කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ පැවැති උපසම්පදාව පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණයත් සමඟ අභාවයට ගියේය. අතීතයේදී සියම් දේශය ලෙසින් හැඳින්වූ වර්තමාන තායිලන්තයේ සිට උපාලි තේරැන් වහන්සේ නැවත ශ්‍රී ලංකාවට උපසම්පදාව රුගෙන පැමිණියහ. මහනුවර ගෙඩිගේ විහාරස්ථානයේදී උපසම්පදාව ස්ථාපිත කර මේ වසරට වසර 270 ක් ගතව ඇත. එමෙන්ම තායිලන්තය හා ලංකාව අතර තානාපති සම්බන්ධතා ආරම්භ වී වසර 69ක් සපිරීම නිමිත්තෙන් මෙම වෙසක් පුන් පොහොය සමයේදී තාවකාලිකව පැවිදිභාවය ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කොට තිබේ.
''තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර තානාපති සම්බන්ධතාවය ආරම්භ වී මෙම වසරේ ඔක්තෝබර් මාසයට අවුරැදු හැටනවයක් ගත වෙනවා. පසුගිය වසර දෙක තුනක කාලය තුළ බෞද්ධයන්ට වෙසක් පින්කම් සමරන්න ඉඩකඩ ලැබුණේ නැත. ඒ නිසාම මෙම වසරේදී වෙසක් සමයද නිමිති කොටගෙන සහ ගිහි පැවිදි දෙපාර්ශ්වය අතර පවතින සම්බන්ධතාවය, සුහදතාවය වැඩිදියුණු කිරීමටත්, අනාගත පරපුරට මේ පණිවිඩ ලබා දීමටත් භික්ෂු විනය සම්බන්ධයෙන් ගිහියන්ට යම් දැනුමක් ලබාදීමේ අරමුණ ඇතිවත් තමයි මේ වෙසක් සමයේදී තාවකාලික පැවිදිභාවය ලබාදීමේ වැඩසටහනක් අපි ආරම්භ කළේ. ථෙරවාදී බුදු දහම පවතින බෞද්ධ රටවල අඩුම තරමින් සති තුනක්වත් පැවිදි විය යුතු යැයි නීතියක් පනවා තියෙනවා. නමුත් ථෙරවාදී බුදු දහම ඇති බෞද්ධ රටක් වන අපේ රටේ තාම එය නීතිගත කරලා නැහැ. නමුත් තාවකාලික පැවිදිභාවයක අවශ්‍යතාවය ඇති බෞද්ධයන් අපේ රටේ ඉන්නවා. ඒ නිසා ඇතැමුන් ඒ තාවකාලික පැවිදිභාවයට පැමිණි පසුව ඒ දහම අවබෝධ වීමෙන් පසු ඒ කාලය දීර්ඝ කොට සසුන්ගතව සිටීමට කැමැති පිරිසකුත් ඉන්නවා. බුදුන් වහන්සේ තාවකාලික පැවිද්ද සහ ස්ථිර පැවිද්ද නමින් පැවිදි ක්‍රම දෙකක් සඳහන් කරලා නැහැ. මෙම ක්‍රම දෙකෙන්ම එකට විනය කර්ම සිදුවෙනවා. පැවිදි ජීවිතයම කියන්නෙ විනය කර්මයක්.'' යැයි තාවකාලික පැවිදිභාවය ලබාදීමේ වැඩසටහන සංවිධානය කරන අවිස්සාවේල්ල, වග ශ්‍රී වජිරවංශතිස්ස හිමියෝ දේශයට අදහස් දක්වමින් පැවසූහ.
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුට දැකගැනීමට හැකි වන්නේ පැවිදිවීමේ පින්කම්ය. උපසම්පදා විනය කර්මයක් දැකගැනීමට ලැබෙන්නේ ද ඉතා අඩුවෙනි. බොහෝ විට එය ලංකාව තුළ පින්කමක් ලෙස සිදුවන්නේ නැත. ශ්‍රී ලංකාව තුළ පැවිදි ජීවිතයට පිවිසෙන භික්ෂූන් වහන්සේලාගෙන් ඇතැම්හු අදාළ කාලය පුරාවට නිසි විනය කර්මයක් සිදු නොකරති. සිවුරක් දරා සිටියද ඔවුන්ගෙන් ඇතැම්හු විනය කර්මයට එපිට ගොස් විනය කඩ කරති. අවසානයේ ඔවුහු සිවුරැ හැර යති. නමුත් තාවකාලිකව පැවිදිභාවයට පත්වුණු පිරිස එය අවසන් කරන්නේ විනය කර්මයට අනුව සද්භාවයෙන් යුතුවය. ඔවුන් තුළ විනයක් ඇත. තාවකාලිකව පැවිදිභාවයට ලක්වන සියලු දෙනා එම කෙටි කාලසීමාව තුළදී විනය කර්ම උපරිමයෙන්ම ඉගෙන ගැනීම සිදු කරති. එය ඔවුන්ගේ ඉදිරි ජීවිතයට මහත් පිටුවහලකි. අද වනවිට රටේ පවතින ආර්ථික තත්ත්වයත් සමඟ මෙරට ජනතාව පසුවන්නේ අධික පීඩාකාරී තත්ත්වයකය. එම නිසා හිතට යම් තරමින් හෝ සහනයක් ලබාදීමට මෙම වැඩසටහන ඉවහල් වේ.
''මෙලෙස හාමුදුරැවන් පිරිසක් ගමක් ගමක් ගානේ පිණ්ඩපාත චාරිකාවේ යෙදෙද්දී දායකයන් බොහොම සද්ධාවෙන් දානය පූජා කරනවා. ඇතැම් විට එක විහාරයකට වසරකට දෙකකට සැරයක්වත් දානයක් දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ තරමටම දානය බාරගෙන තියෙන්නෙ. වර්තමානයේ පවතින තත්ත්වය අනුව හාමුදුරැවන් පස් හය නමක් කරඬුව සමඟ නිවෙසට වඩමවා දානයක් පිළිගැන්වීමට ආර්ථිකයක් රටේ ජනතාවට නැහැ. ඒ අනුව තමන් සතුව පවතින හාල් මිටක් හෝ පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන හාමුදුරැ නමකට පූජා කිරීමේ අවස්ථාව මෙයින් ලැබෙනවා. එයින් ලැබෙන ආනිසංස අති විශාලයි. අද වෙද්දි දානය පූජා කරන්නේ ඉතා වටිනා පෝසිලේන් පිඟන්වලයි. පාත්තරය දැකපු නැති දරැවන් අපේ රටේ ඉන්නවා. දන් මිටක් පූජා කරන්න අද පාත්තරයක් නැහැ. අටපිරිකර වෙළෙඳ භාණ්ඩයක් වෙලා. ඒ නිසා ඒවායේ ගුණාත්මකභාවයේ ආනිසංස රුකගන්න නම් මිනිසුන්ට පාත්තරයට දන් මිටක් පූජා කරන්න අවස්ථාව ලබා දිය යුතු වෙනවා. ඒ නිසා තමයි මෙම තාවකාලික පැවිදිභාවය ලබාදීමේ වැඩසටහන මගින් පිණ්ඩපාත චාරිකාවේ යෙදීමටද තීරණය කළේ. මේ පැවිදි ජීවිතයත් සමඟ පැවිදි භික්ෂුවකගෙන් විය යුතු විනය කර්ම සහ දින චර්යාව නිසි ආකාරයෙන් සිදු වෙනවා. උදෑසන බුද්ධ වන්දනාව, දහවල් දානය වැළඳීම, භාවනා වැඩසටහන්, ධර්ම දේශනා, පිරිත් සූත්‍ර දේශනා ආදී කටයුතු සිදු කරනු ලබනවා. මේ සඳහා ජනතාවගේ සහභාගීත්වයද ලැබෙනවා. මෙම වැඩසටහනෙන් යහපත් පණිවිඩයක් ලෝකයා වෙත රැගෙන යාමට අපිට අවස්ථාව සැලසෙනවා.'' යැයිද අවිස්සාවේල්ල, වග ශ්‍රී විජිරවංශතිස්ස හිමියෝ දේශයට පැවසූහ.
මෙම තාවකාලික පැවිදිභාවයට ලබාදීමේ වැඩසටහන අප්‍රේල් මස 28 වැනිදා සිට මැයි මස 13 වැනි දින දක්වා දින 15 ක කාලයක් කටුනායක, ඇවිරිවත්ත, ශ්‍රී ශෛලබිම්බාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ චූලවංශ පාර්ශ්වයේ සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක, අමරපුර මහ නිකායේ උත්තරීතර කාරක සභික, දෙබත්ගම සෝමරතන නාහිමි මූලිකත්වයෙන් හා අනුශාසනා පරිදි පැවිදි පුවප්පා විනය කර්ම සිදු කරයි. එමෙන්ම ශ්‍රී ලංකා බෝධි පදනම, දැහැමි සරණ පදනම සහ දායක සභාවය මෙය සංවිධානය කරයි.
''මෙහිදී ඕනෑම කෙනකුට දානය, ගිලන්පස දානය හෝ බාරගෙන යම් තරමින් හෝ ඒ කටයුත්තට දායකත්වය ලබා දෙන්න පුළුවන්. අද වෙද්දි රට පුරා වැසී ගොස් ඇති පන්සල් බොහෝයි. අද විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලාගේ ලොකු අඩුවක් පවතිනවා. විනය කර්මය මිනිසුන්ගෙන් පිරිහිලා. අද වෙද්දි රට පුරා වැඩිහිටි නිවාස මෙන්ම භික්ෂු ගිලන් මධ්‍යස්ථාන ඇතිවෙලා තියෙනවා. තමන්ගේ ගෝල පරපුරක් හිටියා නම් මෙවැනි භික්ෂු ගිලන් මධ්‍යස්ථාන බිහිවෙන්නෙ නැහැ. ඒ නිසා මේ විනාශය ඉදිරියට තවත් වැඩි වේවි. මිනිසුන්ගේ විනය නැතිවෙලා යාවි. එම තත්ත්වය යම් තරමකට හෝ මේ තාවකාලික පැවිදිභාවයෙන් අඩුවෙලා යාවි යැයි අපි විශ්වාස කරනවා. මේ තාවකාලික පැවිදිභාවයට වයස් භේදයක්, කුල භේදයක්, ආගම් භේදයක් කිසිවක් නැහැ. මෙවර අපි පවත්වනු ලබන්නේ තුන්වැනි තාවකාලික පැවිදිභාවය ලබාදෙන වැඩසටහනයි. මෙවර විසිපස් දෙනකු තාවකාලික පැවිදිභාවය ලබනවා. දෙසැම්බර් මාසයේදී නැවත තායිලන්තයේදී මෙවැනි තාවකාලික පැවිදිභාවය ලබාදීමේ වැඩසටහනක් පවත්වන්න අපි තීරණය කරලා තියෙනවා.'' යැයි වජිරවංශතිස්ස හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
වැඩි විස්තර - 0776262256 දුරකථන අංකයෙන් ලබාගත හැකිය.
I දිශානි ජයමාලි කරැණාරත්න