ශ්‍රී ලංකාවේ දුප්පතුන් සවිබල ගැන්වීම සඳහා මෙරට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි. ජනසවි වැඩසටහන, දිවිනැඟුම හා සමෘද්ධි වැඩසටහන එලෙස දිළිඳු ජනතාවට සවියක් වීම සඳහා ආරම්භ කරන ලද වැඩසටහන්ය. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වූ පරිදි අද වනවිට සමෘද්ධි වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව 16,48,000කි. මේ පිරිස අතුරින් 33%ක් පමණ එම ප්‍රතිලාභ ලැබීමට නුසුදුස්සන් බවට තොරතුරු අනාවරණය වූයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තාවල ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධනය සමාලෝචනය කිරීම සඳහා පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදීය. ජාතික විගණන කමිටු නියෝජිතයන් එහිදී සඳහන් කළේ සමෘද්ධිලාභීන් තෝරා ගැනීමේදී අවිධිමත් ලෙස එය කර ඇති බවට නිරීක්ෂණය වන බවටය. 2015 සිට 2017 දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි කරන ලද සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු හඳුනාගෙන ඇති අතර සංඛ්‍යාත්මකව පවුල් 449,979ක් සමෘද්ධි සහනාධාරයෙන් ඉවත් කළ යුතු පවුල් බවට අනාවරණ වී තිබේ.
නියෝජ්‍ය විගණකාධිපති එම්.එස්. නයනකුමාර මහතා සඳහන් කළේ දැනට සමෘද්ධිය ලබන පවුල් අතුරින් පවුල් 449,979ක් සමෘද්ධි ලාභීන් සඳහා වන නිර්ණායකයවලට අයත් නොවන හෙයින් ඔවුන් සමෘද්ධියෙන් ඉවත් කළ යුතු බවට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් කරන ලද සමීක්ෂණයෙන් හඳුනාගෙන ඇති බවයි. සමෘද්ධිය නියත වශයෙන්ම ලැබිය යුතු පවුල් 450,959කට සමෘද්ධි ප්‍රතිලාභ නොලැබෙන බවත් ඒ අනුව දැනට සමෘද්ධිය ලබන පිරිසෙන් 33%ක් සමෘද්ධිය ලැබීමට නුසුදුස්සන් බවත් ඔහු එහිදී අනාවරණය කළේය.
සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමේදී නිර්ණායක කිහිපයක්ම සලකා බැලෙයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථික තත්ත්වය, වත්කම්, නිවාස, පවුලේ සාමාජික සංඛ්‍යාව වැනි කරුණු එම නිර්ණායකවලට ඇතුළත්ය. ඒ අනුව පවුලේ කිසිදු සාමාජිකයකු 8 වැනි ශ්‍රේණිය සමත්ව නොසිටීම, ආර්ථික අපහසුතා නිසා පාසල් යන වසසේ සිටියද පාසල් නොයෑම, සාමාජිකයකු දීර්ඝකාලීන රෝගයකින් පෙළීම හෝ ආබාධිතයකු වීම, ඒකපුද්ගල ආදායම 6000ට අඩුවීම, තමාට අයත් ඉඩම අක්කර 0.5ට වඩා අඩු වීම, පාපැදි, යතුරුපැදි හැර වෙනත් වාහන නොතිබීම, තම පවුලට නිවෙසක් නොතිබීම, පරිභෝජනයට පිරිසුදු ජලය නොමැතිවීම, නිසි වැසිකිළි පහසුකම් නොමැතිවීම වැනි කරුණු සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීම සඳහා බලපායි.
2022 වසරේ සමෘද්ධි ලාභීන් සඳහා ලබාදුන් දීමනාව වැඩි කිරීමට රජය පියවර ගත්තේය. ඒ අනුව රුපියල් 3500ක දීමනාවක් ලද පවුල් ඒකකයකට රුපියල් 4500ක් ලබාදීමටත් රුපියල් 2500ක දීමනාවක් ලබා ගත් පවුල් ඒකකයකට රුපියල් 3200ක දීමනාවක්ද රුපියල් 1500ක දීමනාවක් ලද පවුල් ඒකකයකට රුපියල් 1900ක දීමනාවක් ලබාදීමටත් තීරණය විය. පසුගිය වසරේ රුපියල් මිලියන 66,000ක් සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ දීමනා සඳහා වෙන් කිරීමට රජයට සිදු විය. 2023 ජූනි මාසයේ සිට එය යළි වෙනස් වීමට නියමිතව ඇතැයි මේ සම්බන්ධයෙන් අප සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමේදී එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය. නව සංශෝධන අනුව ඇතැම් පුද්ගලයන්ට වැඩි ප්‍රතිලාභයක් හිමිවීමට නියමිත වන අතර ඇතැමකුට එළඹෙන දෙසැම්බරයෙන් පසු ගෙවීම් නොලැබීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
ප්‍රජාමූල බැංකු වෙත මාසිකව ලබාදෙන සමෘද්ධි ප්‍රතිලාභ මුදල් ඇතැම් සමෘද්ධිලාභීන් මාසිකව ලබා නොගෙන දීර්ඝ කාලීනව තම බැංකු ගිණුම්වල රඳවා තිබූ බවද විගණකාධි දෙපාර්තමේන්තුව කළ විගණනයේදී අනාවරණ වී තිබේ. වසම් 41ක් තුළ සමෘද්ධි ලාභීන් 2433කු. බැංකු 10ක තම ඉතිරිකිරීම් ගිණුම්වල එලෙස තැන්පත් කර තිබූ මුදල් ප්‍රමාණය රුපියල් 59,951,531ක් බවද එහිදී අනාවරණ විය. මේ පිරිස දිළින්දන් නම් එම ප්‍රතිලාභ එතරම් කලක් ලබානොගෙන සිටීමට හේතුවක් නොමැති යැයි නියෝජ්‍ය විගණකාධිපති එම්. එස්. නයනකුමාර මහතා සඳහන් කරයි. සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීම පිළිබඳව නිවැරදි වැඩපිළිවෙළක් නොමැති බව මෙයින් පෙනී යන්නේ යැයි කෝපා කමිටු සභාපතිවරයා පෙන්වා දී තිබේ.
කෝපා කමිටු සාමාජිකයන්ද පෙන්වා දුන්නේ සමෘද්ධිය ලබන ඇතැම් පිරිස් අතර දෙමහල් නිවාස, අක්කර දෙකතුනක තේ වතු, ත්‍රිරෝද රථ හා වෙනත් වාහන තිබෙන පිරිස්ද සිටින බවටය. එහෙයින් නිවැරදි සමීක්ෂණයක් සිදුකොට එය හිමිවිය යුතු සැබෑ පවුල්වලට සමෘද්ධිය ලබාදෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.
සමෘද්ධි ඇතුළු මූල්‍ය ආධාර සැබවින්ම හිමි වියයුතු පිරිස් හඳුනාගැනීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීමට රජය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, ඒ අනුව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ජංගම දුරකතන යෙදවුමක් උපයෝගී කොටගෙන නිසි ප්‍රතිලාභීන් හඳුනාගැනීමට අපේක්ෂිත බවත්, මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පසුගිය. සැප්තැම්බරයේ ප්‍රකාශ කර තිබිණි.
සමෘද්ධි සහනාධාරය ලබාගැනීම සඳහා ලක්ෂ 30ක් පමණ මේ වනවිට අයැදුම්පත් ඉදිරිපත් කර ඇතැයි පසුගිය මාසයේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාද ප්‍රකාශ කළේය.
සමෘද්ධිය ලැබීමට නුසුදුසු පවුල් 449,979ක් ඉවත් කරන විට පවුල් 450,959ක් අලුතින් බඳවා ගැනීමට තිබෙන බවත් ඉවත් කරන පිරිසට සමාන පිරිසක් බඳවා ගන්නවා විනා සමීක්ෂණය නිවැරදි ලෙස කරන ලද්දක් ලෙස නොපෙනෙන බවත් නියෝජ්‍ය විගණකාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇත්තේ කලින් දුගී පිරිස් ලෙස සහනාධාරය ලබාගත් ඇතැම් පිරිස් මේ වන විට දුගීභාවයෙන් මිදී ඇතත් තවමත් එම සහනාධාරය ලබා ගැනීම නිසා බවද කෝපා කමිටුවේදී අනාවරණය විය. 2030 වනවිට දුගී බවෙන් තොර සවිබල ගැන්වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහිකිරීම සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අරමුණ බව සඳහන්ය.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා