2023 අප්‍රේල් 30 වන ඉරිදා

මිනීමරණ රස්නේ

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:00 52

රටපුරා පවතින අධික උණුසුම් තත්ත්වය නිසා මිනිසුන් රැසක් පීඩාවට පත්ව සිටිති. දැනට පවතින දැඩි උණුසුම මැයි මස අග වනතුරු පවතිනු ඇති බවත් නිරිත දිග මෝසම ආරම්භයත් සමග උණුසුම ක්‍රමයෙන් අඩුවනු ඇති බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. පසුගියදා අනුරාධපුරය එප්පාවල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු හදිසියේ ජීවිතක්ෂයට පත් වූයේද අධික උණුසුම හේතුවෙන් බව අනාවරණය වී තිබේ.

ඒප්පාවල ප්‍රදේශයේ පදිංචි 34 හා 38 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනකු මෙසේ මරණයට පත්ව තිබෙන අතර මරණ දෙක සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව ඇත්තේ අධික උෂ්ණත්වය නිසා තාප කම්පන තත්ත්වයට පත්ව මරණ සිදුව ඇති බවය. 

මරණයට පත්වූ අයගෙන් එක් අයකු අවුරුදු උත්සවයක කඹ ඇදීමේ තරගයෙන් තෙහෙට්ටුවට පත්ව අයිස් වතුර හිසට වත්කර ගැනීමෙන් පසුව මියගොස් ඇති අතර අනෙක් තැනැත්තා කුඹුරේ තණකොළ කැපීමට ගොස් අව්වේ සිට පැමිණ දිය නෑමෙන් පසුව මරණයට පත්ව තිබේ. මේ අයුරින් උද්ගතව තිබෙන උණුසුම හමුවේ මිනිස් ජීවිතවලට එල්ල වී ඇත්තේ මරණීය තර්ජනයකි.

සෙසු ප්‍රදේශවලට වඩා කොළඹ ඇතුළු ජනාකීර්ණ නගර ආශ්‍රිතව උණුසුම බහුලව පවතී. ඊට ආසන්නම හේතුව පවතින කොන්ක්‍රීට් ගොඩනැගිලි හා ඒවාට අධික තාපය උරාගෙන ඉන් පිටකරන උණුසුම් තරංග බව කියැවේ. ගෝලීය වශයෙන් සිදුවන දේශගුණික විපර්යාසයන් හමුවේ මෙම උණුසුම ඇතිවී තිබෙන බවත් වායුගෝලයේ පවතින ජලවාෂ්ප ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බැවින් වායුගෝලයේ තාප ශක්තිය නිදහස් කිරීම අවහිර වීමෙන් උණුසුම වැඩිවී තිබෙන බවද තත්ත්වය මැයි 20 වැනිදායින් පමණ පසුව පහව යනු ඇති බවත් පවසන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා විසිනි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දැක්වූ ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නිරිතදිග මෝසම ආරම්භ වීමෙන් වර්ෂාව ලැබීමත් සමග ජලවාෂ්ප ක්‍රමයෙන් අඩුවන බැවින් එවිට උණුසුම පහවන බවකි. එසේම මේ තත්ත්වය පහව යනතුරු ජනතාව අධික වෙහෙසකාරී කටයුතුවලින් වැළකෙන ලෙසද තද පාට ඇඳුම්වලින් තොරව ලා පැහැති ඇඳුම් අඳින ලෙසත් වැඩිපුර ජලය පහ කිරීම සුදුසු බව හා පැණි බීම වර්ග පානයෙන් වළකින ලෙසද කීය. එමෙන්ම පෙරවරු 11 සිට පස්වරු 4 දක්වා කාලය තුළ කුඩා දරුවන් හා වයස 50ට වැඩි පිරිස එළිමහනේ හිරුඑළියේ ගැවසීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.

උණුසුම් දර්ශකය අනුව සෙල්සියස් අංශක 27-28 අතර සාමාන්‍ය මට්ටම 39-40 අතර අවධානයෙන් පසුවිය යුතු මට්ටම 46-52 අතර දැඩි අවධානය යොමුකළ යුතු හා සෙල්සියස් අංශක 52ට වැඩිනම් ඉතා අනතුරුදායක මට්ටම ලෙස වාර්තා කරයි. මේ අයුරින් ශරීරයට දැනෙන උණුසුම සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු දෙවැනි කාණ්ඩයට අයත් විය හැකි ප්‍රදේශ වශයෙන් යාපනය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, කිලිනොච්චිය, වවුනියාව, පුත්තලම, ත්‍රිකුණාමලය, මන්නාරම, අනුරාධපුරය, මොණරාගල, කුරුණෑගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ බවට පෙන්වා දී තිබේ.

මෙවැනි ප්‍රදේශවල ජනතාව වැඩි වශයෙන් ජලය පානය කළ යුතුය. සෙවණෙහි රුඳී සිටීම වැදගත් බවද දරුවන් මෝටර් රථ හෝ වෙනත් වාහනවල තනිවම තබා යාම අනතුරුදායක බවද පෙන්වා දෙයි. මේ අතර අධික වෙහෙසකාරී කටයුතුවලින් වැළකී සිටීම වැදගත් බවද දන්වයි. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝෂිණී ජයවර්ධන මහත්මිය අදහස් දක්වා තිබූ පරිදි ගතවූ 2021, 2022 දෙවසරට සාපේක්ෂව මේ 2023 වසර උණුසුමින් වැඩිවී තිබේ. ඊට හේතුව පැසිෆික් සාගරයේ සමකය ආසන්න ප්‍රදේශවල 2021-2022 වසරවල ලානිනා තත්ත්වයක් වර්ධනය වී පැවති බවය. &ලානිනා* තත්ත්වය යනු සාගරය මතුපිට උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස අඩුවීම හා සිසිල්වීමය. එවැනි තත්ත්වයක් යටතේ ලොවපුරා උෂ්ණත්වය යම් තරමක පාලනය වීමක් සිදුවන බවද කියැවේ.

මේ දිනවල තවමත් අවුරුදු උත්සව පැවැත්වීම සිදුකෙරේ. එම උත්සවවලදීත් පාසල් ක්‍රීඩා කටයුතුවලදීත් වෙනදාට වඩා ප්‍රවේශම් වන ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබාදී තිබේ. අධික උණුසුම් තත්ත්වය හා ඉන් ආරක්ෂා වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වරින්වර නිවේදන නිකුත් කරමින් මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරයි. ඒ අනුව ලංකාවේ දිස්ත්‍රික්ක 17ක උණුසුම පිළිබඳව මේ වනවිට අනතුරු අඟවා තිබේ.

ගතවෙමින් තිබෙන කාලසීමාව සූර්යා සමකයට ආසන්නව ගමන් කරන නිසා සමකයට ආසන්න ශ්‍රී ලංකාව වැනි රටකට උෂ්ණත්වය වැඩිවීම සාමාන්‍ය තත්ත්වයකි. නමුත් වර්තමානයේ පවතින අධික උණුසුම මහජනතාව පීඩාවට පත්කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස එප්පාවල ප්‍රදේශයෙන් මරණ දෙකක් වාර්තාවීමට ප්‍රථම බිංගිරිය ප්‍රදේශයේදී අවුරුදු උත්සවයක මැරතන් ධාවන තරගයකට සහභාගි වූ 27 හැවිරිදි පුද්ගලයකු සිහිසුන්ව ඇද වැටී ජීවිතක්ෂයට පත්වූ පුවතක් වාර්තා විය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ තාප ආඝාතය නිසා බහුවිධ අවයව පද්ධතියට වූ බලපෑම නිසා මරණය සිදුව ඇති බවය.

ඒ තරමට දැන් ලංකාවේ රස්නය රුදුරු වී තිබේ. එබැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා වෛද්‍යවරු ලබාදෙන උපදෙස් පිළිපැදීම හරහා පවතින උණුසුමින් ආරක්ෂා වීමට හැකියාව තිබේ. එම කරුණු සහිත මාධ්‍ය වාර්තා පිළිබඳ අවධානයෙන් පසුවීම ඉතා වැදගත්ය.

I සමන්ත විල්තෙර