මතුගම අධිකරණයේ විභාග වීමට නියමිතව තිබූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ නඩුව කැඳවීමට නියමිතව තිබුණේ ඉකුත් සතියේ දිනකය. අදාළ සිද්ධියේ සැකකරුවන් තිදෙනාම බාල වයස්කාරයන් බැවින් ඔවුන් අධිකරණ නියෝග මත රඳවා සිටියේ මාකොළ පිහිටි ළමා රැදවුම් මධ්‍යස්ථානයේය. සැකකාර දරුවන් තිදෙනාගේ අධිකරණ කටයුත්ත හමාරවීමෙන් පසුව නැවතත් මාකොළ රැදවුම් මධ්‍යස්ථානය වෙත බාර කිරීම බන්ධනාගාර නිලධාරීන්ගේ වගකීමය.
සැකකාර බාල වයස්කරුවන් තිදෙනා මාකොළ සිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් වෑන් රථයකින් මතුගම අධිකරණය දක්වා ප්‍රවාහනය කෙරුණු අතර ඔවුන්ගේ ආරක්ෂාව සඳහා බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු යොදවා සිටි බව පැවසේ. එම පිරිසේ ආරක්ෂාව සහිතව රැදවුම් භාරයේ සිටි තිදෙනා නැවත කැඳවාගෙන ආ වෑන්රථය මතුගම අධිකරණ සංකීර්ණයට නුදුරු මාර්ගයක හදිසියේම නවතා තිබිණි. එම අවස්ථාවේ එතැන සිටි කිහිප දෙනකු විසින් බන්ධනාගාර වෑන් රථය වෙත ඇසුරුම් කළ පාර්සල කිහිපයක් ලබා දීමට කටයුතු කර ඇතැයි කියති. මෙසේ බන්ධනාගාර වෑන් රථයකට අතරමගදී භාණ්ඩ තොගයක් සැපයූ බවට චෝදනා එල්ල වන්නේ බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි තිදෙනාගේ ඥාතීන් වෙතය.
අධිකරණ නියෝග යටතේ සිටි රුඳවියන්ගේ භාරකාරීත්වය බන්ධනාගාර නිලධාරීන් වෙත පැවරී තිබියදී ඔවුන්ට ඥාතීන් හිතවතුන් හා සබඳතා පැවැත්වීමට අවස්ථාවක් නොමැත. නමුත් එවැන්නක් සිදුවූ බවට සාක්ෂි සහිතව ඔප්පු කිරීමට වෙනත් පාර්ශ්වයක් කටයුතු කොට ඇත්තේ සිදුවීම සජීවී අයුරින් වීඩියෝ තාක්ෂණයෙන් පටිගත කිරීමට සමත් වූ බැවිනි. එම වීඩියෝගත කිරීම සිදු කර ඇත්තේ ඝාතනයට ලක්වූ තැනැත්තාගේ හිතවතුන් විසින් බව කියැවේ.
මෙසේ බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි රුඳවියන් වෙත පිටස්තර පුද්ගලයන් විසින් යම් භාණ්ඩ තොගයක් ලබා දුන්නේ නම් එය ඔවුන්ගේ හිතුමතේට සිදු කළ නොහැක. බන්ධනාගාර නිලධාරීන් දැනුවත්ව ඔවුන්ගේ අනුදැනුම මත සිදු කළ එකක් විය යුතුය. එසේ නම් අදාළ සිදුවීමට පෙර බන්ධනාගාර නිලධාරීන් හා පිටස්තර පුද්ගලයන් අතර සාකච්ඡාවක් සිදුව තිබේද? ඒ සඳහා පෙර සූදානමකින් පසුවී ඇතිද? යන්න විමසිලිමත් විය යුතුය. මේ සඳහා බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු සම්බන්ධ යැයි පැවසෙන බැවින් ඔවුන්ගේ සාමූහික තීරණයක් අනුව එම ක්‍රියාව සිදුව ඇති බවට සැක කෙරේ.
මෙම නීති විරෝධී ක්‍රියාව දැක වීඩියෝ තාක්ෂණයෙන් පටිගත කර ගැනීමට ක්‍රියා කළ පිරිස ඒ පිළිබඳව නීතිමය පියවර ගැනීම සඳහා නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරණයට කරුණු වාර්තා කොට තිබේ. ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අතර එම සිද්ධිය පිළිබඳව සිය දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත් සැකකාර නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන දැනට ඔවුන්ගේ සේවය තහනමට ලක්කර ඇති බවත් අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නියමිත විමර්ශන අවසන් වූ වහාම විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවය.
බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටියදී මෙම දරුවන් තිදෙනාට ඔවුන්ගේ ඥාතීන් බව කියන පිරිසක් විසින් භාණ්ඩ පාර්සල් කිහිපයක් ලබා දුන් බව කියන සිදුවීමට අදාළ දරුවන්ට එරෙහි චෝදනාව මනුෂ්‍ය ඝාතනයකි. එය සිදුව තිබුණේ පසුගිය පෙබරවාරි 14 වැනිදා වැලිපැන්න ප්‍රදේශයේදීය.
ඉහත කී බාල වයස්කරුවන් තිදෙනාගේ පහර කෑමෙන් ඝාතනයට ලක්වූයේ රංග විරාජ් ජයසිංහ නැමැති 34 හැවිරිදි එක්දරු පියෙකි. මොහුගේ පියාගේ තුන් මාසයේ දානය යෙදී තිබී ඇත්තේ පෙබරවාරි මස දිනකය. ඔහුගේ දියණියගේ පළමු උපන් දිනය යෙදී තිබුණේද ඉන් මසකට පසුවය. එම අදහසත් හිතේ තබාගෙන දානය සඳහා ඇවැසි පිරිකර ලබා ගැනීමට නගරයට ගොස් නිවෙසට පැමිණීමෙන් ටික වෙලාවකට පසුව පාන් ගෙඩියක් මිලට ගැනීම සඳහා ඒ ආසන්න වෙළෙඳසලක් වෙත ඔහු ගොස් තිබුණේ යතුරුපැදියෙනි.
ඒ කුරුදිප්පිට හන්දිය දෙසටය. යන අතරමගදී රංගට ඇස ගැටී තිබුණේ පාසල් වයසේ සිසුන් කිහිප දෙනකු හිස් වැසුමක් හෝ නොමැතිව දැඩි අනාරක්ෂිත ලෙස අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කිරීමකි. දරුවන් හමුවේ ඇති අවදානම දුටු රංග විරාජ් මඳකට නැවතුණේය. පාසල් සංවර්ධන නිලධාරිනියක වශයෙන් සේවය කරන සිය බිරිය රාජකාරි කරන පාසලේම දරුවන් කිහිප දෙනකු මේ කටයුත්තේ යෙදී සිටින වග ඔහු දැක ඇත්තේ ඒ මොහොතේය. ඔවුන්ගේ ආරක්ෂාව පතා අවවාදයක් කොට තිබුණේ අනතුරුවය.
මදන විසේ ඇති තරුණ වියේ පසු වූ දරුවන්ගෙන් කෙනකු අවවාදය නොතකා ''උඹ කවුද අපිට උපදෙස් දෙන්න.. අපි බයික් පදින්නේ අපිට ඕන විදියට... පලයං යන්න මැරුම් නොකා..'' යැයි කියා ඇති බව පැවසේ. ඊට හික්මීමෙන් පිළිතුරක් ලබා දුන් රංග ''එහෙම කියන්න එපා.. මම කීවේ ඕගොල්ලන්ගෙ හොඳට. මේක මහ පාර.. තව මිනිස්සු යන එනවනේ...'' යැයි කියා ඇත. ''තැන අපිට අදාළ නෑ.. තවත් මෙතන රඟන්නෙ නැතුව පලයං.. උඹ අපිට ලොකු නෑ...'' කියා බැණ වැදී තිබුණේ තිදෙනාගෙන් අයෙකි. ඒ අතර රංගට කීමට හැකිව තිබුණේ ''අවවාදයක් දුන්නම සත්තු වගේ හැසිරෙන්න එපා...'' කියා පමණකි.
එකවරම තරුණයකු අත වූ හෙල්මටයකින් රංගට වැරෙන් පහරක් එල්ල විය. අනපේක්ෂිත අයුරින් වැදුණු පහර රංග විරාජ්ට නොරිස්සන්නට ඇත. ඇතැම්විට සිය ආරක්ෂාවට ඔහුත් යමක් කරන්නට ඇත. ගැටුම උත්සන්න වෙමින් තරුණ සගයන් තිදෙනා එකපිට එක රංග විරාජ්ට පහර දී තිබුණේ තරුණ ජවය පිටය. පහර කෑමෙන් රංග බිම ඇද වැටුණේ සිතන්නට යමක් ඉතිරි නොකරමිනි.
මාරාන්තික තුවාල සහිතව වැටී සිටි රංග විරාජ් අලුත්ගම රෝහල වෙත ඇතුළත් කළද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණේ මාරාන්තික ප්‍රහාරයකට ගොදුරු වීමෙනි. සිද්ධියේ සැකකාර පාසල් සිසුන් තිදෙනා එදිනම වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබුණේ සැකකරුවන් බාල වයස්කරුවන් බැවින් නඩු කටයුතු අවසන් වන තෙක් මාකොළ බාලක රැදවුම් නිවාසයේ රඳවා තබන ලෙසය.
එතැන් සිට බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි දරුවන් නඩුව සඳහා පෙනී සිටීමට මතුගම අධිකරණයට ගිය දිනක ඔවුන්ගේ ඥාතීන් පිරිසක් විසින් අනවසරයෙන් භාණ්ඩ කිහිපයක් බන්ධනාගාර රථයට ලබා දීම හේතුවෙන් මෙකී නීති විරෝධී ක්‍රියාව වාර්තා වී තිබිණි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
I සමන්ත ප්‍රදීප් විල්තෙර