සිතුල්පව්වේ හාමුදුරුවෝ කපිල ගැන කියන කතාව
අයි.ආර්.සී. අපරාධකරුවන්ගේ ලැයිස්තුව මේ වනවිට අඩුවෙමින් තිබේ. එහෙත් ඒ අතරවාරයේ එම ලැයිස්තුවට අලුත් නමක් එක් වී ඇත්තේය. ඒ සිතුල්පව්වේ කපිලය. වාහන මංකොල්ලකෑම් 800කට ආසන්න ප්‍රමාණයකට චෝදනා ලබා සිටින්නෙකි. සිතුල්පව්වේ කපිල මාර්ගයේ ගමන්ගන්නා වාහනවලින් කොල්ලකෑම් දිගින් දිගටම සිදුකරමින් සිටින අතර වරෙක අපරාධකරුවකුද වරෙක අහිංසකයකුද බව කියැවෙන මෙම කපිල සමගින් පොලීසිය ඇතුළු බලධාරීන්ට හැරෙන්නටවත් නොහැකිය. ඔහු ඒ තරමට දරුණුය. සද්දන්තය. කපිල කොල්ලකන වාහනවලින් වැඩිපුරම ඉල්ලන්නේ මිල මුදල්වත්, රන් රිදී මුතු මැණික්වත් නොව කෑම ජාතිය. අන් අපරාධකරුවන් අතරින් ඌ අහිංසක වන්නේ එහෙයිනි.
මේ සම්බන්ධයෙන් අපි මෙවර විශේෂ අවධානයක් යොමු කළෙමු. සිතුල්පව්වේ කපිලගේ නිවහන බවට පත්ව ඇත්තේ සිතුල්පව්ව මාර්ගයයි. සිතුල්පව්ව රජමහා විහාරය වැඳපුදා ගැනීමට යන බැතිමතුන්ට ගමන් කිරීමට ඇත්තේ කතරගම, කටගමුව මාර්ගය සහ තිස්සමහාරාම යෝධකණ්ඩිය මාර්ගයයි. මෙම මාර්ගයේ ගමන් ගන්නා අයගෙන් කපිලට කප්පම් නොදුන් අයකු සොයාගැනීමට අපහසුය. ඒ තරමට ඌ කප්පම් පප්පෙකි. එකී රුදුරු තුරුවදුලු මැදින් ගමන්ගන්නා මාර්ගයේ රුඳී සිටින කපිල දළ ඇතෙක් වන්නේය. මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට අලාභහානි සිදුකරමින් වාහනවල කෑම ජාති බලෙන් ආහාරයට ගනී. කපිල සිතුල්පව්ව මාර්ගයට පැමිණ ඇත්තේ මෙයට වසර 10 කට පෙරය. ඒ කාලේ සිටම මාර්ගයේ ගමන්ගන්නා වාහනවලින් ආහාර දීම පුරුද්දක් වීම නිසා කපිලගේ නිවහන සිතුල්පව්ව මාර්ගයට බවට පත්වන්නට වැඩිකල් ගොස් නැත. මේ වනවිට වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ කපිල නම් දළ ඇතා මාර්ගයේ ගමන්ගන්නා වාහන නවතමින් වාහනවල කෑම උදුරාගැනීම සිදුකරමින් සිටී.
කපිල කොල්ල කා හානිකරන ලද වාහන ප්‍රමාණය ආසන්න වශයෙන් 800ක් බව ප්‍රදේශවාසීන්ගේ මතකයේ ඇත්තේය. කපිල දළ ඇතා පිළිබඳ ඈත අතීතයේ සිට ප්‍රදේශවාසීන්ගේ මතය වන්නේ සිතුල්පව්ව අඩවිය ආරක්ෂා කරන ආරක්ෂකයකු ලෙසයි. මතින් තොර කලාපයක් වන මෙම අඩවියට රහමෙර මතින් කිසිවකු ඇතුළුවීමට උත්සාහ කළහොත් ඔහුට වැඩ වරදින බවත් ප්‍රදේශවාසීන් අතර මතයක් ගොඩනැගී තිබේ.
මෙවැනි හානිකිරීම්වලදී මිනිසුන්ගේ පහරදීම්වලට සහ හිරිහැරවලටද ලක් වී ඇති දළ ඇතාගේ ආරක්ෂාවටද මෙය ඉමහත් තර්ජනයක් වී තිබේ. සිතුල්පව්ව පොලිස් මුරපොළ ඇතුළු මුරපොළ කිහිපයක් ඒ ආශ්‍රිතව තිබුණද කපිල ඒවාට මෙල්ල වන්නේ නැත. මේ සම්බන්ධයෙන් ආසන්න සිදුවීම සිදුවූයේ ඉකුත්දාකය. සිතුල්පව්ව විහාරස්ථානය වැඳපුදාගැනීමට රත්ගම සිට ගිය බස් රථයකට පහරදී බස් රථයේ තිබූ සියලු ආහාර පැහැරගෙන ඇති බව පොලීසිය කියයි. පහරදීම සිදුවන අවස්ථාවේ බස් රථයේ 30 දෙනකු පමණ සිට ඇති අතර එයින් තරුණියකට වීදුරු කෑලි වැදී සුළු තුවාල සිදුවී ඇති බවද පොලීසිය කියයි. ප්‍රදේශවාසීන් පවසන්නේ වනජීවියට පැවසුවත් මේ වනවිටත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී සිතුල්පව්ව රජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමියන් පැවසූයේ මෙවැනි කතාවකි.
“මේ ඉන්නේ ඇතෙක් නෙමෙයි මංකොල්ලකාරයෙක්. ප්‍රදේශවාසීන් වගේම බැතිමතුන්ද මේ ඇතා නිසා ගොඩාක් දුක් විඳිනවා. ජනාධිපති, අගමැති, වනජීවි ඇමැති ඇතුළු කියන්න තියෙන හැමකෙනාටම කිව්වත් තවමත් මේ ප්‍රශ්නයට විසඳුමක් නෑ. මේ සිදුවීම්වලින් මිනිසුන්ට පමණක් නොවෙයි ඒ සතාටත් හිරිහැර සිදුවෙනවා. ඒ සතාත් දුක් විඳිනවා. බලධාරීන් එන්නේ වනජීවියයි වාහනයි පිරිවරාගෙන. වනජීවි වාහන දකිද්දී ඇතා පාරේ ඉන්නේ නෑ. ඉතින් සාමාන්‍ය මිනිසුන්ට තමා මේ ප්‍රශ්නය හැමදාම. බිල්ලක් ගන්නකල් බලධාරීන් මේ ප්‍රශ්නය විසඳන්නේ නෑ. ආරක්ෂාවක් නැතිකමින් දැන් දැන් සිතුල්පව්ව විහාරයට බැතිමතුන් එන්නෙත් නෑ. ගාමිණී ජයවික්‍රම පෙරේරා වනජීවි ඇමැති ඉන්න කාලේ ඇතාට බෙල්ට් එකක් දාලා බැඳලා තියන්නත් යෝජනාවක් ගෙනාවට ඒවා ක්‍රියාත්මක වුණේ නෑ. හිටපු ජනාධිපතිවරයකු මෙම ප්‍රශ්නය විසඳීමට ඇතා වෙන තැනකට ගෙනයන්න වනජීවියට උපදෙස් දුන්නා. ඒත් එකල වනජීවියේ බලධාරීන් ඒ නියෝගවත් ක්‍රියාත්මක කළේ නෑ. මේ ප්‍රශ්නය බීරි අලින්ට වීනා ගහනවා වගේ වැඩක්. බිල්ලක් ගන්නකල් කාගෙවත් ඇස් ඇරෙන්නේ නෑ.”
උඩවලව ජාතික වනෝද්‍යානය ඉදිරිපිට බුත්තල මාර්ගයේ විදුලිය වැට ආසන්නයේත් මේ ආකාරයට වසර ගණනක සිට ඇතින්නක් රැඳී සිටි. ඒ මාර්ගයේ ගමන් ගන්නා ජනතාව ලබාදෙන ආහාර පාන ගන්නටය. මාර්ගය ආසන්නයටම පැමිණෙන්නට පුරුදු වී සිටිනුයේ මගීන් ඇතින්නට කෑම කවන්න පුරුදු වී සිටි නිසාය. එය බැලූ බැල්මට හුරතල් ක්‍රියාවක් සේ පෙනුණද මහත් අවදානමක් ක්‍රියාවකි.
පසුකාලයේදී බලධාරීන්ගේ ඇස් වසා ප්‍රදේශවාසීන් ඒ ආසන්නයේ කෑම විකුණන කඩ කිහිපයක් දමා තිබිණ. ඒ යන එන මගීන්ට කෑම කන්නට නොව අලියාට කෑම දමන්නන්ට කෑම ගැනීමටය. එයත් කාලයක් නවතා ගැනීමට බැරි තරමට පුරුද්දක් විය. දිගින් දිගටම සිදුවන අනාරක්ෂිත ක්‍රියාව හේතුවෙන් පොලීසියට සිදුවූයේ ගිනි බටයක් අතැති පොලිස් නිලධාරියකු සමඟ නිල යතුරුපැදියක් මාර්ග සංචාරයේ දැමීමටය. ඉන්පසු එයින් මෙම අනාරක්ෂිත ක්‍රියාව පාලනය වන්නට විය. එදා ඒ රථවාහන නවතමින් කෑම ඉල්ලූ ඇතින්න අද මවක් වී සිටින්නීය. බුත්තල ගල්ගේ මුරපොළට ආසන්නයේදී මෙම අලි පැටවා සමග ඇතින්න දැක ගත හැකිය. ඒ අසලට පැමිණ රථවාහන නැවතීමත් සමග මාසයක් පමණ වයසැති මේ පුංචි අලි පැටවා දුවගෙන විත් වාහන යටට රිංගයි. එය අලි පැටවාගේ ආරක්ෂාවට තර්ජනයක් බවට පත් වී තිබේ. අලි මාර්ගයේ ගැවසෙන බැවින් ප්‍රවේශමෙන් රිය පදවන්නැයි හැමදාම උපදෙස් දුන්නේ ජනතාවටය. එහෙත් අලි පැටවා මාර්ගයේ සිටීම හේතුවෙන් අලි පැටවා ගැන සිතා ප්‍රවේශමෙන් රියපදවන්නැයි ජනතාවට උපදෙස් දෙන්නට මේ වනවිට වනජීවියට සිදුව තිබේ.
I සසංක චලන ගිම්හාන
ඡායාරූප- ලංකාදීප වෙබ් අඩවියෙනි.