මින් වසර දෙකකට පමණ ඉහත ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට පරිසරයට හා සමුද්‍රජීවීන්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය අප්‍රේල් 25දා සිංගප්පූරු අධිකරණයක් හමුවේ නඩු පැවරීමට කටයුතු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඩෙන්ස්ටන් රොඩික් ඇන්ඩ් ඩේවිඩ්සන් එල්.එල්.පී. නමැති ආයතනය කටයුතු කරන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
2021 මැයි 20 වැනිදා සිංගප්පූරුවේ ලියාපදිංචි කර තිබූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නමැති නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වීමෙන් ඉතිහාසයේ සිදුවූ දරුණුතම සමුද්‍රීය පරිසර විනාශයට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු විය. මෙය ලොව සිදුවූ විශාලතම ප්ලාස්ටික් අපද්‍රව්‍ය සමුද්‍රීය දූෂණය ලෙස සැලකේ. සමුද්‍රීය ජීවින්ට සිදුවූ හානිය කොතරම් දැයි තවමත් පැවසිය නොහැකිය. නෞකාව මගින් ප්‍රවාහනය කරමින් තිබුණේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් ඇතුළු වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රෑපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486කි. ඒ සියල්ලත් සමඟ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදුබත් විය. එමගින් මෙරට පරිසරයට සිදුවූ හානිය සහ ජනතාවට එල්ල වූ බලපෑම වෙනුවෙන් අදාළ පාර්ශ්වයන්ගෙන් වන්දි ලබා ගැනීමට කටයුතු කරන බව බලධාරීන් ප්‍රකාශ කළද එය කුමන හෝ බලවේගයක මැදිහත්වීම මත දිනෙන් දිනම කල් යමින් පැවතියේය.
පරිසරයට හා අනෙකුත් හානි පූරණය තක්සේරු කිරීමට පත් කළ විද්වත් කමිටු වාර්තාව මගින් පෙන්වා දුන්නේ මෙම සිද්ධියට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 6.4ක වන්දි මුදලක් ලබා ගැනීමට පියවර ගන්නා ලෙසටය. එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ අතර නීතිපති දෙපාර්තමේන්තුව මගින් නඩු පැවරීමට පියවරගත යුතුයැයි පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබිණි. සමුද්‍රීය පරිසර අධිකාරියේ මතය වූයේ මෙම නඩුව ශ්‍රී ලංකාව තුළ පැවරිය යුතු බවටය. එහෙත් කැබිනට් මණ්ඩලය තීරණය කළේ සිංගප්පූරුවේ නඩු පැවරිය යුතු බවටය.
පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා ප්‍රකාශ කළේ මෙම නඩුව ශ්‍රී ලංකාවේදී පැවරීම සෑම අතින්ම යෝග්‍ය බවයි. ඒ සම්බන්ධයෙන් නීති විශාරදයන් හේතු දක්වා තිබෙන අතර රජයට සම්බන්ධ පිරිස් සිංගප්පූරුවේ නඩු පැවරීම යෝග්‍ය බව පවසන්නේ නම් ඒ පිළිබඳ හේතු ඉදිරිපත් කළ යුතු බවද ඔහු සඳහන් කළේය. සිංගප්පූරුවේ නඩු පැවරීමෙන් මෙම නැව් සමාගම අධිකරණය හමුවට ගෙන්වා ගත හැකිය යන මතය තමන් නොපිළිගන්නා බවද එහිදී යම් අවාසියක් සිදු වුවහොත් එහි වගකීම බාර ගන්නේ කවුරුන්ද යන්න අනාවරණය කළ යුතු බවද පැවසූ ඔහු සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මතය වූයේද ශ්‍රී ලංකාව තුළ නඩු පැවරිය යුතු බවට යැයිද සඳහන් කළේය. සිංගප්පූරුවේ නඩු පැවරීම සඳහා එරට නීතිඥ සමාගම්වලට ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5ක පමණ මුදලක් වැය වන බවද වාර්තා විය.
අන්තර්ජාතික වශයෙන් නඩු පවරන්නේ නම් ඒ සඳහා සිද්ධිය වූ දිනයේ සිට වසර තුනක කාලයක් තිබේ. ශ්‍රී ලංකාව තුළ නඩු පවරන්නේ නම් ඒ සඳහා ඇත්තේ වසර දෙකක කාලයක් පමණි. ශ්‍රී ලංකාව තුළ නඩුවක් ගොනු කරන්නේ නම් එහිදී ශ්‍රී ලංකාවට කිසියම් අගතියක් ඇති වුවහොත් අන්තර්ජාතික වශයෙන් අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. එහෙත් කෙළින්ම විදේශයක නඩු පවරා ශ්‍රී ලංකාවට අගතියක් සිදුවුවහොත් යළි ශ්‍රී ලංකාවේ නඩු පැවරිය නොහැකිය.
නෞකාව ගිනිගැනීමෙන් සිදුවූ හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4ක වන්දියක් අයකරගත හැකිව තිබූ පරිසරයක් තුළ ඒ වෙනුවෙන් නඩු පැවරීමේ කටයුතු දිගින් දිගටම ප්‍රමාද විය. අදාළ නඩුව 2023 මැයි මස 19 වැනිදාට පෙර නොපැවරුවහොත් සම්පූර්ණ වන්දි මුදල ශ්‍රී ලංකාවට අයකරගත නොහැකි වනු ඇතැයි පරිසර සංවිධාන ප්‍රකාශ කළේය. පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රධාන උපදේශක හේමන්ත විතානගේ මහතා පෙන්වා දී ඇත්තේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානිය වසර 100 සිට 500 දක්වා කාලයක් පැවතිය හැකි වන අතර සමස්ත හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවන බවයි.
වසර දෙකකට ආසන්න කාලයක් ගතවී තිබුණද නැව් සමාගමට එරෙහිව වන්දි නඩුවක් නොපැවරීම සම්බන්ධයෙන් බොහෝ දෙනකු තුළ පැවතියේ කුතුහලයකි. එම කුතුහලය තීව්‍ර කරමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පසුගිය අප්‍රේල් 18දා සිදු කළේය. ඔහු සඳහන් කළේ අදාළ නඩු පැවරීම හා වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය අඩපණ කිරීම සඳහා මෙරට පුද්ගලයකුට ඇමරිකානු ඩොලර් මිලියන 250 ක අල්ලසක් නෞකාව රක්ෂණය කර ඇති රක්ෂණ සමාගම විසින් ලබා දී ඇති බවයි. සිංහල නමත් ඇති පුද්ගලයකුගේ එංගලන්තයේ ඇති බැංකු ගිණුමකට ඩොලර් මිලියන 250ක් ලැබී ඇති බවට තොරතුරක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට බාරදුන් බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ වූ අතර එම පුද්ගලයා කවුරුන්දැයි අනාවරණය කරන ලෙසට විවිධ පාර්ශ්ව අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ. අදාළ වන්දි ලබාගැනීම සඳහා මෙතෙක් නඩු පැවරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස සමගි ජනබලවේගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ගොනු කළේය. එමෙන්ම ලංකාවේ නඩු පැවරීමේ හැකියාවක් තිබියදී ඩොලර් මිලියන 4.5ක් පමණ වැයකරමින් සිංගප්පූරුවේ නඩු පැවරීමට අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ මන්දැයි යන්නද ඔවුන් එම පැමිණිල්ල මගින් විමසා තිබේ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට එරෙහිව නීතිමය පියවර ගැනීම යටපත් කරමින් වගඋත්තරකාර පාර්ශ්වයට යම් වාසියක් අත්කරදීමට කිසිවෙක් අනිසි ලෙස මෙයට මැදිහත් වූවාදැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය 25දින පාර්ලිමේන්තුවේදී විමසූ අවස්ථාවේ ප්‍රකාශයක් කරමින් තමන් එම පුද්ගලයාගේ නම ප්‍රකාශ කරන බවත් මෙය තොරතුරක් පමණක් බැවින් පරීක්ෂණ පවත්වා පොලීසිය මගින් අවසන් නිගමනයට එළඹිය යුතු බැවින් එහි වගකීම තමන් බාර නොගන්නා බවත් පවසමින් තමන්ට වාර්තා වූ පුද්ගලයා චාමර ගුණසේකර නම් පුද්ගලයකු යැයි සඳහන් කළේය
සිංගප්පූරුවේ ලියාපදිංචි කර තිබූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නමැති නෞකාව 2021 මැයි මස 15 වැනි දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රෑපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබිණි. 2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණි නෞකාව වරායට ඇතුළුවීමේ අපේක්ෂාවෙන් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී මැයි 20 වැනි දින එහි ගින්නක් හටගෙන විනාශයට පත් විය.
එය මුහුදුබත්වීමට පෙර සති දෙකකට ආසන්න කාලයක් ගිනි ගනිමින් තිබූ අතර ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවිය. නෞකාවේ තිබූ රසායන ද්‍රව්‍ය හේතුවෙන් මෙරට පරිසර පද්ධතියට හා සමුද්‍ර ජීවීන්ට විශාල හානියක් සිදු වූ අතර, වෙරළබඩ ප්‍රදේශවල ජනතාවගේ ජීවිත හා ජීවනෝපායන්ටද තර්ජනයක් ඇති කළේය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් ඉන් බැහැර වූ ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය හේතුවෙන් මන්නාරම සිට හම්බන්තොට කිරින්ද දක්වා වූ කිලෝමීටර 746ක මුහුදු කලාපය සම්පූර්ණයෙන්ම දූෂණයට ලක්විය. එම අපද්‍රව්‍ය ඉවත්කොට වෙරළ තීරය පිරිසුදු කිරීමේ කටයුතු වෙනුවෙන් නෞකාවේ රක්ෂණ සමාගමෙන් රුපියල් බිලියන 1.3ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිනී නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසා තිබිණි. මුහුදු තීරයට හා වෙරළ තීරයට සිදු වූ පරිසර හානිය ගණනය කර සකස් කළ පළමු අතුරු වාර්තාව නෞකා අනතුරු වන්දි ලබාගැනීම පිළිබඳ විශේෂඥතාවක් සහිත ඕස්ට්‍රේලියානු නීතිඥ ආයතනයක් වෙත යවා තිබෙන බවද එම ආයතනයෙන් උපදෙස් ලැබුණු පසු නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්ව ඉදිරී නීතිමය පියවර ගන්නා බවද 2022 අගෝස්තු මාසයේ ඇය සඳහන් කළාය. මෙම ඔස්ට්‍රේලියානු සමාගම නීතිපතිවරයාට උපදෙස් දීමට පත්කරගත් සමාගමකි. මේ වනවිට වෙරළ පිරිසුදු කිරීම සඳහා නෞකාවේ රක්ෂණ සමාගම මගින් කළ මුදල් ගෙවීමද නවතා දමා ඇතැයි වාර්තා වේ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත්වීමෙන් ශ්‍රී ලංකාවට අත් වූ හානිය කොපමණදැයි හරිහැටි පැවසිය නොහැකිය. පසුගිය අප්‍රේල් 4 දින පාර්ලිමේන්තුවේදී රුස්වූ පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේදී හෙළිදරව් වූයේ අනතුරට පත් නෞකාව තුළට යාමට නොහැකි වූ බැවින් හානිය නිවැරදි ලෙස ගණනය කිරීමට නොහැකි වූ බවටය. නෞකාවේ රසායනික ද්‍රව්‍ය සහිත කොටසට ගොස් තවත් රසායනික ද්‍රව්‍ය එහි තිබේදැයි යන්න පරීක්ෂා කිරීමට පරීක්ෂණ කණ්ඩායමට එහි පිවිසීමට නැව් සමාගම බාධා පමුණුවා තිබූ බව ප්‍රකාශ විය. නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් යොදවා දිය යට පරීක්ෂණ කටයුතු සිදු කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අවසර ඉල්ලා තිබුණද ආරක්ෂාව පිළිබඳ මතුවූ ගැටලු හේතුවෙන් ඒ සඳහා අවසර හිමිවූයේ නැත. ඒ අතර නෞකාවේ කොටසක් ඉවත්කරගෙන මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට රැගෙන යාමටද නැව් සමාගම කටයුතු කර තිබිණි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි අයකර ගැනීම සඳහා නඩු පැවරීමට ඇත්තේ තවත් දින 45ක් බවද අප්‍රේල් 4 දින පැවැති ආංශික අධීක්ෂණ කමිටුවේදී අනාවරණය විය.
එම නෞකාවේ යුක්රේන ජාතික කපිතාන්වරයාට හා නෞකාව හිමි සමාගමේ දේශීය නියෝජිතවරයා ලෙස කටයුතු කළ සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු විත්තිකරුවන් 9 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ 2022 වසරේ මැද භාගයේදී නඩු පවරා තිබිණි.
ඩොලර් බිලියන 6.4ක වන්දි මුදලක් ලබා ගැනීම සඳහා අදාළ වාර්තාව විද්වත් කමිටුව විසින් සමුද්‍රීය පරිසර අධිකාරය වෙත යොමුකළ අතර නීතිපති දෙපාර්තමේන්තුව එම නෞකාවේ රක්ෂණ සමාගමෙන් වන්දි ලබාගැනීම සඳහා නඩු පැවරීමට තීරණය කළේය. විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් අතරේ එක්ස්ප්‍රස් පර්ල්ට එරෙහිව සිංගප්පූරුවේදී නඩු පැවරෙනු ඇත. ඉන් ශ්‍රී ලංකාවට සමස්ත වන්දි මුදලම ලබාගත හැකි වුවහොත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය මුදල මෙන් දෙගුණයක් වනු ඇත.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා