිරිකුළු දෙකකින් සමන්විතය. අනුරාධපුර යුගයේ දී මෙහි බිතුසිතුවම් සහිත කුඩා පිළිමගෙය නිර්මාණය වී තිබේ. ගල් කුඩයක් බඳු පර්වත පියස්ස ඇසුරු කර පිළිම ගෙය නිර්මාණය කර ඇත. මෙහි පිහිටි පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපියකට අනුව දුනුවායෙක් විසින් සකස් කරවා සංඝයාට පූජා කර තිබේ. මෙහි ප්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් ද දැකගත හැකිය. මේ ප්‍රාථමික සිතුවම් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත්වීමේ සම්භාවිතාව ඉහළ බව අරුණ ශාන්ත සඳහන් කරයි.
ලෙනෙන් හමුවන ක්‍රි.පූ. යුගයට අයත් ශිලා ලිපි තුනකි. උපාසක සොණගේ ලෙන, පරුමක තමරගේ පුත් පුසගේ ලෙන, ස්වාමි ධර්මගුප්තගේ ලෙන එම සෙල්ලිපිවල සඳහන් වේ. ඊට අමතරව අරුණ ශාන්තගේ පර් යේෂණවලින් තවත් සෙල්ලිපි 6 ක් හඳුනාගෙන තිබේ. දුනුවායෙක් වන මජ, පරුමක ශිවගේ බිරිය, සුමන, ආදී නම් ඒවායේ සඳහන්ය. සමහර ලෙන් ලිපි ගෙවී යාම නිසා කියවා ගැනීම අපහසු වී ඇත.
නීලගිරි හෙල මහාදාඨික මහානාග රජුගේ පාෂාණදිපිකා විහාරය විය හැකි බව සී.ඩබ්ලිව්. නිකලස් සඳහන් කරයි. මහාචාර්ය රාජ් සෝමදේව සොයාගත් පර්වත ලිපියකට අනුව කූටකණ්න ගාමිණි අභය (ක්‍රි.පූ. 44-22) රජුගේ පුත් උපරාජ තිස්සගේ දේවිය විසින් උත්තර සීවලී පර්වතයේ පිහිටි විහාරයකට කළ ප්‍රදානයක් ගැන සඳහන් වේ.
මේ ගැන සඳහන් කරන පර් ෙය්ෂක අරුණ ශාන්ත:
''පිළිමගෙය පිහිටා ඇත්තේ ප්‍රපාතාකාර බෑවුමකට මුහුණලායි. පිළිමගෙයි ගෙමිදුල පටුයි. ලෙන දෙපසින් සහ ඉදිරියෙන් ගඩොල් බිත්ති බැඳ තිබුණා. ප්‍රධාන පිළිමගෙයට වම්පසින් ඉතා කුඩා කුටියක් පිහිටා තිබෙනවා. පිළිමගෙයට දැවයෙන් කළ උළුවහු කණු සවිකර තිබී පැවති බවට සාධක පවතිනවා. බිතුසිතුවම් තිබෙන්නේ බුදු පිළිමය තැන්පත් කිරීම සඳහා තැනූ ආසනයට පිටුපසින් පිහිටි හුණු බදාමයෙන් කපරාරු කළ ගල් බිත්තියෙයි. එහි සිතුවම් වර්ග මී. 12ක පමණ අවකාශයක පැතිර පැවති බවට සාධක පවතිනවා. සිතුවම්වලට මෙන්ම එහි හුණු ස්ථරයටත් කාලයාගේ ඇවෑමෙන් හානි සිදුව තිබෙනවා. බොහෝ සිතුවම්වල වර්ණ අඩුවී ගිහින්. ඒ වගේම නරඹන්නන් සීරීම නිසාත් සිතුවම්වලට හානි වී තිබෙනවා.''
දෙවඟනගේ සිතුවම මිලිමීටරයක් පමණ ඉතා සියුම් රේඛා වලින් ඉතා පැහැදිලිව, සියුම්ව සහ මනා රිද්මයකින් යුක්තව නිර්මාණය කිරීමට සිත්තරා සමත් වී තිබේ. ඇය එක කකුලක් නමාගෙන අනිත් කකුල දිගහැරගෙන එක තැනකින් තව තැනකට පාවී යන්නාක් වැනි ඉරියව්වකින් සිතුවම් කර තිබේ. ඇයගේ අඟපසඟ, ඉගටියට පහළින් ඇති වර්ණ, දෑත්වල සහ බෙල්ලේ ආභරණ පැහැදිලිව සියුම්ව සටහන් මතු කර දක්වා ඇත. එම ඉරියව්ව සහ ස්වරෑපය අනුව අරුණ සඳහන් කරන්නේ ඇය ආකාශචාරී දෙවඟනක් බවයි.
ඊට අමතරව මෙහි දේවතා රෑප, වලාකුළු, කිතුල්, තල, කෙසෙල් ආදී ශාක, ගොනුන් බැඳි කරත්තයක්, අතු බෙදුණු ගසක් ආදී සිතුවම් ද මෙහි දැකගත හැකිය.
‘‘මෙතන තිබෙන්නේ පොඩි බුදු පිළිමෙකට ඇඳපු පසුබිමක්. මනඃකල්පිත ස්වරෑපයේ චිත්‍ර මෙන්ම ගසට පසුබිමේ ඇති භූ දර්ශනයේ යථාර්ථවාදී ගමක භූ දර්ශනයක් දැකගත හැකිවීම විශේෂත්වයක්. අනුරාධපුර අවසාන කාලයට අයත් මේ චිත්‍ර ලංකාවේ පුරාණ චිත්‍රවල සම්භාව්‍ය ශෛලිය සහ අපර සම්භාව්‍ය ශෛලිය කියන ශෛලීන් දෙකටම අයත් ලක්ෂණ මිශ්‍රව පෙන්නුම් කරනවා. ඒ නිසා බොහෝ විට මෙම යුග දෙක අතර සංක්‍රාන්ති යුගයක් නියෝජනය කරනවා. බොහෝ විට ක්‍රි.ව. 9 - 11 සියවස්වලට මේ චිත්‍ර අයත් කළ හැකියි. අපට අනුරාධපුර යුගයේ චිත්‍ර මෙන්ම පොළොන්නරු යුගයේ චිත්‍ර හමුවෙනවා. නමුත් අනුරාධපුර යුගයේ සිට පොළොන්නරු යුගයට එන විට ශෛලිය වෙනස් වෙනවා. මේ පරිවර්තනීය ස්වරෑපය හඳුනා ගැනීමට මේ චිත්‍ර ඉවහල් කරගත හැකියි.‘‘ අරුණ ශාන්ත අපට පැවසුවේය.
♦ කුසුම්සිරි විජයවර්ධන
සේයාරුව - කසුන් ද සිල්වා