2023 අප්‍රේල් 30 වන ඉරිදා

අයි.එම්.එෆ්. විවාදයෙන් වැඩක් වුණාද?

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:00 29

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය මේ වනවිට ගනුදෙනුවට ගොස් අවසන්ය. මෙය ශ්‍රී ලංකා ආර්ථිකයේ අනාගතය තීරණය වන තීරණාත්මක මොහොතක් බව බොහෝ ආර්ථික විශේෂඥයෝ පවසති. 16 වතාවක් මූල්‍ය අරමුදලෙන් ණයගත් ශ්‍රී ලංකාව මෙවර 17 වැනි වතාව තුළ ගත් ණය වෙනුවෙන් එම අරමුදල විසින් යෝජනා කරන ලද යෝජනා ක්‍රියාත්මක නොකළහොත් ඉතාම දරුණු ඉරණමකට මුහුණ දෙන්නට සිදුවන බව බොහෝදෙනාගේ මතය වී තිබේ. ඒ නිසා සංක්‍රාන්ති සමය ගෙවන ශ්‍රී ලංකා රජය අද වනවිට මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති රාශියක් රට තුළ ක්‍රියාත්මක කරමින් සිටී.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කළ යෝජනා මොනවද? ඒ සඳහා රජය එකඟ වුණේ කෙසේද? යන්න සම්බන්ධයෙන් විපක්ෂය දිගින් දිගටම ආණ්ඩුවෙන් විමසීය. මේ නිසාම ආණ්ඩුව අදාළ යෝජනා ටික පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ අතර මේ සම්බන්ධයෙන් විශේෂ විවාදයක් කැඳවනු ලැබීය. පසුගිය දින තුනක් පුරාම එම විවාදය පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් අයි.එම්.එෆ්. යෝජනාව සම්මත කර ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබීය. එහිදී ඔහු සඳහන් කර සිටියේ 2022 සැප්තැම්බර් වනවිට ආර්ථික සංවර්ධන වේගය 7.8%කින් හැකිළුණු බවත් උද්ධමනය 70% දක්වා ඉහළ ගිය බවත් ආහාර උද්ධමනය 95% දක්වා ඉහළ ගිය බවත්ය. එසේම එම කාලය වන විට රටේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83.6 වූ බවත් විදේශ ණය ඩොලර් බිලියන 41.5 කුත් දේශීය ණය ඩොලර් බිලියන 42කුත් වූ බව ජනාධිපතිවරයා පැවසීය. කෙසේ වෙතත් ආර්ථිකය කඩාවැටීම හමුවේ පළමු වතාවට ණය නොගෙවීමට සිදුවුණු බවත් මේ නිසා ද්විපාර්ශ්වික ණය හිඟය ඩොලර් බිලියන 2.7 වූ බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය කතාවේදී ප්‍රකාශ කළේය.

ඉදිරි අවුරුදු තුන හතර තුළ ආර්ථික වර්ධන වේගය 3%,4%අගයක් ගනු ඇති බවත් ඊට පසුව 6%,7% දක්වා වර්ධනය විය හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙහිදී 2048 වනවිට රට ස්ථාවර කිරිම සඳහා සියලුදෙනා එක්ව වැඩකටයුතු කළයුතු බවත්, මෙම යෝජනාව සම්මත කළයුතු බවත් ඔහු කීය. එසේ නොකළහොත් තව වසර දෙක තුනකින් ඉන්නට නොහැකි වන බවත් ජනාධිපතිවරයා මෙහිදී පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එහිදී කළ ප්‍රකාශයක් සඳහා වැඩි ඉඩක් මාධ්‍ය මගින් ලබාදෙනු ලැබීය. එනම් කොටස් වෙළඳපොළ කඩා වැටුණහොත් එය වසා දමන බවත් එසේම බැංකුවලට එකඟ වීමට නොහැකි නම් ඔවුන්ට පැමිණ රට බාරගන්නා ලෙසත් ජනාධිපතිවරයා කළ සඳහනය. විශේෂයෙන් ජනාධිපතිවරයා මෙහිදී බලාපොරොත්තු සහගත කරුණු දෙකක් කීවේය. එනම් අයි.එම්.එෆ්. හරහා ඩොලර් බිලියන 3ක් සහ තවත් සාකච්ඡා හරහා ඩොලර් බිලියන 7 කුත් ලැබෙනු ඇති බවය. එය සැබවින්ම මේ තත්ත්වයෙන් ගොඩ ඒමට යහපත් ආරම්භයක් වනු ඇත.

මේ අතර අයි.එම්.එෆ්. යෝජනාවකට අනුව මේ රටේ දූෂණ වංචා නැවැත්වීම සඳහා ප්‍රබල දූෂණ විරෝධී නීතියක් ගෙන ඒම සම්බන්ධයෙන් රජය මීට පෙර නිවේදනය කරනු ලැබීය. ඒ අනුව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් දූෂණ විරෝධී කෙටුම්පත මෙම විවාදය යන අතරතුර පසුගිය බ්‍රහස්පතින්දා (27) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේය.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ අදාළ යෝජනා සම්බන්ධයෙන් විදග්ධ සංවාදයක් සිදුකිරීමට තම කණ්ඩායම සූදානම් වන බව කියාය. කෙසේ වෙතත් මෙහිදී විපක්ෂ නායකවරයාට විශාල ලෙස ආණ්ඩුව පාර්ශ්වයෙන් බාධා එල්ලවන්නට විය. එසේම සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ ජාතික සම්පත් නොවිකුණා, ජනතාව වෙත බදු පැටවීමෙන් තොරව ආණ්ඩුව ගෙන යන්න නම් අවශ්‍ය මුදල් පැන්ඩෝරා පේපර්ස් හරහා චෝදනා එල්ලවුණු පිරිසගෙන් ලබාගන්න ලෙස කියාය.

කෙසේ වෙතත් විපක්ෂයේ බහුතරයකගේ මතය වී තිබුණේ අයි.එම්.එෆ්. යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කර කළ හැකි වෙනස්කම් පමණක් සිදුකරන්නටය. එසේ නොමැතිව එම යෝජනාව සම්මත නොකර සිටීමට විපක්ෂයේ සංවිධානගත වීමක් තිබුණේ නැත.

කෙසේ වෙතත් මෙම අයි.එම්.එෆ්. විවාදය වෙනත් පැත්තකට යොමු කිරීමට විමල් වීරවංශත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකාත් සමත්වූහ. එනම් තමා විසින් ලියන ලද පොතකට අදාළව විමල් වීරවංශ පාර්ලිමේන්තුව තුළ කතාවක් කරමින් කීවේ අරගලය විදෙස් කුමන්ත්‍රණයක් බවය. ඔහු ප්‍රබල විදෙස් තානාපති කාර්යාලයක තානාපතිනියක් සඳහන් කරමින් කීවේ වර්තමාන ජනාධිපතිවරයා අගමැතිවරයාව සිටි සමයේදී ගෝඨාභය රාජපක්ෂ ඉවත්වන මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා පවා ඉවත් කිරීමට යෝජනා කළ බවයි. එසේම එම තානාපති කාර්යාලයේ සහාය මත සරත් ෆොන්සේකාත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වාත් කටයුතු කළ බව ඔහු කීවේය. ඒ සියල්ල සිදුකළේ කථානායකවරයා ජනාධිපතිවරයා කොට රට අස්ථාවර කිරීමට බවත් ඒ මොහොතේ ඔවුන් උගසට තැබුවේ මෙම අයි.එම්.එෆ්. ණය බවත් මෙහිදී ඔහු කීවේය. විමල් වීරවංශ මන්ත්‍රීවරයා වක්‍රාකාරයෙන් චෝදනා කළේ අයි.එම්.එෆ්. දීම හේතුවක් කර ගනිමින් විදෙස් රටවල් මේ රට පාලනය කරන්නට යන බව කියාය. කෙසේ වෙතත් ඔහු තම කතාවෙදී රුසියාවත් චීනයත් විශාල අගය කිරීමක නිරත විය.

මේ සියල්ල පැවසුවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් විමල් වීරවංශ මහතා ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාරයක් සමඟය. කෙසේ වෙතත් එදින මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාව වූයේ මේ දෙදෙනාගේ සංවාදයයි.

මෙම විවාදය ඉතාම බරසාර විවාදයක් ලෙස ඉස්මතු වියයුතු වුවත් පාර්ලිමේන්තු ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනා සිටියේ දැඩි කලකිරීමකින් බව වාර්තා වේ. එනම් රටේ විශාල ආර්ථික ප්‍රශ්නයකට විසඳුමක් වූ අයි.එම්.එෆ්. යෝජනා සම්බන්ධයෙන් සිදුකරන විවාදය සම්බන්ධයෙන් බොහෝ දෙනකුට අවබෝධයක් හෝ වගකීමක් නොතිබීම නිසාය. ඉතාම වටිනා සාකච්ඡාවකදී පවා වෙනත් වෙනත් ප්‍රශ්න ගෙන එමින් එම විවාදයට බාධා කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨයන් සියලු දෙනා සිටියේ දැඩි කලකිරීමකය. පාස්කු ප්‍රහාරය, එක්ස්පර්ස් පර්ල් නෞකාව අරගලය ආදී මාතෘකා බොහෝ දෙනාගේ අදහස් වීම නිසා අයි.එම්.එෆ්. විවාදය නිසි ලෙස සිදුවුණාද යන්න බොහෝ දෙනකුට ගැටලුවකි. එහෙත් මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බව අමුතුවෙන් කිවයුතු නැත. පසුගිය සිකුරාදා මෙම යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසනු ලැබීය.

එම පාර්ලිමේන්තු විවාදයේදී එම ගිවිසුමට පක්ෂව ඡන්ද 120කුත් ඊට විපක්ෂව ඡන්ද 25කුත් හිමිවිය.

ඒ අනුව පසුගිය සිකුරාදා (28) පැවති එම ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 95කින් එය සම්මත විය. මෙහි විශේෂත්වය වන්නේ පාර්ලිමේන්තු ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු මන්ත්‍රීවරු 79ක් සභාවේ නොසිටීමයි.

යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂව ඡන්දය ප්‍රකාශය කළේය. එසේම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි, එසේම විපක්ෂයේ අසුන් ගෙන සිටින ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රියංකර ජයරත්න, දුමින්ද දිසානායක, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නිමල් ලංසා යන මන්ත්‍රීවරු මෙහිදී පක්ෂව ඡන්දය ලබාදීම විශේෂයෙන් කැපී පෙනෙන සිදුවීමක් විය.

ඩලස් අලහප්පෙරුම මහතා නියෝජනය කරන නිදහස් ජනතා සභාව, උත්තර ලංකා සභාගය, ජාතික ජන බලවේගය ඇතුළු කණ්ඩායම ගිවිසුමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

I ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02