ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලබාගැනීම සඳහා රජය ප්‍රධාන වශයෙන් බැඳී ඇති කොන්දේසියක් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන්නේ අදහස ණයවල තිරසරභාවයක් ඇති කිරීම වේ. රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති නොවන පරිදි ණය කළමනාකරණය කිරීම මෙහිදී සිදුවෙයි. ණය ගෙවීම පාලනය කළ හැකි තත්ත්වයට පත්කිරීම මෙයින් අදහස් කෙරේ. එසේ පාලනය නොකළහොත් ගෙවාගත නොහැකිව දැඩි අවුලක පැටලෙනවා ඇත. එවැනි අවස්ථාවක එකම විසඳුම ප්‍රතිව්‍යුහගත කිරීමයි.
ප්‍රතිව්‍යුහගත කරන ක්‍රම තුනක් වෙයි. එකක් වන්නේ මුහුණත අගය (Face value) අඩු කිරීමයි. එය ඉංග්‍රීසියෙන් Hair cut යනුවෙන් හැඳින්වේ. මෙහිදී සිදුවන්නේ ණය කපා හැරීමයි. එය නිතර සිදු කිරීමට දුෂ්කර දෙයකි. දෙවැනි ක්‍රමය වන්නේ කල් පිරීම, කල් දැමීමය. ඉංග්‍රීසියෙන් Maturity Extain ලෙස හැඳින්වේ. එය Hair cut ක්‍රමයට වඩා යහපත් වේ. මෙහිදී සිදුවන්නේ මුළු ණය මුදල එසේ තිබියදී එය ගෙවන දිනය කල් දැමීමකි. තුන්වැනි ක්‍රමය වන්නේ Coupon Adjustment යන්නය. එයින් කෙරෙනුයේ ණයවල දැනට ඇති අගය යටතේම මුළු ණයෙන් කොටසක් අඩු කිරීමය. එසේ වුවද කල් පිරීමේ දිනය එලෙසම පවතිනු ඇත.
ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය තිරසාර නොවන බව ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් මස 22 දිනයි. එහිදී මහ බැංකු අධිපතිවරයා අප ලබාගෙන ඇති ණය ආපසු ගෙවිය නොහැකි බව මුල්වරට ප්‍රකාශ කළේය. රට බංකොළොත් බව ප්‍රකාශ වූයේද එවිටය.
ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ වූයේ ඉන් අනතුරුවය. මුලදී රජය ප්‍රකාශ කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකර විදේශවලින් ගෙන ඇති ණය පමණක් ප්‍රතිව්‍යුහගත කිරීමට ලක් කරන බවය. එහෙත් මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි මුලින්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජයට සිදුව තිබේ. මෙම ක්‍රියාවට එරෙහිව මේ වනවිට විශාල ආන්දෝලනයක් හටගෙන තිබේ. මෙම ක්‍රියාව නිසා බැංකු පද්ධතිය බිඳවැටෙනු ඇති බවටද, සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල වැනි කම්කරුවන්ගේ ශ්‍රමයෙන් ගොඩනැගුණු සුවිශාල අරමුදල් විනාශ වනු ඇති බවටද විශාල විරෝධයක් ඇතිව තිබේ.
ශ්‍රී ලංකාවේ සියලුම බලපත්‍රලාභී බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය පසුගියදා නිවේදනයක් මගින් ඉල්ලා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බැංකු නියාමන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සියල්ල සිදු කළ යුතු අතර, බැංකුවල ප්‍රාග්ධන ප්‍රමාණාත්ම අනුපාත හා ද්‍රවශීලතා අනුපාතවලට හානියක් නොවන පරිදි කටයුතු කළ යුතු බවය. ප්‍රාග්ධන හා ද්‍රවශීලතා දුර්වල වුවහොත් එමගින් ජනතා විශ්වාසය පළුදු වී බැංකු පද්ධතියට හානි සිදුවන බවට ඔවුන් අනතුරු හඟවා තිබේ.
රටේ මූල්‍ය ශක්තිය පවතින්නේ විශේෂයෙන් රාජ්‍ය බැංකු පද්ධතිය හරහාය. බැංකුවල සංසරණය වන්නේ මහජනතාවගේ මුදල්ය. බැංකු එයින් සුවිශාල ආදායමක් ලබන අතර එයින් රටේ ආර්ථිකයට විශාල අනුබලයක් ලබා දෙයි. පසුගියදා පොලී අනුපාත වැඩිවීම නිසා ජනතාව බැංකුවලින් ණය ගැනීම සීමා කර ඇති අතර, අලුතෙන් හඳුන්වා දුන් බැංකු බදු නිසා බැංකුවල මුදල් තැන්පත් කිරීමද පහළ ගොස් තිබේ.
රජය මේ දක්වා රුපියල් ට්‍රිලියන 8.8 ක් භාණ්ඩාගාර බැඳුම්කර හරහා දේශීය වෙළෙඳපොළෙන් ලබාගෙන ඇති අතර, මේ ණයවලින් 44.5% ක් ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු මගින්ය. එයින් 43% ක් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල නියෝජනය කරන අතර 9% ක් රක්ෂණ අංශය නියෝජනය කරයි. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය පවසනුයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මෙකී මහජන අරමුදල් නියෝජනය කරන කොටස් පිළිබඳ රජයේ මැදිහත්වීම මේ වනවිට ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බවය.
රාජ්‍ය වාණිජ බැංකුවල මූල්‍ය තත්ත්වය ගැන සලකා බැලීමේදී ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පතුවලින් 65% ක්ද ලංකා බැංකුවේ වත්කම්වලින් 53% ක්ද මහජන බැංකුව ස්වකීය තැන්පතුවලින් 37% ක්ද රජයට ණය ලෙස ලබා දී ඇත. මෙම ණය ලබා දී ඇත්තේ දීර්ඝ කාලීනව 2% - 3% පමණ වන ඉතාම අඩු පොලියටය.
ස්වේච්ඡාවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන්න රජය පැහැදිලි කළ යුතු යැයි ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය කියයි. එලෙස ස්වේච්ඡාවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කිසිවකුත් කැමැති වේ යැයි සිතිය නොහැකි අතර රජය මේ වනවිට ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දියුණු රටවල් සමඟ කිහිප වරක් සාකච්ඡා කර ඇති බවද කිසිවිටෙක අමතක නොකළ යුතුය. එහි ප්‍රගතිය තවම සම්පූර්ණයෙන් ලැබී නොමැත.
මේ අතර ආර්ථික විශ්ලේෂක ආයතනයක් වන බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පසුගියදා නිවේදනය කර තිබුණේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහනය හිමිවුවද ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ආනයන සීමා හා පවතින සීමිත සංචිත ප්‍රමාණය හේතුවෙන් 2023 වසරේද ආර්ථිකය පසුබැස කලින් ඇස්තමේන්තු කළ 4.4% ට වඩා පළමු මාස 4 තුළ 9.9% කින් සංකෝචනය වී ඇති බවය. දෙවැනි මාස 4 දීද ආර්ථිකය 1% කින් මන්දගාමී ලෙස වර්ධනය වනු ඇති බවකි. මුලදී ඇස්තමේන්තු කර තිබුණේ වර්ධනය 2.9% ක් වනු ඇති බවය. එසේම දළ දේශීය නිෂ්පාදනය 2.7% ලෙස තිබේ යැයි ඇස්තමේන්තු ගත කර තිබුණද එය 0.7% දක්වා පහළ වැටෙනු ඇතැයි දක්වා තිබිණ.
රටේ වර්තමාන මූල්‍ය තත්ත්වය පිළිබඳ අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසන්නේ රජය පසුගිය සමයේ රටේ නිෂ්පාදනය වර්ධනය නොකර දේශීය හා විදේශීය ණය මත යැපෙන්නට යාම නිසා මේ වනවිට විශාල ණය අර්බුදයකට ලක්ව ඇති අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් යම් පැලැස්තරයක් ඇලවුවද ණය ගැටලුවට එය පූර්ණ විසඳුමක් නොවන බවය. 2028 වනවිට රට කඩා වැටී තව තවත් විශාල ණය උගුලක පැටලෙනු ඇති බවට මහාචාර්යවරයා අනතුරු හඟවයි.
''අයි.එම්.එෆ්. වලින් ණය ගැනීම හොඳයි. එහෙත් අපේ ණය පිළිබඳ දැක්මක් තිබිය යුතුයි. ණය ගැනීම පමණක් නොවෙයි. එය ජයග්‍රහණයක් ලෙස සලසා උදම් ඇනීම නොව එම ණය පාවිච්චි කරන රටේ නිෂ්පාදනය වැඩි කළ යුතු වෙනවා. එහෙම නැතුව එදිනෙදා යැපීම් සඳහා ණය පාවිච්චි නොකළ යුතුයි.
මගේ අදහසේ හැටියට නම් මුදල් අමාත්‍යාංශය සහ මධ්‍යම බැංකුව රටේ සමාජ සහ ආර්ථික තත්ත්වය තේරුම් අරගෙන විසඳුම් ඉදිරිපත් කර නැහැ. අයි.එම්.එෆ්. වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම තමා ඒ අයගේ එකම අරමුණ. එහෙත් එම කොන්දේසි විද්වත් මණ්ඩලයක් මගින් හඳුනාගෙන සංශෝධනය කර ක්‍රියාත්මක කළ යුතු නමුත් එවැන්නක් කළේ නැහැ. දැන් උත්සාහ කරන්නේ අමු අමුවේ ඒවා ක්‍රියාත්මක කරන්නයි. එහෙත් ඒවායින් රටට ඔබින ඒවා පාවිච්චි කර නොගැලපෙන ඒවා සංශෝධනය කළ යුතු වෙනවා. අපේ අය කොළඹ ඒ.සී. කාමරවල සිට තීරණ ගැනීම නිසා අමාරුවේ වැටෙන්නේ ජනතාවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2028 වසර වනවිට රට තවත් කඩා වැටී දරුණු ලෙස ණය උගුලේ තවත් හිරවෙනවා. අයි.එම්.එෆ්. එක වුවද අපට දෙන්නේ ණය බව අමතක නොකළ යුතුයි. සෙසු විදේශ ණය සමඟ ඒවාද ගෙවිය යුතු වෙනවා. කළ යුත්තේ ණය ගැනීම පමණක් නොවෙයි. ඒවා පාවිච්චි කරලා රටේ නිෂ්පාදන හා සේවා ආර්ථිකය ගොඩනැගිය යුතු වෙනවා. එවැනි වැඩපිළිවෙළක් දකින්නට නැහැ. මේ ණය වුවද යොදාගන්නට යන්නේ මැතිවරණ ජය ගැනීම සඳහායි. ආර්ථිකය දේශපාලනීකරණය කරන තාක් යහපත් ප්‍රතිඵල ලබාගත නොහැකියි.
ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බව අපි මුල සිටම කිව්වා. ප්‍රතිව්‍යුහගතකරණය කළත් ඩොලර් බිලියන 3ක හිඟයක් පවතිනවා. මේ තත්ත්වය තුළ මෙයට වසරකට දෙකකට පෙරයි ප්‍රතිව්‍යුහගතකරණය පටන්ගත යුතුව තිබුණේ. ප්‍රතිව්‍යුහගතකරණයේ වාසි අවාසි තෝරාගත යුතුයි. මුලින් කිව්වේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියලා. දැන් එය මුලින් කරන බව කියනවා. ස්වේච්ඡාවෙන් ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා කිව්වට එය කුමක්ද කියලා පැහැදිලි කිරීමක් නැහැ. ඒ සඳහා කිසිදු නිර්ණායකයක් ඉදිරිපත් කර නැහැ.
2022 වනවිට ලංකාවේ ණය ඩොලර් බිලියන 84ක් වෙනවා. මෙයින් විදේශ ණය බිලියන 41.5 ක්. එය ප්‍රතිශතයක් ලෙස 49.6% යි. දේශීයව ලබාගත් ණය ඩොලර් බිලියන 42.1 යි. සමස්ත ණයවලින් ප්‍රතිශතයක් ලෙස 50.4% කි. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවලින් දිගටම ණය ගැනීම නිසා දේශීය ණය ප්‍රමාණය වැඩි වී තිබෙනවා. අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර මගින් විදේශ ණය ගන්නවා. එහෙත් මේ වනවිට විදේශ ණය ගෙවීම නවතා ඇති නිසා විදේශ ණය ගැනීමට බැහැ. අන්තර්ජාතික මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ගන්න බැහැ. එහෙම ගන්නවා නම් අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වලදී ඉහළට යන්න අවශ්‍යයි. එහෙත් අද වනවිට අපේ රට තියෙන්නේ පහළ මට්ටමක නිසා විදේශ ණය දෙන්නේ නැහැ.
ශ්‍රී ලංකා මහ බැංකුවට අමතරව අද වනවිට ඇමැතිවරුද විවිධ සංඛ්‍යාලේඛන ප්‍රකාශ කිරීමට පටන්ගෙන තිබෙනවා. ඒ නිසා තත්ත්වය ව්‍යාකූල වී ඇති අතර, ඇමැතිවරුන් කියන සංඛ්‍යාලේඛනවල ඇත්ත නැත්ත අප දන්නේ නැහැ. ඒ අය කියන සංඛ්‍යාලේඛන නිවැරදි නම් තත්ත්වය සාධනීයයි.
ආදායම එකතු කිරීම යනු සේවක වැටුපෙන්, බැංකු පොලීවලින් කපාගැනීම නොව අලුත් ආදායම් උපයා ගැනීමයි. නොගෙවන බදු එකතු කරගත යුතුයි. එසේ නැතිව නිරායාසයෙන් ලැබෙන ආදායම පෙන්වා ආඩම්බර වීම නොවෙයි. රටවැසියා අමාරුවෙන් ගෙවන බදුවලින් රටට වැඩක් වෙනවාද කියා සොයා බැලිය යුතුයි. ආර්ථික තත්ත්වය යහපත් කිරීමට යොදාගත යුතුයි. එසේ නොමැතිව දේශපාලනඥයන්ගේ සුඛවිහරණය සඳහා ජනතා බදු මුදල් යොදාගන්නවා නම් එය අපරාධයක්. අමාරුවෙන් එකතු කරන බදුවලින් උපරිම ප්‍රයෝජන ලැබිය යුතුයි. රජය බදු වැඩි කළ යුත්තේ ජනතාවගේ ආදායම වැඩි වූ විටයි. දැන් කරන්නේ ලැබෙන්න තියෙන ආදායමද නොලැබී තිබෙන විට බලහත්කාරයෙන් බදු ගැහිල්ලක්.
උද්ධමනකාරී තත්ත්වය නිසා මුදලේ අගය අඩු වී තිබෙනවා. 2018 වසරේ රුපියල් 1000 ක අගය 2028 වනවිට රුපියල් රුපියල් 334 දක්වා පහළ බැස තිබෙනවා. 2022 සිට 2028 වනවිට රුපියල් 1000 ක අගය රුපියල් 567 දක්වා 50% ක් පමණ අඩු වී තිබෙනවා. 2022 දී කෙනකුට තිබූ ආදායම 43% කින් ඉහළ නොදමා ඔහුට තම පාරිභෝජන මට්ටම පවත්වා ගන්න බැහැ. එසේ නොවුණහොත් 2028 වනවිට පාරිභෝජන මට්ටම අඩකින් අඩු කළ යුතු වෙනවා. එහෙම කළොත් ජනතාව මන්දපෝෂණයට ලක් වෙනවා. සෞඛ්‍ය අතින් පිරිහෙනවා. ඒ අය ගොඩගන්න විශාල මුදලක් වැය කළ යුතු වෙනවා. ආර්ථිකයේ සංකෝචනය 3% - 4% පමණ වන නිසා පුද්ගල ආදායම වැඩි කළ නොහැකියි. ඒ නිසා තත්ත්වය බැරූරුම් වෙනවා.*
I යසවර්ධන රුද්රිගූ