2023 අප්‍රේල් 30 වන ඉරිදා

මට හිතාගන්න බැරි වුණා ඊළඟ මොහොතේ ජීවිතය පටන් ගන්නෙ කොතනින්ද කියලා - චාරුක මධුශංක පෙරේරා

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:00 72

සතුට ඇත්තේ ගමනේ කෙළවර නොව යන මඟ දෙපසය. ජීවිතයේ පාර දිගේ ඇවිදගෙන යද්දී විඳින, හමුවෙන, විඳවන බොහෝ සංසිද්ධීන් වෙත්. එහෙත් ජීවිතය යනු ඒ සියල්ලෙහි ඓක්‍යයයි. ජීවිතය විෂයෙහි වඩාත් නිරවද්‍ය වූ කියැවීමක් උදෙසා ජීවිතයේ අනේක සංසිද්ධීන් ඇසුරෙහි ලබාගන්නා ජීවිතය ගැන සාක්ෂරතාවය කිසිදු න්‍යායක්, සංකල්පයක් හෝ විෂයක් ඔස්සේ ඉගැන්විය හැකි දෙයක්ද නොවේ. එහෙත් ඒ සියල්ල හමුවේ නිසැකවම ජීවිතයට ආදරය කළ යුතුමය. ජීවිතය සුන්දරය යැයි හැඟීමෙන් ජීවිතයට ප්‍රේම කළ යුතුමය. සියල්ල අහිමි වුවත්, ඒ අහිමිවීම් කවර සන්තාපයක් උදා කළත් ඒ සියල්ල දරාගෙන ජීවිතය සොයා යා යුතුමය. මම ඔබෙන් අසන්නෙමි... ජීවත් වීම යනු එයම නොවේද? කවුරුන් හැර ගියත්, කවරක් අහිමි වුවත් තමන්ට තමන් අහිමි කර නොගනිමින් තමන්ට අවැසි ජීවිතය සොයා යාම සහ තමන් අභිමුවේ තමන් පරාජිතයකු නොවීම තරම් ලබන්නට ජයග්‍රහණයක් තවත් කොතැනකද?

ඉතින්... චාරුක මට කියන්නට ආවේද එවැනිම කතාවකි...

ඒ 2019 අවුරුද්දේ සැප්තැම්බර් 21 වැනිදාය. කායවර්ධන ලෝක තරගාවලියකට සහභාගි වීම සඳහා සූදානම්ව සිටි චාරුක මධුශංක පෙරේරාට එම තරගාවලිය නියෝජනය කිරීමට යාම සඳහා තවත් ඉතුරුව තිබුණේ සති තුනක පමණ කාලයකි. ජීවිතය වරෙක අනපේක්ෂිතයකි. ඒ අනපේක්ෂිතය නොඉල්ලන බොහෝ දේ වරෙක දෑතට ගෙනැවිත් දෙයි... 

ඉතින්... ඔබේ ජීවිතයට ආවේත් හිතපු ප්‍රශ්නයක් නෙවෙයි. එහෙමද?

ඇත්තටම ආදරය කරන කෙනෙක්ට, අවංකව ආදරය කරන කෙනෙක්ට බෑ තමන් ආදරය කරන කෙනා තවත් කෙනෙක් එක්ක බෙදාගන්න. අවංකව ආදරය කරන කෙනෙක්ට බැහැ ඉන් එහා තව කෙනෙක් ළඟ නතර වෙන්න. ඒත් ඒ විශ්වාසය බිඳී ගිය දාට... කෙනෙක් දරාගෙන නිහඬ වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට එය දරාගන්න නොහැකි වෙන්න පුළුවන්.

''යම් ප්‍රශ්නයක් සිදුවුණා මගේ ජීවිතයේ සිටිය කෙනෙක් නිසා. ඒ මොහොතේ ඇතිවූ ආවේගය නිසා මගේම ජිම් එකේ වීදුරුවකට ගහපු මම හිතුවෙ නෑ ඒ මොහොතේ එවැනි දෙයක් මට සිදුවෙයි කියලා. මගේ අත එහෙමම කපාගෙන ගියා. ඒ මොහොතේ ලේ විද්දා එකපාරටම. මොහොතකින් මට සිහි නැතිවේගෙන ආවා... මාව අරගෙන ගියේ රාගම ඉස්පිරිතාලයට. අත කපලා අයින් කරන්න වෙනවා කීවා. සුළු සේවකයෙක් මට කීවා අයියා ආවේ වාහනයක නම් මෙතනින් යන්න කොළඹට. නැත්නම් හෙට උදේට අත කපලා අයින් කරන එකයි කරන්නෙ කියලා... මට එකපාරටම සිහි වුණා අත අහිමි වුණොත් මගේ අනාගතය මොකක්ද කියලා... එක මොහොතකින් ජීවිතයම කඩා වැටුණා වගේ හැඟීමක් ආවා.. අතට දාපු බැන්ඩේජ් එක තෙමාගෙන ලේ උතුරනවා. මම එහෙමම කොළඹ ඉස්පිරිතාලයට ආවා... කොළඹදි කීවා ඔයාගේ නහර කැපිලා තියෙන්නෙ. නහර කැපුණම විනාඩි 20 කින් මැරෙන්න පුළුවන්... පුදුමයි ඔයා මෙහෙම ඉන්න එක කීවා. ඒ වෙද්දි පැය පහක් මගේ ලේ ගිහින් තිබුණා. වෛද්‍යවරු නවදෙනෙක් පැය දොළහක ඔපරේෂන් එකක් කළා. ඔපරේෂන් එකට කැමැත්ත දීලා මගේ අනිත් අතින් තමයි ඇඟිලි අත්සන තැබුවේ.''

2016 වර්ෂයේදී ලෝක කායවර්ධන තරගාවලියට සහභාගි වූ චාරුක එහිදී අඩුම වයසින් එම තරගය නියෝජනය කළ කායවර්ධන පුරුෂයා ලෙසද ගෞරවයට පාත්‍ර විය.

ඒ තරගවලට සහභාගි වීමට තිබුණු ලොකුම අභියෝගය වූයේ ආර්ථික ප්‍රශ්නයි. නිවෙස විකුණා 2018 වර්ෂයේදි %ජිම්^ එකක් ඇරඹූ චාරුකගේ අරමුණ වූයේ කායවර්ධන ශිල්පියෙක් ලෙස ජීවිතය දිනාගැනීමයි. එහෙත් ඒ සිහින ඔස්සේ ගිය ගමන වීදුරුවක් විසින් වෙනතකට හරවන්නට ගතව තිබුණේ එක් නිමේෂයක් පමණි. පැය දොළහක් පුරා සිදු කළ සැත්කම අවසන් වී දෙදිනකට පසු දැඩි සත්කාර ඒකකයේදී පියවි සිහියට එළඹෙද්දී...

ඔව් පියවි සිහියට එළඹෙද්දී...

චාරුකගේ වීදුරුවට කැපුණු අත මෙන්ම අනෙක් අතේද සක්‍රීයත්වය ගිලිහී ගොස් තිබුණි.

''මට හිතාගන්න බැරි වුණා ඊළඟ මොහොතේ ජීවිතය පටන් ගන්නෙ කොතනින්ද කියලා. මට හිතාගන්න බැරි වුණා අත් දෙකම පණ නැතිවෙද්දි ජීවිතය අල්ලාගන්නෙ කොතනින්ද කියලා. මගේ ජීවිතයේ හිටිය හැමදෙනාම වාගේ මාව එයාලගේ ජීවිතවලින් අත්හරින්න හුඟ කාලයක් ගියේ නෑ. අම්මා තාත්තා, සහෝදරයෝ, මේ අය පවා කෙනෙක්ට ජීවිතයේදි අහිමි වෙන්න පුළුවන්. එහෙම මොහොතක පපුවට දැනෙන අසරණකම දන්නෙ එහෙම දෙයක් වින්ද කෙනෙක්ම විතරයි. මම සතියක් දැඩි සත්කාර ඒකකයේ ඉඳලා ඉන්පසු සාමාන්‍ය වාට්ටුවට ඇවිත් අවසානයේ මගේ 'ටිකට්' කැපුවා. මගේ අත කැපුණේ විවාහ වෙලා හරියටම මාස දෙකයි දවස් 21 ක් ගතවෙද්දි. යාළුවෝ කිහිප දෙනෙක් ඇරෙන්න මගේ ජීවිතයේ හිටපු ඒ කිසිම කෙනෙක් ඇත්තටම මාව බලන්නවත් ඉස්පිරිතාලයට ආවේ නෑ. මම විවාහ වුණේ අවුරුදු තුනක ප්‍රේම සබඳතාවයකින්.''

එහෙත් ඕනෑම මොහොතක ඕනෑම දෙයක් එක් ක්ෂණයකින් වුව වෙනස් වී යා හැකිය. චාරුක අත්වින්දේද යථාර්ථයෙනුත් ඔබ්බට ඒ සත්‍යයයි. 

''මම මගේ යාළුවාට කීවා මට ගෙදර යන්න බෑ කියලා. ඔහු කීවා හරි අපේ ගෙදර යමු කියලා. මගේ අත් දෙකම වැඩ කරන්නෙ නෑ. අවසානයේ මම එහෙන් ගියා. මට මගේ ශරීරය පිරිසුදු කර ගන්න බෑ. පුදුම අසරණ වීමක්. ඇත්තටම මාව බලාගත්තේ මගේ හොඳම යාළුවෙක් සහ යෙහෙළියක්. ඇය මධූ. මම මාස තුනකට පසු ඇයට කීවා මම වෙනුවෙන් වෙච්ච මහන්සිය ඇති... දැන් යන්න කියලා. ඇය කීවා මම යන්නම්... හැබැයි ඔයාගේ අත් දෙක හොඳ කරලා කියලා. බෙහෙත් කරන්න සල්ලි නැතුව මගේ කාර් එක, බයික් එක, ඔය විදිහට තිබුණු ඔක්කොම විකිණුවා. මාස 9 කට පසු ජිම් එකේ මැෂින් දෙකක් විතර විකිණුවා. වෙද මහත්තයෙක් කීවා ඔයාගේ ඇඟේ තියෙන්නේ අභ්‍යන්තරව සිදුවෙච්ච අවහිර වීමක්. පුළුවන් නම් ඒක කඩාගන්න... එතකොට අත් හරි යයි කියලා. මගේ යෙහෙළිය මධූ කේබල් මගේ අත්වල ගැටගහලා පුදුම මහන්සියක් අරගෙන මට ව්‍යායාම කරවනවා. කොහොම හරි ඔය විදිහට දිගටම කරද්දි එක දවසකදි එක ඇඟිල්ලක් විතරක් වැඩ කළා.'' 

ඒ දවසේ... දෙවැනි වරට ජීවිතය තුළ යළිත් ඉපදුණා සේ වූ හැඟීමක් ඔහු තුළ දනවන්නට ඇත. 

''මේ විදිහට අවසානයේ මගේ අත් දෙකම වැඩ කළා... බැංකු රැකියාවෙනුත් අයින් වෙලා මට කවලා පොවලා මාව බලාගත්තේ මගේ යෙහෙළිය මධූ. අදටත් මගේ පණ වගේ ඇය මගේ ළඟින් ඉන්නවා. ලෝකයම මාව අතහැරියත් ඇය මාව අතහැරියේ නෑ. මාව අත්නොහැර ළඟින් හිටපු අය කිහිප දෙනයි මා එක්ක හිටියේ.''

අශ්වයන් සහ පෝනියන් හදමින් උපන්දින මංගල්‍යයන්, කානිවල් ආදියට අශ්ව කරත්ත ලබාදෙමින් වෘත්තීමය වශයෙන් මුලින් හරිහම්බ කළ චාරුක, අශ්වයන් නොසිතූ ආකාරයෙන් මිය යාමෙන් පසු එය අත්හැර ජිම් එක ආරම්භ කළ අතර කායවර්ධන ශිල්පියෙකු ලෙස ඔහුගේ ගමන ඇරඹියේ ඉනික්බිතිවය. 

ජීවිතය අත්නොහැර ඔබ ජීවිතය අල්ලා ගත්තා... මෙතනින් එහා මොනවද බලාපොරොත්තු... 
කායවර්ධන ශිල්පියෙක් ලෙසට ජාත්‍යන්තරය දක්වා යන එක තමයි මගේ එකම ප්‍රාර්ථනාව... 

සිතෙහි ශක්තිය තරම්
තමන්ට තමන් ගැන විශ්වාසය තරම්
තමන්ට තමන් ගැන ආදරය තරම්
ජීවිතය අප වෙත තිළිණ කළ හැකි අන් කිසිවක්ම නැත...

ඔව්... ඔබ අභියෝග කළ යුත්තේත්, ඔබ තරග කළ යුත්තේත් වෙන කිසිවෙකුත් සමඟ නොව, ඔබ සමඟම පමණි...

I සංජීවිකා 
සේයාරූ - සුමුදු හේවාපතිරණ සහ FB

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02