2023 මැයි 07 වන ඉරිදා

පන්සලක් නැති 95 ගම්මානයට සැනසෙන්න සෙනසුනක්

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 230

ළා දම් පාට ඉහිරුණු ඈත අහස හුදෙකලා සිතක කවි හිතුවිලි මවාලන ලස්සනම හැන්දෑවක්! ඒ සොඳුරු සැඳෑව අපූර්ව වූ නිමිත්තකින් විඳිමින් පරවි පඤ්ඤං වැව අද්දර හිඳ වැව් දිය මත හිත අතුරා මගේ සිතුවිලි භාවනාවක. අතීතයේ කුරුළුතැන්න නමින් හැඳින්වූ පරවි පඤ්ඤං වැව ළඟ මම නතර වුණේ ත්‍රිකුණාමලයට යන ගමනේදී. ත්‍රිකුණාමලයට ගිය ගමනේ තවත් ලස්සනම අරමුණක් තිබුණා. ඒ තමයි තට්ටු දෙකේ ඉස්කෝලේ සිනමා වියමන අධ්‍යක්ෂණය කරපු සිනමාවේදී ලලිත් රෝහිත එදිරිසිංහගේ තුන්වැනි සිනමා වියමන වියන්න දර්ශන තල සොයා යාම. තවත් අරමුණක් වූයේ ආගමික මුහුණුවරක් ගත් සත්කාරක කර්තව්‍යයක්. අරණ විහාර පදනමේ නිර්මාතෘ අඹගස්මුල්ලේ පුඤ්ඤරතන ස්වාමින් වහන්සේත්, කොළඹ නාවල ජනාධිපති බාලිකාවේ විදුහල්පතිනි නයනා වන්නිආරච්චි මහත්මියත් තවත් පිරිසකුත් ඒ ගමනට එක්වී සිටියා. පරවි පඤ්ඤං වැව ළඟ නිස්කාන්සු සිතුවිලිත් එක්ක ගෙවමින් සිටි කාලයට අකමැත්තෙන් හෝ සමුදෙන්න සිදුවුණේ පරවි පඤ්ඤං වැව් පාමුල පිහිටා තිබෙන 95 ගම්මානයේ ඉදිකරන්නට අදහස් කළ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තවත් දිගුවක් වශයෙන් ගම්වැසියන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කෙරුණු පින්කමට සහභාගි වෙන්න ලැබුණු භක්ත්‍යාදර ඇරයුම නිසයි. 

අඳුර හැම අත විහිදිච්ච වෙලාවක අපි ඒ බිමට යද්දීත් ඒ ගම්වැසියන් ඒ බිමට තෙල්, මල්, පහන්, සුවඳ කූරු අරගෙන ඇවිත්. පුංචි දරුවන්ගේ පටන් හැම මුහුණකම විසිරිලා තිබුණේ නිරාමිස ආස්වාදයක් ජනිත කරන සැහැල්ලුවක්. පුංචි දරුවන් මල් වට්ටි අරගෙන පේළියක් හැදිලා හිටියේ ඒ පින්කමට මල් වට්ටිවලට අත ගහලා පැමිණ සිටි හැමෝම ඒ පින්කමේ පංගුකාරයන් කරන අදහසින්. බුදුන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නට පිළියෙළ කළ මල්, පහන්, සුවඳ දුම්, සුවඳ ඒ ගැමි සුවඳ විහිදිච්ච බිම් යාය පුරා විහිද යද්දී අඹගස්මුල්ලේ පුඤ්ඤරතන ස්වාමින් වහන්සේට පූජා කරන්නට ගෙනා පිරිකරට හැම කෙනෙක්ම අත තිබ්බෙ ඉතා සැදැහැවත් සිතකින් බවට සාක්ෂි දැරුවේ මඳ සිනා විහිදිච්ච ඒ මුහුණුයි. 

ත්‍රිකුණාමලයේ තඹලගමුව කියන්නේ රුවන්වැලි සෑ රදුන් නිර්මාණය කළ මහා අතීත කර්තව්‍යයේදී තඹ සපයන ලද ප්‍රදේශයයි. අතීතයේදී කුරුළුතැන්න ලෙස ව්‍යවහාර වූ අද පරවි පඤ්ඤං නමින් හැඳින්වෙන සුන්දර වැව පාමුල පිහිටා ඇති අනූපහ ගම්මානයේ බෞද්ධ ගොවි පවුල් අසූ හතක් පමණ ජීවත් වෙනවා. එහෙත් ඒ ගම්මානයේ සිට කිලෝමීටර් ගණනාවක් යන තෙක්ම ඒ බෞද්ධයන්ට වන්දනාමාන කිරීම පිණිස ඉදිවූ පන්සලක් නොමැති අඩුපාඩුව පවතින්නේ අවුරුදු පනස් නමයක කාලයක ඉඳන්. එවැනි පසුබිමක අරණ විහාර පදනමේ ප්‍රධානත්වයෙන් 2022 දෙසැම්බර් 9 වැනිදා මෙම භූමියේ ආනන්ද බෝධි අංකුරයක් රෝපණය කරන්නට යෙදුණා. වියළි ගම්බිම්වල බොහෝ දුෂ්කරතාවයන් දරාගෙන, විඳගෙන එහෙත් ජීවිතය කියන කටු අත්ත මත ජීවිතය වෙනුවෙන් හුස්මක් ගන්නා බව දැනෙනු පිණිස බලාපොරොත්තුවල මල් පූදන්නට වෙර දරන ඒ අහිංසක ගම්වැසියන්ගේ ජීවිත මතට ඇත්තටම ඒ දවස මහා සිහිලසක වැස්සක් වෑස්සුණු දවසක් වෙන්න ඇති. සෙනසුනක සුව බොහෝ දුර වූ ඔවුන්ට දෑත් නළල මතට ගෙන වන්දනා කරන්නට ඒ බෝධීන් වහන්සේ ගැඹුරු ඉඩ හසරක් හදන්නටත් ඇති. එම බෝධීන් වහන්සේ රෝපණය කරනු ලැබූ භූමියේ දෙස් විදෙස් ජනතාවට ත්‍රිපිටක ධර්මය හැදෑරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් මේ වනවිට නිර්මාණය වෙමින් පවතී. සැබැවින්ම එය නිරුදක කතරකට වට මහ වැස්සක් සේ සුවයක් වනු නිසැකය. 

අරණ විහාර ජාත්‍යන්තර ථේරවාදී බෞද්ධ අධ්‍යයන මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම ඔස්සේ අපේක්ෂිත අරමුණු කිහිපයකි. අද්‍යතනයේදී  ථෙරවාදී ධර්මයට විවිධාකාර අර්ථකතා හා ධර්ම විකෘති පැමිණීම හේතුවෙන් තථාගත ධර්මය සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාවය දැඩි වෙමින් පවතී. එහෙයින් එය මතු මතුත් පරම්පරා උදෙසා රැකදීම මෙහි මුඛ්‍ය අරමුණකි. තවද ලෝවැසියන්ට තථාගත නිර්මල ධර්මය ස්වයං අධ්‍යයනය කිරීමට මෙම මධ්‍යස්ථානය පිහිටුවනු ලබන අතර එහිදී ත්‍රිපිටක ධර්මය අට්ඨකතා සහිතව කියවා ස්වයං ධර්ම අධ්‍යයනයකට අවශ්‍ය පහසුකම් සැපයීම සිදු කෙරේ. පාලි, තායිලන්ත, බුරුම හා කාම්බෝජ ත්‍රිපිටක ග්‍රන්ථ අධ්‍යයනයට අවස්ථාවක් ලබාදීමත්, දේශීය හා විදේශීය වශයෙන් අභිධර්ම පර්යේෂණ සඳහා අවස්ථාවක් ලබාදීමත්, භික්ෂු භික්ෂූනී උපාසක උපාසිකා යන සිවුවනක් පිරිසටම සම්බුද්ධ දේශනාව අධ්‍යයනය කිරීම සඳහා අවස්ථාවක් ලබාදීමත් එහිදී සතියකට වරක් ගුරු ඇසුරෙහි ත්‍රිපිටක සූත්‍ර සාකච්ඡා මාර්ගයෙන් ඉගෙනීමට අවකාශ සැලසීමත් මෙහි තවත් අරමුණු අතර ප්‍රධාන වේ. 

තවද භික්ෂු ප්‍රාතිමෝක්ෂයට මුල් තැන දෙන සඟ පරපුරක් බිහිකිරීම හා ඒ ඔස්සේ ලෝවැසියන් උදෙසා තථාගත ධර්මය මනා ලෙස සන්නිවේදනය කිරීම, දේශීය විදේශීය වශයෙන් සිවුවනක් පිරිස උදෙසාම භාවනාව ප්‍රායෝගිකව ප්‍රගුණ කිරීමට අවස්ථාව ලබාදීමට භාවනා ගෘහයක් ඇතිකිරීම මෙන්ම දේශයට අවැසි නායකත්ව ගුණාංගයන්ගෙන් යුත් ගිහි පැවිදි නායකයන් බිහි කිරීමට අවශ්‍ය අඩිතාලම සැකසීම මෙහි තවත් අරමුණකි. 

සැවැත් නුවර ජේතවනාරාමයේ රෝපිත උතුම් ආනන්ද බෝධීන් වහන්සේගේ ශාඛා වහන්සේ නමක් මෙම භූමියේ රෝපණය කළ ඉකුත් වසරේ දෙසැම්බර් 9 වැනි දින ඊට සමගාමීව අරණ විහාර පදනම මගින් 95 ගම්මානයේ පාසල් දරු දැරියන් වෙත පාසල් උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක්ද පැවැත්විණි. ශ්‍රී ලංකා අමරපුර ධර්ම මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී රුසියාවේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර නාහිමි ඇතුළු ස්වාමින් වහන්සේලා මෙන්ම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය, කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක වීරක්කොඩි මහතා ඇතුළු සම්භාවනීයන් පිරිසක් එදා මේ අවස්ථාවට එක්ව සිටියහ. ඉකුත් දිනක සිංහල අලුත් අවුරුදු උදාව වෙනුවෙන් මෙන්ම වෙසක් තෙමඟුල වෙනුවෙන්ද පැවැත්වූ පින්කමේදී ගමේ දරුවන් සමඟ මෙන්ම වැඩිහිටියන් සමඟ ද ගනුදෙනු කරමින් ඔවුන්ට ආශිර්වාදය පිරිනැමූ අඹගස්මුල්ලේ පුඤ්ඤරතන හිමියන් ඉතා පැහැදිලි ලෙස මෙම මහා අනාගත සත්කාරය පිළිබඳව දේශනා කළහ. 

ජීවිතය මලක් මෙන් නෙලාගත නොහැකිය. එය කන්දක් සේ දැන ඉවසීමෙන්, දරා ගැනීමෙන්, ආදරයෙන් සහ බලාපොරොත්තුවෙන් තරණය කළ යුතුය. හුස්මක් වැටෙන බව දැනගෙන විඳිය හැකි ජීවිතයක් හමුවන තැනත්, ධෛර්යයෙන් සිහින සිහිනවලින් ඇහැරවා අරමුණු ඔස්සේ අප දිනන තැන් හමුවන තැනත් එතනය. ආනන්ද බෝධීන් වහන්සේගේ ශාඛාවක් රෝපණය කළ මේ බිම මතු ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක අපූර්වතම තිඹිරි ගෙයක් වනු දැකීම අපේ පැතුමයි.

I  සංජීවිකා 
සේයාරූ I තෙවිදු දම්සිත්

 

 

 

 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02