දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් සිට උතුරු ශ‍්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දක්වා කෙටිදුර ධාවනය කරන මගී නැව් සේවාවක් ආරම්භ කරන්නට යෝජනා කර ඇත. මෑත ඉතිහාසය තුළ දෙවතාවක් ගමන් ආරම්භ කරන ලද මෙම මගී නැව් සේවාව තවත් මාස කිහිපයකට පසු නිල වශයෙන් ආරම්භ කරනු ඇති බව දැක්වේ. දෙවැනි පියවරක් වශයෙන් රාමේශ්වරම් සිට කන්කසන්තුරේ දක්වාද දෙවැනි මගී නැව් සේවයක් අරඹන අපේක්ෂාවක් තිබේ.
ඉන්දු ශ්රී ලංකා යා කරන මගී නාවික සේවාව අරඹන්නට කලින් ඉකුත් වසරේ දෙසැම්බර් මැද භාගයේ සිට චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් සේවාවක් නිල වශයෙන් ආරම්භ කරන ලද අතර එලයන්ස් එයාර් ගුවන් සමාගම ආසන පනහක පමණ යානයක් සතියකට හතර වතාවක් ගමන් කරන පරිදි සැලසුම් කර ඇති බව ගුවන් ගමන් වාර්තා දක්වයි. සිවිල් යුද්ධයක් පැවැති කාලය අවසන්ව සාමකාමී වාතාවරණයක් පැවැති නමුත් ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ගොඩබිමෙන් සමීපතම ස්ථාන ඔස්සේ සබඳතා දියුණු වූයේ නැත. කොවිඩ් වසංගත තත්ත්වයට පසු ආර්ථික ප‍්‍රවණතා අලුත් ආරම්භයක් ගෙන ඇත. දෙරට අතර ජනයා මෙම අලුත් ප‍්‍රබෝධයේ අවස්ථා අයිතිකරගත යුතු බව සඳහන් කිරීම අවශ්‍යය.
► මගී නැව් සේවාවක අවශ්‍යතාව ඉදිරියටත්
තමිල්නාඩු ප‍්‍රාන්ත ආණ්ඩුව දක්වන පරිදි පහසුකම් සහිත ජාත්‍යන්තර මගී නැව් සේවාවක් සඳහා රාමේශ්වරම් වරායේ පහසුකම් ප‍්‍රමාණවත් නැත. පවතින අඩු පහසුකම් යටතේ ආරම්භ කරන අතර ඉන්දියන් රුපියල් මිලියන පහළොවක් පමණ වැයකර අලුත් මගී පර්යන්තයක් ඉදිකරන්නට තමිල්නාඩු ආණ්ඩුව සූදානම්ය. එම ආයෝජනය අනුව මෙම මගී නැව් සේවාව පුළුල් කරන අදහසක් ඉන්දියාවට පවතින බව පෙනේ.
දැනට යෝජිත කුඩා නැව් සේවාව අනුව පැයකට මුහුදු සැතපුම් තිහක වේගයෙන් ධාවනය කරවීමෙන් පසු පැයක් හෝ පැය එකහමාරක් ඇතුළත ගමනාන්තයට ළඟාවිය හැකි බව දැක්වේ. සාමාන්‍යයෙන් මගීන් එකසිය පනස් දෙනකුට එකවර ගමන් කළ හැකි අතර එක මගියකුට කිලෝ සියයක් දක්වා ගමන් මලු රුගෙන යන්නට නිදහසක් ලැබෙන බව වාර්තා වේ. සාමාන්‍යයෙන් චෙන්නායි ගුවන් තොටුපොළේ සිට යාපනය දක්වා ගුවනින් එන්නට පැයකුත් මිනිත්තු පහළොවක් වැයවන අතර ගුවන් තොටුපොළට පැය තුනකට කලින් ළඟා වෙන්නට සිදුවේ. දැනට සිදුවන ගුවන් ගමන්වලදී යාපනයට එන මගියකුට ගාස්තු රහිතව ගෙන යා හැකි බර කිලෝ ග‍්‍රෑම් 15 කට සීමාකර තිබේ. යාපනයට එන මගියකුට ආපසු චෙන්නායි බලා යන ප‍්‍රවේශ පත‍්‍රයක් සඳහා ඉන්දීය රුපියල් හත් දහස් පන්සියයක් ගෙවන්නට සිදුවේ. ආර්ථික අතින් සලකනවිට ගුවනින් හෝ නැව් සේවාවකින් ලබාගත හැකි අවස්ථා බොහෝ දුරට සමාන අතර නැව් ගමනේ දී වැඩි බරක් ගෙන යන්නට හැකි අතර මුහුදු ගමනකදී ලැබෙන ආශ්වාදය ඉතා මිහිරි අත්දැකීමක් වන හෙයින් ඉන්දු ශ්රී ලංකා මගී නැව් සේවාව ආකර්ෂණීය එකක් විය හැකි යැයි සැලකේ.
මගී නැව් සේවාව ව්‍යාපාරික අංශයේ අවධානයට ලක්විය හැකි අතර ඉන්දියාවෙන් ලබා ගන්නා භාණ්ඩ අඩු මිලකට ශ‍්‍රී ලංකාවට ගෙන එනන්ට යෙදවිය හැකිවනු ඇත. ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත්වීමෙන් පසු කොළඹ ව්‍යාපාරිකයන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දකුණු ඉන්දියාවෙන් ඉක්මනින් ආනයනය කිරීම සඳහා මගී නැව් සේවාව ප‍්‍රයෝජනයට ගන්නට වෑයම් කරනු ඇතැයි විශ්වාස කෙරේ.
► වාසිදායක අවස්ථා සඳහා ආයෝජනය
ආර්ථිකය වේගයෙන් ඉදිරියට යන රටක් වශයෙන් ඉන්දියාව සමග උපායශීලී සහයෝගීතාවයක් ගොඩනගා ගැනීම ශ‍්‍රී ලංකාවට ඉතාම වැදගත්ය. උතුරු පළාත් සභාව විසුරුවන්නට කලින් සම්මත කරන ලද යෝජනා තුනක් අනුව යාපනයේ පලාලි සහ චීන වරාය ගුවන් තොටුපොළ සමග ඉන්දියාවේ සෘජු ගුවන් සේවා ඇරඹීමට කැමැත්තෙන් පසුවිය. කන්කසන්තුරේ වරාය වැඩි දියුණු කර ඉන්දීය නැව් එහි කැඳවීමටද අපේක්ෂා කෙරිණ. තලෙයිමන්නාරම සහ රාමේෂ්වරම් දක්වා නැව් සේවාවක් ඇරඹීමටද පළාත් සභාවේ යෝජනාවක් තිබුණි. කලාපීය ආර්ථික සබඳතා අනුව සලකනවිට මෙම අදහස් අත්හැර දැමිය යුතු නැත.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාද උතුර නාවික කේන්ද්‍රස්ථානයක් වශයෙන් දියුණු කරන සැලසුමක් දක්වයි. දැනට යෝජනා වී ඇති කොළඹ වරාය සංවර්ධනය හා හම්බන්තොට වරායේ ප‍්‍රගතිය අනුව ඉන්දු පැසිපික් කලාපයට සේවයක් වන නමුත් එයින් ඔබ්බට අනාගතයේදී ඇතිවන නාවික අවශ්‍යතා සඳහා ත‍්‍රිකුණාමලය ගැනද අවධානය යොමු කිරීම වැදගත්ය.
යෝජිත මගී නැව් සේවාව ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ කාර්ය බහුලත්වයක් නිර්මාණය කරනු ඇති අතර එහි ප‍්‍රගතිය සමග නැව් සේවාවල සැලකිල්ල යොමුවිය හැකිය. ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව එකතු වී කරන ආයෝජනයක් වශයෙන් ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි නවීකරණය අරඹා ඇති අතර එහි සේවය කරන්නට අපේක්ෂා කරන ඉන්දියානුවන්ට, තෙල් ප‍්‍රවාහනය කරන නෞකාවල කාර්ය මණ්ඩලයට කොළඹ වෙනුවට යාපනය හරහා ගුවනින් හා මුහුදෙන් පැමිණීම පහසුවක් වනු ඇත. මෙම මගී නැව් සේවාව මෑත දී 2011 වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරන ලද අතර පසුව මාස අටක් ඇතුලත නතර කරන තීරණයක් ගැණින. ප‍්‍රමාණවත් ආදායමක් නොලැබීම එයට හේතු වූ බව සඳහන්ය.
► ඉන්දියානු ජනගහනය හා රටට ලබාගත හැකි පිටිවහල
ඉන්දියාවෙන් විදේශ සංචාර සඳහා පිටත්වන ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව අවුරුද්දකට මිලියන පනහ ඉක්මවයි. මෙරටට පැමිණෙන්නේ මෙයින් සියයට එකකි. වසර 2040 වන විට ලොවපුරා සැරිසරන ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව දෙගුණයක් වෙතැයි සැලකේ. අලුත් ගුවන්තොටුපොළ තනන, අලුත් වරාය ඉදිකරන ශ‍්‍රී ලංකාවට දකුණු ඉන්දියාව ඔස්සේ අලුත් ආර්ථිකයක් සඳහා සැලැස්මක් තිබිය යුතුය.
එක්සත් ජාතීන් දක්වන පරිදි ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රට ඉන්දියාව වන අතර මුළු ජනගහනය බිලියන 1.42ක් බව දැක්වේ. වසර හැටකට පසු චීනය ශ‍්‍රම බලකාය සම්බන්ධයෙන් දෙවැනි තැනට පත්ව සිටින බව අතර මෙම විශාල පාරිභෝගික ප‍්‍රමාණය හොඳ වෙළඳපොළකට අවස්ථාවක් සම්පාදනය කරනු ඇත. කෘෂි ආර්ථික පසුබිමක් සහිතව ලෝකයේ විශාලතම ආහාර නිෂ්පාදකයා බවට පත්ව සිටින ඉන්දියාව අනාගතයේදී ලෝකයේ රටවල් සමග ගනුදෙනු කරන ප‍්‍රබල රාජ්‍යයක් බවටද සලකුණු කරමින් සිටී. දෙරට අතර පවතින සබඳතා අනුව ඉදිරියේදී රටවල් දෙක රුපියල් ගනුදෙනු ආරම්භ කරන්නට නියමිතය. මහ බැංකු අතර මෙම ගනුදෙනු ඇරඹීමේ නිල ගිවිසුම් අත්සන් කර තිබේ. වෙළෙඳාමටද සංචාරක කර්මාන්තයටද එය සුදුසු පසුබිමක් සකස් කරනු ඇත. නාවික ගමනාගමනය ඇරඹීම හොඳ පසුතලයක් නිර්මාණ කිරීමකි.
ගුවන් සහ නාවික කටයුතු සම්බන්ධයෙන් ඉන්දියා ශ‍්‍රී ලංකා දශක දෙකක ඉදිරි දැක්මක් සහිත මාර්ග සිතියමක් සකස් කිරීම අවශ්‍යය. විශාල ජනගහනයකට සැපයිය හැකි අවස්ථා සෑහෙන ප‍්‍රමාණයකි. සේවා අංශයෙන් දොරටුවක් විය හැකිය. ඉන්දියාවේ අනෙක් කෙළවරකට ගමන් කිරීමට වඩා පහසුවෙන් ශ‍්‍රී ලංකාවට පැමිණීම එරට දකුණේ ප‍්‍රාන්තවල වැසියන්ට ලාබදායී බව පෙනේ. විවාහ, විවේක සහ සාකච්ඡා සඳහා මෙරට පවතින පහසුකම් ප‍්‍රචාරණය කිරීමෙන් විශාල වෙළෙඳපොළක් දිනාගැනීමට හැකිවේ. මගී නැව් සේවය එහි එද වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇති අතර ශ‍්‍රී ලංකාවට උපයා ගත හැකි අවස්ථා අපමණ බව පර්යේෂකයන් ආසියානු කලාපයේ නැගෙන අලුත් ආර්ථිකය ගැන පළකර ඇති වාර්තා සැසඳීමෙන් අවබෝධ වන ප‍්‍රධාන කරුණකි.
I සාරා කන්දෙගොඩ