සිනමාව කලාවක් මෙන්ම දැවැන්ත කර්මාන්තයකි. ඉන් ජීවනෝපාය සලසා ගන්නා පිරිසද අති විශාලය. ලොව පුරා වසරකට චිත්‍රපට ලක්ෂ 5ක් පමණ නිර්මාණය වන බවට වාර්තා වේ. ආසියාවේ දැවැන්තම සිනමා කර්මාන්තය ඇත්තේ ඉන්දියාවේය. ඉන්දියාව විවිධ ආගම් අදහන රටකි. ඒ විවිධ ආගම් අතර ක්‍රිකට් ක්‍රීඩාව සහ සිනමාවද ඔවුනට ආගම් බඳුය. මේ වන විට ලොව අංක එකේ සිනමා කර්මාන්තය ඇති රට වන්නේද ඉන්දියාවය. පසුගියදා කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති ඉන්දියානු සිනමාව පිළිබඳ වැඩමුළුවකදී ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා සඳහන් කළේ සෑම වසරකම, ඉන්දියාවේ චිත්‍රපට 2000කට වඩා නිෂ්පාදනය කෙරෙන බවටය.
ඉන්දීය සිනමාවේ ඉතිහාසය වසර 100කට වඩා පැරණිය. එරට පුරෝගාමී චිත්‍රපට නිෂ්පාදකයා වූයේ ඉන්දීය සිනමාවේ පියා ලෙස හැඳින්වෙන දඩසාහෙබ් ෆාල්කේ ය. 1913 රාජා හරිශ්චන්ද්‍ර නමින් ප්‍රථම වෘත්තාන්ත නිහඬ චිත්‍රපටය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ ඔහුය. එතැනින් ඇරුඹි ඉන්දියානු සිනමා කර්මාන්තය වර්තමානයේ ලොව දැවැන්තම සිනමා කර්මාන්තය ලෙස වර්ධනය වී තිබේ.
භාෂා විශාල සංඛ්‍යාවක් කතා කරන ඉන්දියාවේ භාෂා 20කට අධික ප්‍රමාණයකින් චිත්‍රපට නිර්මාණය වේ. ඒ අතුරින් වඩාත් ප්‍රකට බොලිවුඩ් සිනමාවය. වර්තමානයේ මුම්බායි ලෙසින් හැඳින්වෙන බොම්බාය ආශ්‍රිතව නිර්මාණය වූ හින්දි චිත්‍රපට කර්මාන්තය බොලිවුඩ් වූයේ බොම්බාය නගරයේ නම සහ ඇමෙරිකාවේ හොලිවුඩ් යන නමේ එකතුවක් ලෙසිනි. එය පූර්වාදර්ශයට ගනිමින් දෙමළ සිනමාව කොලිවුඩ් ලෙසින්ද, අන්ද්‍රා හා තෙලන්ගනා ප්‍රාන්තය මූලික කර ගනිමින් බිහිවූ තෙළිඟු සිනමාව හා බටහිර බෙංගාලය පාදක කරගත් බෙංගාලි සිනමාව ටොලිවුඩ් ලෙසින්ද, කේරළය පාදක කරගත් මළයාලම් සිනමාව මොලිවුඩ් ලෙසින්ද, බැංගලෝරය පාදක කරගත් කණ්නඩ සිනමාව සැන්ඩ්ල්වුඩ් ලෙසද, ගුජරාටය පාදක කරගත් ගුජරාටි සිනමාව ගොලිවුඩ් නමින්ද, ඔරිස්සා ප්‍රාන්තය පාදක කරගත් ඔඩියා සිනමාව ඔලිවුඩ් නමින්ද, ඇසෑම් සිනමාව ජොලිවුඩ් නමින්ද, උත්තර් ප්‍රදේශය හා බිහාරය පාදක කරගත් සිනමාව බොජිවුඩ් ලෙසින්ද, පන්ජාබ් සිනමාව පොලිවුඩ් ලෙසද, තුලු සිනමාව කෝස්ටල්වුඩ් ලෙසින්ද නාමකරණය වී තිබේ. මෙම භාෂාවනට අමතරව චක්මා, චටිස්ගාර්ති, ඉංග්‍රීසි, කොන්කනි, මෛතිලි, මනිපුරි, මරාති, නාග්පුරි, ගුර්කා, රාජස්ථානි, සින්දි, ෂෙර්දුක්පෙන් වැනි භාෂාවලින්ද චිත්‍රපට සුළු වශයෙන් නිර්මාණය කෙරේ.
ඉන්දියාව චිත්‍රපට නිෂ්පාදනය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 19,000ක් පමණ වසරකට වැය කරන අතර බොහෝ චිත්‍රපට ඉහළ ආදායම් උපයා ගැනීමට සමත්ය.
ඉන්දියානු සිනමාව මේ වන විට ගෝලීය වශයෙන් ව්‍යාප්තව පවතී. දකුණු ආසියාව පුරා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිටින අතර යුරෝපීය රටවල සහ ඇමෙරිකාව වැනි රටවලද රසිකයන් විශාල පිරිසක් එයට ආකර්ෂණය වී සිටිති. ඉන්දියානු චිත්‍රපට විවිධ භාෂාවලට පරිවර්තනය කර ප්‍රදර්ශනය කෙරේ. කර්මාන්තයේ ආදායමෙන් 12%ක් විදේශගත ඉන්දියානුවන් විසින් දරනු ලැබේ. ඉන්දීය චිත්‍රපට කර්මාන්තයේ ප්‍රධාන ව්‍යවසායකයන් වන්නේ අර්කා මීඩියා වර්ක්ස්, ආස්කාර් ෆිල්ම්ස්, ආශිර්වාද් සිනමාස්, ඒ.ජී.එස් එන්ටර්ටේන්මන්ට්, ඒ.වී.ම් ප්‍රොඩක්ෂන්ස්, ඊරොස් ඉන්ටර්නැෂනල්, ගීතා ආර්ට්ස්, හොම්බාලේ ෆිල්ම්ස්, ලයිකා ප්‍රොඩක්ෂන්ස්, මොඩර්න් තියටර්ස්, රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට්, මෛත්‍රී කාන් ෆිල්ම් මේකර්ස්, සල්මන් කාන් ෆිල්ම් මේකර්ස්, සන් පික්චර්ස්, සුරේෂ් ප්‍රඩක්ෂන්ස්, යූටීවී මෝෂන් පික්චර්ස්, යෂ්රාජ් ෆිල්ම්ස් සහ සී එන්ටර්ටේන්මන්ට් එන්ටර්ප්‍රයිසර්ස් වැනි සමාගම්ය.
ඇමෙරිකාවේ ප්‍රේක්ෂකයන් මිලියනයක් සඳහා සිනමා ශාලා 126ක් වෙන්ව ඇති අතර ලොව වැඩිම ජනගහනයක් සිටින චීනයේ මිලියනයක ජනතාව සඳහා සිනමා ශාලා 23ක් පවතී. එහෙත් වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් නිපදවන ඉන්දියාවේ ප්‍රේක්ෂකයන් මිලියනයක් සඳහා ඇත්තේ සිනමා ශාලා 6ක් පමණක් යැයි ඉන්දීය වාර්තාවක් පෙන්වා දී තිබේ.
2019 වසරේ ඇමෙරිකාවේ හොලිවුඩ් සිනමාව නිෂ්පාදනය කළ චිත්‍රපට සංඛ්‍යාව 792ක් වූ අතර 2020 එය 334 දක්වාද, 2021 දී 406 දක්වාද, 2022 දී 449 දක්වාද පහත වැටිණි. එහෙත් ඉන්දියාව විවිධ භාෂාවලින් එම වසරේ නිෂ්පාදනය කළ චිත්‍රපට සංඛ්‍යාව 1500ක් පමණ වේ.
බොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ වසරකට චිත්‍රපට 300ක් පමණ නිෂ්පාදනය කෙරෙන අතර ඉන් උපයන මුදල සමස්ත චිත්‍රපට ආදායමෙන් 40%ක් පමණ වේ. බොහෝ බොලිවුඩ් චිත්‍රපටවල ගීත සහ නැටුම් අත්‍යවශ්‍ය අංගයකි. සංගීතය කෙතරම් වැදගත්ද යත්, චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට පෙර එහි අන්තර්ගත ගීත අඩංගු සංඝත තැටි අලෙවි කිරීමට නිෂ්පාදකයෝ කටයුතු කරති.
බොහෝ බොලිවුඩ් චිත්‍රපට මසාලා චිත්‍රපට ලෙස හඳුන්වනු ලබන්නේ ඒවා ක්‍රියාදාම, හාස්‍ය සහ ප්‍රේම සම්බන්ධ වැනි සියල්ලේ මිශ්‍රණයක් වන බැවිනි.
පසුගිය වසරේ වැඩිම ආදායම් වාර්තා තැබූ ඉන්දියානු චිත්‍රපට අතර ඉදිරියෙන්ම සිටින්නේ කේඩීඑෆ් චැප්ටර් 2 නමැති කණ්නඩ චිත්‍රපටයයි. ඊට ඉන්දියානු රුපියල් කෝටි 100ක් වැය වූ අතර ලොව පුරා ප්‍රදර්ශනයෙන් ලද ආදායම ඉන්දීය රුපියල් කෝටි 1235.2 කි. කෝටි 450ක් වැය කොට නිපදවූ තෙළිඟු චිත්‍රපටයක් වන RRR චිත්‍රපටය කෝටි 1135.8ක් උපයන්නට සමත් විය.. කෝටි 250ක පිරිවැයක් දරා නිපදවන ලද පොන්නියන් සෙල්වන් 1 නමැති ද්‍රවිඩ චිත්‍රපටය කෝටි 500ක් උපයා ඇති අතර පසුගියදා ප්‍රදර්ශනය ඇරඹි එහි දෙවැනි කොටස වන පොන්නියන් සෙල්වන් 2 චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් දින දෙකක් තුළ කෝටි 100ක් උපයන්නට සමත්ව තිබේ. කෝටි 120ක් වැය කරමින් නිර්මාණය කළ තවත් දෙමළ චිත්‍රපටයක් වන වික්‍රම් චිත්‍රපටය කෝටි 424.9 උපයන්නට සමත් තිබේ. කෝටි 65ක් වැය කොට නිර්මාණය කළ ඩ්‍රිෂ්යම් 2 නමැති හින්දි චිත්‍රපටය කොටි 342.3ක් උපයන්නට සමත් විය.
වාර්තා වන පරිදි දෙමළ, තෙළිඟු, කණ්නඩ සහ මලයාලම් යන භාෂාවලින් නිර්මාණය වූ දකුණු ඉන්දීය චිත්‍රපට කර්මාන්තයේ ආදායම 2021 දී රුපියල් කෝටි 3,988 සිට 2022 දී රුපියල් කෝටි 7,836 දක්වා දෙගුණයකින් වැඩි වී තිබේ.
දකුණු ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය තුළ, 2022 දෙමළ චිත්‍රපට කර්මාන්තය රුපියල් කෝටි 2,950ක ආදායමක් ලබාගනිමින් ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර තෙළිඟු චිත්‍රපට රුපියල් කෝටි 2,500 ක්, කණ්නඩ චිත්‍රපට රුපියල් කෝටි 1,570ක් සහ මලයාලම් චිත්‍රපට කෝටි 816ක් උපයා තිබේ. වසර කිහිපයකට පෙර දෙමළ සහ තෙළිඟු චිත්‍රපට කර්මාන්තය දකුණු ඉන්දීය චිත්‍රපට කර්මාන්තය තුළ ආධිපත්‍යය දැරෑ නමුත් 2022 දී වෙනත් භාෂාවලින් ද බ්ලොක්බස්ටර් චිත්‍රපට කිහිපයක් නිකුත් වීමත් සමඟ අනෙකුත් භාෂාවලින් නිර්මාණය කෙරෙන චිත්‍රපටද ඉදිරියට පැමිණ තිබේ. ලොව බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට අතුරින් ඉන්දියානු චිත්‍රපට තුන්වැනි ස්ථානයට පත්ව තිබේ.
බෙංගාලි සිනමාව වැඩි වශයෙන් කලාත්මක චිත්‍රපට සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා