සිංහල හින්දු අලුත් අවුරුද්ද ගෙවී සති කිහිපයකි. තවමත් නගරවල, ගම්වල අවුරුදු උත්සව සංවිධානය වෙයි. වසර දෙකක පමණ කාලයක සිට අවුරුදු උත්සව පැවැත්වීම සීමිත වීම හේතුවෙන් ගම්වාසීන් ඇතුළු විවිධ සංවිධාන එක්ව අලුත් අවුරුදු උත්සව වැඩි වැඩියෙන් සංවිධානය කර තිබිණි. පලාගල කුඩා හෙට්ටියාව ගම්වාසීහුද මෙවර තම ගම්මානයෙහි අවුරුදු උත්සවයක් සංවිධානය කළහ. අනුරාධපුර ගල්කිරියාගම පොලිස් වසමට අයත් පලාගල ගම්වාසීන් මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබුණේ අප්‍රේල් මස 22 වැනිදාය.
අවුරුදු උත්සවය ගමේ සුබසාධන සංගමයේ මූලිකත්වය මත ගම්වාසීන්ගේද සහභාගීත්වයෙන් සංවිධානය වී තිබිණි. එහි ත්‍යාග සහ අවශ්‍ය මුදල් එකතු කෙරුණේද ගම්වාසීන්ගේ මූලිකත්වයෙනි.
දිනය උදා විය. ඒ අප්‍රේල් මස 22 වැනිදා, සෙනසුරාදාය. ගම්මානයේ පමණක් නොව අහළ පහළ ගම්වල ගම්වාසීහුද කුඩා හෙට්ටියාව පොදු ක්‍රීඩාංගණයට එක්රුස් වූහ. ඒ අවුරුදු උත්සවයේ පළමු තරගය වෙනුවෙනි. බොහෝ අවුරුදු උත්සවවලදී මෙන්ම මෙම අවුරුදු උත්සවයේද ආරම්භක තරගය වූයේ ගම හරහා දිවීමයි.
ගමේ තරුණයෝ මෙම තරගයට ඉදිරිපත්ව සිටියහ. ගුණතිලකගේ දෙවැනි පුතණුවන්ද මෙම තරගයට ඉදිරිපත් විය. තරගකරුවන් තරගයට ඉදිරිපත් වෙද්දී ඔවුන්ගේ සහායට පිරිසක්ද එකතු වූහ. නවවැනි වියේ පසුවුණු දනුක ගුණතිලක ද තම වැඩිමහල් සහෝදරයාගේ තනියට ඉදිරිපත් වී සිටියේය. කුඩා හෙට්ටියාව පලාගල ප්‍රදේශයේ පදිංචි දනුක ගුණතිලක පලාගල මහ විදුහලේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.
''මේක ගම්වාසීන් එකතුවෙලා සංවිධානය කරපු අවුරුදු උත්සවයක්. මාස කිහිපයක් තිස්සේ අපි මේ අවුරුදු උත්සවය පවත්වන්න මහන්සි වුණා. දනුක පුතාගේ තාත්තාත් අපේ මේ ගමේ සුබසාධක සංගමයේ ඉන්නවා. ඔහුත් මේ අවුරුදු උත්සවය සංවිධානය කරන්න ගොඩක් උදව් කළා. ඔය ගම හරහා දිවීමේ තරගයට ගුණතිලක මහත්තයාගේ දෙවැනි පුතාත් ඉදිරිපත් වුණා.'' යැයි අවුරුදු උත්සවයේ සංවිධායක මහතෙක් දේශයට අදහස් දක්වමින් පැවසීය.
තරගය ආරම්භ විය. කිලෝමීටර් හතරක පමණ දුරක් දිවීමට නියමිත විය. එය සංවිධායකවරුන් තීරණය කර තිබුණි. ගුණතිලකගේ දෙවැනි පුතණුවන්ද තරගය ආරම්භ කළේය. පහළොස් හැවිරිදි වියේ පසුවන ඔහුගේ සහායට තම බාල සහෝදරයාද තරගයේ මඳ දුරක් දිව ආවේය. නමුත් මඳ වේලාවකින් තරගය නිමා කිරීමටත් පෙර දනුක පාර අයිනකට වන්නට බිම ඉඳගත්තේය. ඔහු බිම හිඳගැනීමට හේතුව කිසිවකු දැන සිටියේ නැත. තරගකරුවෝ ටිකෙන් ටික ඔහුගෙන් ඈත් වූහ.
''දනුක පුතා පැත්තක වාඩිවෙලා ඉන්නවා ගමේ කෙනෙක් දැකලා තිබුණා. ළඟට ගිහින් කතා කරලා බලද්දි අසනීප තත්ත්වයක හිටපු නිසා ඒ කෙනා දනුක පුතාව වඩාගෙන ගිහින් එයාගේ තාත්තාට බාරදීලා තිබුණා. එතැන හිටපු පිරිස පුතාට ටිකක් අමාරුයි කියලා දැනගත්තු නිසා ඉක්මනටම කලාවැව ග්‍රාමීය රෝහලට රැගෙන ගිහින් තිබුණා. නමුත් ඒ වන විටත් දරුවාට අසාධ්‍යයයි කියලා වැටහුණු නිසාමදෝ ඔහුට හදිසි ප්‍රතිකාර ඉක්මනින් ලබාදිය යුතු නිසා දරුවාව කැකිරාව රෝහලට ගෙන ගොස් තිබුණා.'' යැයි අවුරුදු උත්සව සංවිධායකවරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් කලාවැව රෝහල් වෛද්‍යවරුන්ගේ තීරණය වූයේ දනුකට ඉතා ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු බවත් ඒ සඳහා කැකිරාව රෝහලට රුගෙන යා යුතු බවත්ය. එසැණින් ඔහුට කැකිරාව රෝහලට මාරු කර යැවීමට කටයුතු කෙරිණි. එහෙත් ඔහුට රෝහල් ප්‍රතිකාර ලබාගැනීමට තරම් කාලයක් තිබුණේ නැත. අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ දනුක කැකිරාව රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම මිය ගොස් තිබුණි.
දනුකගේ වැඩිමහල් සහෝදරයා යුද හමුදා නිලධාරියෙකි. පවුලේ තෙවැනි දරුවා වූ දනුකට බාල සහෝදරයක් ද සිටියි. දරුවාගේ මරණය සැල වූ සැණින් අවුරුදු උත්සව සංවිධායකවරු අවුරුදු උත්සවය සම්පූර්ණයෙන් නතර කර දමන්නට තීරණය කළහ. ඊට දින දෙකකට පසුව තම ආදරණීයන්ගේත් ගම්වාසීන්ගේත් යාළු මිත්රාදීන්ගේත් කඳුළු සෝ සුසුම් මැද පුංචි දනුකගේ නිසල දේහය මිහිදන් කෙරුණි.
I දිශානි ජයමාලි කරුණාරත්න