2023 මැයි 07 වන ඉරිදා

කොළඹ වෙසක් මෙවර සරුයි

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 225

මේ ගෙවී යන්නේ වෙසක් සතියයි. පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය වැනි සිදුවීම් හේතුවෙන් වසර ගණනාවක් වෙනදා තරම් වෙසක් සැමරුම් නොපැවැත්වුවද මෙවර වෙසක් සැමරුම් රට පුරා වැඩි වශයෙන් පවත්වන බව දැකගන්නට ලැබුණි.

මෙවර වෙසක් පුන් පොහොය දිනය දා බොහෝ විහාරස්ථානවල සිල් සමාදන් වීමේ වැඩසටහන් පැවැත්වූ අතර ඒවාට බොහෝ පිරිසක් සහභාගි වී සිටියහ. මීට අමතරව බොහෝ පාසල්වල සිල් සමාදන්වීමේ වැඩසටහන් වත්වන ලද්දේ වෙසක් පුන් පොහෝ දිනයට පෙර දිනයන්වලදීය. ඒ අනුව මෙවර වසර කිහිපයකට පසුව බොහෝ බෞද්ධයන් සිල් සමාදන්වීමේ වැඩසටහන්වලට සහභාගි වූ බව පැවසිය හැකිය.

මෙවර කොළඹ නගරය ආශ්‍රිතව වෙසක් කලාප හයක් පැවැත්වේ. කොළඹ නගරයේ පැවැත්වෙන මෙම වෙසක් කලාප නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණෙතැයි සංවිධායකවරු අපේක්ෂා කරති. මෙවර බුද්ධශාසන අමාත්‍යංශය, කොළඹ මහ නගර සභාව, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ආයතන එක්ව විශේෂ වෙසක් පූජෝත්සව වැඩසටහන් කොළඹ නගරය පුරා ක්‍රියාත්මක වෙයි.

මේ අනුව මෙවර ගංගාරාම විහාරය ආශ්‍රිතව බුද්ධ රශ්මි වෙසක් කලාපය, වාළුකාරාමය වෙසක් කලාපය, පුරහල ආශ්‍රිතව වෙසක් කලාපය, වරාය අධිකාරිය ආශ්‍රිතව වෙසක් කලාපය මෙන්ම නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව වෙසක් කලාපය ලෙසින් වෙසක් කලාප හයක් කොළඹ නගරයේ පැවැත්වේ.

මීට අමතරව මෙවර සෑම බන්ධනාගාරයක් තුළම වෙසක් සතිය නිමිති කොටගෙන වැඩසටහන් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. ''අවිඳු අඳුර දුරලමු - සිපිරි වෙසක් සමරමු'' යන තේමාව යටතේ පවත්වනු ලබන මෙම වැඩසටහන තුළින් බන්ධනාගාරගත නේවාසිකයන් වෙනුවෙන් පුන් පොහොය දා සිල් සමාදන් කරලීමත්, දින තුනක් බැති ගී ප්‍රසංග, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශන, වෙසක් සැරසිලි ආදිය සිදුකෙරේ.

කොළඹ නගරයට අමතරව කටුනායක බෝධිරතනාරාමය, ත්‍රිකුණාමලය, සීදූව, පැපිලියාන, රාජගිරිය පොලීසිය අසල, රාගම දුම්රිය ස්ථානය අසල, කිරිබත්ගොඩ, ගණේමුල්ල, ගම්පහ ඇතුළු ප්‍රදේශ රුසක වෙසක් සතියට සමගාමීව තොරණ හා වෙසක් කලාප පැවැත්වේ.

වෙසක් සතිය නිමිත්තෙන් රටපුරා විවිධාකාර තොරණ් ඉදි වී තිබේ. වසර කිහිපයක් මෙවැනි තොරණවල අඩුවක් තිබුණද මෙවර යම් ලෙසකින් සැලකිය යුතු තොරණ සංඛ්‍යාවක් දක්නට ලැබුණි. කොළඹ නගරයේ මෙන්ම මහරගම නගරයේ ඉදිකෙරුණ තොරණ නැරඹීම සඳහා විශාල ජනකායක් පැමිණෙනු ඇතැයි අපේක්ෂිතය.

පානදුර වෙළඳ සංගමය මගින් සංවිධානය කෙරුණ තොරණ මෙවර පානදුර නගරයේදී ඉදිකොට ඇත. ඒ සඳහා අසූ දහසක් පමණ විදුලි බුබුලු යොදාගෙන ඇති බව සංවිධායක මණ්ඩලය කියයි. තොරණවලට අමතරව කැරකෙන වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලි මෙවර රටපුරා දක්නට ලැබුණි. මෙවර ඔලුබක්කන් නැටීම මෙන්ම දන්සල් ආදිය පැවැත්වීමෙන් පසුව අනවශ්‍ය ලෙස නැටීම වැනි දෑ සිදු නොකළ යුතු බව දන්වා සිටීම හේතුවෙන් ඔලුබක්කන් නැටීම මෙවර දක්නට ලැබුණේ නැත. නමුත් වෙළෙඳපොළේ ඇති විවිධාකාර වෙස් මුහුණු පළඳා නගර පුරා වීදි පුරා ඇවිද යන තරුණයින් අසලින් ගමන් කරනා පිරිසට විවිධ උසුළු විසුළු කරලීම නැවැත්විය නොහැකිය. වෙළෙඳපොළේ සතුන්ගේ මුහුණ සහිත වෙස් මුහුණුවලට අමතරව විවිධ විරෑපී පෙනුමැති සතුන්ගේ පෙනුමැති වෙස් මුහුණු දක්නට ලැබෙන අතර මෙවර වැඩිවශයෙන් අලෙවි වූයේ මෙවැනි වෙස් මුහුණු බව අලෙවිකරුවෙක් පැවසීය.

මෙවර වෙසක් දිනයට සමගාමීව වෙසක් කූඩු සහ විවිධ සැරසිලි අලෙවි කරන තාවකාලික වෙළෙඳසල් සෑම නගරයකම පාහේ දක්නට ලැබුණි. මෙවැනි තාවකාලික වෙළෙඳසල් ඉදිකරන ලද්දේ වෙසක් දිනයට සති දෙකකට පමණ උඩදීය.
වෙන වසරවලට සාපේක්ෂව මෙවර එවැනි සැරසිලිවල මිල යම් තරමකින් ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. මෙවර කුඩා අටපට්ටම් කූඩුවක සැකිල්ලක මිල දෙසීයක් දෙසීය පනහක් අතර මිලෙන් යුක්තය. ඒවායේ සව්කොළ අලවා නැත. නමුත් පසුගිය වසරවල්වලට සාපේක්ෂව මෙවර මෙම අටපට්ටම් කූඩුවලට විශාල ඉල්ලුමක් තිබුණ බව අලෙවිකරුවෙක් දේශයට පැවසීය.

''ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ වෙසක් කූඩු නම් වැඩිපුර වික්කා. බෞද්ධ කොඩි වුණත් අපි හිතා හිටපු විදිහට මිනිසුන් ගත්තා. මෙතැන ඉස්කෝල කිහිපයක් තියෙන නිසා දරුවන් පාසල් සරසන්න එහෙම අපෙන් කූඩු අරගෙන ගියා. ඒ අයට නම් අපි ටිකක් අඩුවට දුන්නා. හැබැයි ඉතින් හැම සැන්දෑවකම වැස්ස නිසා සවස් වෙද්දි නම් බිස්නස් කළේ හරිම අඩුවෙන්.'' යැයි මහරගම වෙළෙඳාමේ නිරත වන ගාමිණී රුවන් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

වෙසක් සතිය නිමිත්තෙන් වෙසක් කාඩ්වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. නමුත් අද වෙද්දී වෙසක් කාඩ්වලට හිමිවන තැන ඉතාමත් අඩුය. වෙළෙඳපොළේ එකල තැනින් තැන වෙසක් කාඩ් අලෙවි කුටි ඉදි කෙරුණද අද නම් වෙසක් කාඩ් අලෙවි කුටි නගරවල නැති තරම්ය. එකල නෑදෑයන්ගෙන්, මිතුරන්ගෙන් තැපෑලෙන් ලැබෙන වෙසක් සුභපැතුම් පත් ලැබෙනතුරු අපි බලාගෙන ඉන්නේ ආසාවෙනි. පාසලේ මිතුරන්ට නම් වෙසක් සුබ පැතුම් පත් ලබාදෙන්නේ අතේ තැපෑලෙනි. එකල පෝස්කාඩ් ප්‍රමාණයේ වෙසක් සුභ පැතුම් ගෙන යහළුවන්ගේ පොත් අස්සට යවද්දී ''අතේ තැපෑල්'' ලෙසින් ලියන්නට අමතක කරන්නේ නැත. නමුත් අද වෙද්දී බොහෝ දෙනා වෙසක් සුභ පැතුම්පත් අමතක කොට ඒ සියල්ල මුහුණු පොත හරහා සුභ පතන්නට පුරුදුව සිටිති. නමුත් වෙසක් කාඩ්පතකින් ලැබෙන ඒ අසීමාන්තික සතුට මුහුණු පොතෙන් නම් ලබා ගැනීමට නොහැකිය.

I දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02