2023 අප්‍රේල් 30 වන ඉරිදා

කියන විදියටම උද්ධමනය අඩු වෙලාද?

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:00 134
අපේ රටේ උද්ධමනය හෙවත් භාණ්ඩ සහ සේවාවල මිල ඉහළ යාමේ වේගය ශීඝ්‍රයෙන් වැඩිවීම පිළිබඳ පසුගිය දිනවල ඉමහත් කතාබහට ලක්විය. බලධරයන් හැකි සෑම උත්සාහයක්ම ගත්තේ මෙම උද්ධමන වේගය පාලනය කිරීමටය. එම වෑයම යම් පමණකට හෝ සාර්ථක වූ බවට සතුටුදායක ආරංචි මේ වනවිට අසන්නට ලැබෙමින් පවතී.

ලෝකයේ ඉහළම ආහාර උද්ධමනය හේතුවෙන් වැඩි වශයෙන් බලපෑම් එල්ල වී ඇති රටවල් පිළිබඳ ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට ලෝක බැංකුව තීරණය කළ බව මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ. එහෙත් එය මහත් සපන්කමක් ලෙස සලකා උද්දාමයට පත්වී රතිඤ්ඤා දැල්වීමට අපට අවස්ථාවක් ලැබී තිබෙනවාද යන ප්‍රශ්නය පැන නගී. 2022 වසර අවසාන භාගයේදී අපේ රට පසුපසින් සිටියේ ලෙබනනයට පමණි. එහෙත් මේ වනවිට එම තත්ත්වය වෙනස් වී අප පසුපසට ගොස් තිබේ.

ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු වාර්තාව මත පදනම් වී මෙම දර්ශකය නිකුත් කෙරේ. මේ වනවිට අප රටේ උද්ධමනය පහළ යමින් පවතින නිසා මෙම දර්ශකයෙන් ඉවත් කිරීමට ලෝක බැංකුව තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ. මෙවර දර්ශකයේ ප්‍රථම ස්ථානය ලෙබනනයට හිමිව ඇති අතර එහි අගය 261කි. දෙවැනි ස්ථානයට සිම්බාබ්වේ පත්ව ඇත්තේ එහි අගය 128ක් සමගය. ලකුණු 107ක් සනිටුහන් කරමින් ආර්ජන්ටිනාව තෙවැනි ස්ථානයට පත්ව තිබේ.

එසේ වුවද මෙම තත්ත්වය පිළිබඳ වෙනත් පැත්තකින් බැලූවිට අප තවමත් නිසි මාර්ගයට ප්‍රවිෂ්ට වී ඇතිද යන සැකය මතුවෙයි. ආසියානු සංවර්ධන බැංකුවේ ආසන්නම නිරීක්ෂණවලින් පැවසෙන්නේ 2022 වසරේදී සියයට 7.8ට හැකිලෙමින් තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය 2023 වසර තුළද දිගටම හැකිලෙන අතර එය සියයට 3.0 දක්වා වනු ඇතැයි යන්නය. එසේම 2024 වනවිට මෙම හැකිලීම සියයට 1.4 දක්වා අඩුවන බවද එයින් කියැවේ. මෙයට ගෝලීය ආර්ථික මන්දගාමීත්වය බොහෝදුරට හේතුවන අතර 2023දී අපනයනයද දුර්වල වන බව අනාවරණය කෙරේ. දැනට පවතින ඉහළ උද්ධමනය ශ්‍රී ලංකාවේ තරගකාරීත්වය සෝදාපාළුවට ලක්කිරීමට සමත් වන බවද එයින් කියැවේ. මෙම නිරීක්ෂණ අනුව අනාගතයේ අපේ ආර්ථිකය ධනාත්මක වර්ධනයකට ළඟා කරවීම බලාපොරොත්තු වන තරමට පහසු නොවන බව පැහැදිලිය.

උද්ධමනය යනු භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම දිගින් දිගටම ඉහළ යාම බවට ආර්ථික විද්‍යාව නිර්වචනය කරයි. ඒ නිසා උද්ධමනය අඩුවුවද වැඩි වුවද භාණ්ඩ හා සේවා මිල දිගටම ඉහළ යයි. අද උද්ධමනය පහළ ගොස් ඇතැයි පැවසුවද බඩු මිල අඩුවී නැත්තේ මේ හේතුවෙනි. උද්ධමනය ඉහළයාම යනු බඩු මිල ඉහළ යාමේ වේගය වැඩිවීමකි. උද්ධමනය අඩු වූවා යැයි පැවසූ විට එයින් සිදුවන්නේ බඩු මිල ඉහළ යාමේ වේගය අඩුවීම මිස බඩු මිල පහළ යාම නොවන බව සැලකිය යුතුය. ඒ නිසා උද්ධමනය පහළ ගියා යැයි අපට සතුටු වීමට අවස්ථාවක් නොමැත.

පසුගිය ඔක්තෝබර් මාසයේ සිට අපේ රටේ උද්ධමනය අඩුවෙමින් පවතී. පසුගිය වකවානුවේ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් සියයට 70 ඉක්මවා ඉහළ ගොස් තිබුණි. ජනතාව උද්ධමනය ඉහළ යාම ගැන ඝෝෂා කිරීමටද පටන්ගෙන තිබූ බව අපට මතකය. එහෙත් එසේ වැඩි වූ උද්ධමනය ක්‍රමයෙන් පහළ ගොස් වනවිට සියයට 50 පමණ මට්ටමට පත්වී තිබේ. එය තනි ඉලක්කමක් දක්වා පහළ බස්සන බවට පසුගිය දින ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා පුවත් සාකච්ඡාවකදී පවසා තිබුණා අපට මතකය. මේ දක්වා උද්ධමනය පහළ ගියේ අප ආනයන සීමා පනවා තිබූ පරිසරයක බව අමතක නොකළ යුතුය. භාණ්ඩ නොලද විට ඉල්ලුම අඩු වී මිලට ගන්නා ප්‍රමාණයද අඩුකරන්නට සිදුවේ. මිල ඉහළයාමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් භාණ්ඩවලට ඉල්ලුම නැත්තටම නැතිවී තිබුණි. මෙය ආර්ථික සංකෝචනය වීමක් ලෙසද හඳුන්වා ඇත. එහෙත් යළිත් අපට මෙම තත්ත්වය වෙනස් කිරීමට සිදුවනු ඇත්තේ මෙම කෘත්‍රිම ආර්ථිකය තවදුරටත් කර තබාගෙන යාමට අපොහොසත් වීම හේතුවෙනි.

 
වැඩි වූ උද්ධමනය අඩු වූ අයුරු මෙසේය.
2022 ඔක්තෝබර් සියයට 70.0
2022 දෙසැම්බර් සියයට 55.0
2023 ජනවාරි සියයට 51.7
2023 පෙබරවාරි සියයට 50.6
2023 මාර්තු සියයට 50.3
2023 අප්‍රේල් සියයට 49 – 50.0 (අපේක්ෂිත)
 
මේ වනවිට උද්ධමන වේගය ඉතා සෙමින් අඩුවී තිබුණද මැයි මාසයේ සිට වේගයෙන් අඩුවනු ඇති බවට මහ බැංකුව පුරෝකථනය කරයි. මේ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ අප්‍රේල් මූල්‍ය විවරණයේ මෙසේ දැක්වේ.

''විදුලි ගාස්තු ඉහළ දැමීම්වල වක්‍ර බලපෑම් හමුවේ වුවද ප්‍රධාන වශයෙන් ආහාර උද්ධමනය අපේක්ෂිත ප්‍රමාණයට වඩා විශාල අඩුවීම් පිළිබිඹු කරමින් 2023 මාර්තු මාසයේදී මතුපිට උද්ධමනය පහළ ගියේය. මේ අතර ආර්ථිකයේ යටිදැරි ඉල්ලුම් පීඩනයන්හි අඛණ්ඩ පහළ යාම පිළිබිඹු කරමින් මූලික උද්ධමනය 2023 මාර්තු මාසයේදී අඛණ්ඩව හයවැනි මාසයටත් පහළ ගියේය. ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ගණන් අඩුවීම වෙළෙඳපොළ වෙත වේගයෙන් සම්ප්‍රේෂණය වීම හා ශ්‍රී ලංකා රුපියල් මෑතදී අති ප්‍රමාණවීම සමග දේශීය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් අඩුවීම සහ සංඛ්‍යානමය පදනම් බලපෑම් හේතුවෙන් විශාල නිර් උද්ධමන බලපෑම සමඟ 2023 අප්‍රේල් මාසයේ සිට උද්ධමනය වේගයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2023 වසර අවසානය වනවිට මතුපිට උද්ධමනය තනි අගයක මට්ටමට ළඟාවනු ඇතැයි පුරෝකතනය කර ඇති අතර, ඉන්පසුව මැදකාලීනව උද්ධමනය අපේක්ෂිත මට්ටම්වල ස්ථාවර වනු ඇත.''

උද්ධමනය අඩුවීමට සාපේක්ෂව පොලී අනුපාතවලද අඩුවීමක් සිදුවනු ඇති බවට උපකල්පනය කළ හැකි අතර දැනට ඉහළ මට්ටමක පවතින පොලී අනුපාතවල යම් අඩුවීමක්ද අපේක්ෂා කළ හැකිවේ. මහ බැංකුව පසුගිය සමයේ සිය ප්‍රතිපත්තිමය පොලී අනුපාත සැලකිය යුතු ලෙස වැඩි කළේ බොහෝ ඉහළට නැග තිබුණු උද්ධමනය අඩුකර ගැනීමේ ක්‍රමෝපායක් වශයෙනි. එහෙත් දැන් ඒ අරමුණ සඵල වීම නිසා අනාගතයේදී පොලී අනුපාත පහත හෙලනවා ඇත. ඒ නිසා ඉදිරි අනාගතයේදී වෙළෙඳපොළ වාතාවරණය මෙයට වඩා ශුභදායී ලෙස නව නැම්මකට අවතීර්ණ වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වෙයි.

මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ උද්ධමනය තනි අගයකට ගෙන යාමේ රජයේ අපේක්ෂාව බොහෝදුරට සඵල විය හැකි බවය. තනි අගයකට නොපැමිණියද, අවම වශයෙන් සියයට 10-15 අතර මට්ටමකට යා හැකි යැයි ඔහු විශ්වාසය පළකරයි.

''උද්ධමනය යනු මිල වැඩිවීම නොවෙයි. මිල වැඩිවීමේ වේගයයි. හෙවත් අඛණ්ඩව මිල වැඩිවීමයි. මේ වනවිට අපේ රටේ සියල්ල වැඩිවෙලා නැවත වැඩිවන්නට දෙයක් නොමැති තරමට පත්වී තිබෙනවා. උද්ධමනය ගණන් ගන්නේ පෙර මාසයට සාපේක්ෂවයි. පෙර මාසයේ සියල්ල වැඩි වී දැන් වනවිට වැඩිවන්නට දෙයක් නොමැති විට උද්ධමනය වැඩිවීමක් සිදුවීමට ඉඩ නැහැ. මේ වනවිට ඉන්ධන, විදුලිය, ගෑස් වැනි අත්‍යවශ්‍ය දේ විශාල ලෙස වැඩි වී තිබෙනවා. ඒ නිසා යළි වැඩිවීමක් සිදු නොවෙයි.''

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණ වීමද උද්ධමනය ඉහළ යාමට හේතුවක් බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. මේ වනවිට 300 ඉක්මවා විශාල ලෙස රුපියල අවප්‍රමාණ වී යළිත් අඩුවෙමින් පවතින බව මහාචාර්යවරයා කියයි.

''මේ නිසා යළි ඉන්ධන මිල පහළ යාමක් මිස ඉහළ යාමේ ප්‍රවණතාවක් නැහැ. ඒ හේතුවෙන් උද්ධමනය යළිත් වැඩිවීමට ඇති ඉඩ අඩුයි. ඒ නිසා මිල යළි වේගයෙන් වැඩිවන්නේ නැහැ. භාණ්ඩ හා සේවා මිල පෙර පැවැති මට්ටමට යළිත් වේගයෙන් ඉහළ යාමක් නැතුව එක තැන නැවතී තිබිය හැකියි. එසේ නොවේ නම් යම් සුළු ප්‍රමාණයකින් හෝ පහළ යා හැකිවෙනවා ඇති. පෙර මාසයට සාපේක්ෂව බැලූවිට මිල වැඩිවීමේ වේගය පහළ ගොස් තිබෙනවා. එයින් අදහස් වන්නේ මිල පහළ මට්ටමේ තිබීම නොවෙයි. වැඩිවීමේ වේගය අඩුවීමයි. ඊළඟ මාසයේ යළි අද තිබෙන මිල වැඩිවුවහොත් ඒ හේතුවෙන් උද්ධමනය වැඩිවිය හැකියි. එහෙත් එවැන්නක් සිදුවුවහොත් උද්ධඹනයේ සංඛ්‍යාත්මක අගය ''0'' වෙනවා ඇති. එහිදී එකවරම ජනතාවගේ ඇඟට මෙය නොදැනුණත් ඔවුන් මිල වැඩිවීමෙන් පීඩාවට පත්වීම යම් පමණකට අඩුවෙයි.''

බඩුවල මිල යළිත් මුලදී තිබූ තත්ත්වයට පහළ යයිද යනුවෙන් විමසූ විට ඔහු දුන්නේ මෙවැනි පිළිතුරකි.

''උද්ධමනය ඉහළ ගියවිට වැඩි වූ භාණ්ඩ හා සේවා මිල යළි වැඩි නොවන නිසා එය ජනතාවට හානිදායක නැහැ. එහෙත් භාණ්ඩ මිල යළි 2018-2020 වැනි අගයකට කිසි දිනක පහළ යන්නේ නැහැ. ඒ කාලයේ තිබූ මිලට භාණ්ඩ ගත නොහැකි වුණත් මිල වැඩිවීමෙන් ජනතාව තවත් පෙලීම දිගටම සිදු නොවනවා ඇති. මිල මට්ටම එකවරම ඉහළ ගොස් ස්ථාවර මට්ටමකට පත්ව ඇත. යළි වැඩිවීමට දෙයක් ඉතිරු වී නැත. කෙසේ වුවද පෙර මාසයේ තිබූ මිල මට්ටමට වඩා මේ මාසයේ මිල යම් පමණකට හෝ අඩුවීම උද්ධමනය පහළ බැසීමට හේතු වී ඇත. උද්ධමනය තනි ඉලක්කමකට පහළ බසිනවාය කියන්නේ ඒ අනුවයි.''

ජනතාව බලාපොරොත්තු වූ සහනය ලැබෙන්නේ නැත. ඉන්ධන ලීටරය රුපියල් 170ට පහළ බැසීම හෝ ඩොරලය 160ට පහළ යාමක් හෝ සිදු නොවෙයි. එසේ වුවද පවතින මිලට භාණ්ඩ සහ සේවා ගැනීමට ජනතාවට හැකිවිය යුතුයි. අතේ මුදල් තිබේ නම් ජනතාවට ජීවන වියදම නිසා අසාධාරණයක් නොවෙයි. මෙහිදී සිදුවිය යුත්තේ භාණ්ඩ මිල අඩුකිරීමට වඩා පවතින මිලට ගැනීමට ජනතාව අතට මුදල් ලැබීමයි. ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව ඉහළ යාමයි. එවිට ජනතාව බඩු මිල අඩු කරන ලෙස උද්ඝෝෂණ නොකරනවා ඇත.

අද පවතින තත්ත්වය වුවද දිගටම තබා ගැනීම දුෂ්කර වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ලබන වසරේ ජූනිවලදී ආනයන රෙගුලාසි ලිහිල් කළ යුතුව තිබේ. රුපියල පා කිරීමට සිදුවේ. එසේ කළ විට රුපියලේ අගය පහළ වැටී සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වෙයි. සෙසු රටවල් හා සැසඳූ විට ශ්‍රී ලංකාව වේගයෙන් උද්ධමනය පහළ දැමූ රට ලෙස වාර්තා පිහිටුවා ඇත. ඩොලරයේ අගය ඉහළ යාම නිසා භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියද දැනට ඩොලරය තාවකාලිකව පහළ වැටීම නිසා භාණ්ඩ මිල පහළ ගොස් තිබෙනවා.

පසුගිය සමයේ අපේ රට කඩා වැටී තිබුණි. මෙය දේශපාලන කඩා වැටීම සහ වෙළෙඳපොළ කඩාවැටීම යනුවෙන් දෙආකාරයි. රජය මෙන්ම ජනතාවද දේශපාලන කඩාවැටීම ගැන උනන්දුවක් දැක්වූවා මිස වෙළෙඳපොළ කඩා වැටීම ගැන උනන්දුවක් දැක්වූයේ නැත. ඒ නිසා වෙළෙඳපොළ නන්නත්තාර වී සියල්ල උඩු යටිකුරු වී ගොස් තිබුණි. රටක වෙළෙඳපොළ කඩා වැටෙන විට රජය මැදිහත් විය යුතු නමුත් අපේ රටේ එය සිදුවූයේ නැත. වෙළෙඳපොළ හැසිරවීම බලවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ අතට ගොස් තිබුණි. අතලොස්සක් තමන්ට අවශ්‍ය පරිදි වෙළෙඳපොළ හැසිරවීම නිසා ජනතාව පීඩාවට පත් විය. වෙනත් රටවල් ඒකාධිකාරී වෙළෙඳපොළ පාලනයට මැදිහත් වන නමුත් අපේ පාලකයන් එය ගණනකට නොගෙන ස්වකීය බලය රඳවා ගැනීමට සටන් කළා. ඒ බලපෑම තවම සහමුලින් අවසන් වී නැහැ. උද්ධමනය අඩුවුවද මිල අඩු නොවේ යැයි ජනතාව කෑගසන්නේ ඒ නිසාය. අනාගතයේදී අද පවතින වාතාවරණය වෙනස් වුවහොත් ජනතාවට සහනයක් ලැබෙනවා. එහෙත් එය ඉතා ඉක්මනින් සිදු නොවන බව සැලකිය යුතුය.

 
I යසවර්ධන රුද්රිගු
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02