''සමාජයේ වැඩි දෙනෙකුට ජීවිතය අවබෝධ වෙනකොට පරක්කු වැඩියි. මම ආණ්ඩුවේ ඉහළ තනතුරක් දැරුවත් විශ්‍රාම යන්නට ආසන්න වනවිට ජිවිතයේ නිස්සාරත්වය දුටුවා. තනතුර යොදාගෙන ලබාගන්නා වාසි ගැන දුටුවා. ඒක නිසා මට ගිහි ජිවිතයෙන් ඈත්වීමට අවශ්‍ය වුණා. සියල්ල අත්හැරීමට ඕනැවුණා. හිතේ මහා හිදැසක් ඇතිවුණා. මේ ගැන මගේ බිරියට දරුවන්ට කීවම ඔවුන්ගේ විශාල අකමැත්තක් තමයි තිබුණේ. මගේ විශ්වවිද්‍යාලයේ මිතුරනුත් මාව ගෙදර රඳවාගන්න ගොඩක් උත්සාහ කළා. ඒත් මම ඒ ජිවිතය අත්හැරියා. දැන් ඉතා සැහැල්ලුවක් තමයි හිතේ තියෙන්නේ....'' අප සමග එලෙස පැවසුවේ මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය බිමේ වනගත කුටියක බවුන් වඩමින් සිටි හිමිනමකි. ගම්පහ දිස්ත්‍රික්කයේ විශාලම වනාන්තරය වන මේ වනඅරණ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්ය. වනයේ විශාලත්වය හෙක්ටයාර් 384කි. එහි කොටසක් ආරණ්‍ය සේනාසනය සඳහා නිදහස් කර තිබේ.
කොළඹ සිට කි.මී. 45ක් පමණ දුරින් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කිරිඳිවැල ආසන්නයේ පිහිටි එම කැලය මුලදී හැඳින්වූයේ මීතිරිගල මූකලාන යනුවෙනි. හංවැල්ල-කිරිඳිවැල පාරේ පැමිණ පල්ලේගම හන්දියෙන් හැරී අතුරුපාරක ගමන් කිරීමෙන් මීතිරිගලට පැමිණිය හැකිය. කෙත් හා ගෙවතු සහිත ඇළදොළවලින් පිරුණු පිටිසර වටපිටාවක් මේ අවට දැකගත හැකිය. නිස්සරණ වනය පිහිටා ඇත්තේ කඳුගැටයක් ආශ්‍රය කරගෙනය. එය මී.30 සිට මී. 450 දක්වා උසක පැතිර තිබේ. වාර්ෂික වර්ෂාපතනය මි.මී.2000-2500 අතර වේ. මීතිරිගල ඔය උපත ලබා ගලා යන්නේ මේ වනාන්තරය අතරිනි. ගල්පර අතරින් ගලාබස්නා එහි ස්නානය කිරීමට අවට ජනයා පැමිණිම සිරිතක් කරගෙන තිබේ.
මේ වනාන්තරයේ ප්රමුඛ ශාක විශේෂ 138ක් හඳුනාගෙන තිබේ. ඒ අතරින් 38ක් ආවේණික ශාකය. ආවේණික ශාක ප්‍රතිශතය සියයට 25කි. මේ අතරින් විශේෂ හතක් දුලබය. මෙය ලංකාවේ පැරණිම රක්ෂිත වනාන්තරය ලෙස සැලකේ. එය ආණ්ඩුවේ රක්ෂිත කැලයක් බවට ප්‍රකාශකර ඇත්තේ 1885 මැයි 22 දිනයි. ගැසට් කරන ලද මෙම රක්ෂිතය හෙක්ටයාර 511කින් සමන්විතය. අද වනවිට මින් ඉතිරිව ඇත්තේ හෙක්ටයාර 384ක් පමණි. කැලණි ගඟේ අවසාන රක්ෂිත කලාපය මීතිරිගලය. බස්නාහිර පළාතේ පිහිටි වනාන්තරය එක් පසෙකින් සබරගමුව පළාතට මායිම් වේ.
අද මීතිරිගල වනාන්තරය ගැන වැඩිදෙනා දන්නේ එහි පිහිටි ධර්මායතන ආරණ්‍යය නිසාය. මීතිරිගල ධර්මායතන ආරණ්‍ය සේනාසනයට අක්කර 28ක්ද, මෙත්සරණ ආරණ්‍ය සේනාසනයට අක්කර 10ක්ද, තවත් ආරණ්‍ය සේනාසනයකට අක්කර 5ක් ද ලෙස මේ වන විට වනාන්තරයේ ඝන කැලෑව වෙන්කර දී තිබේ.
මාතර ශ්‍රී ඥානාරාම හිමි සමඟ භාවනාවට සුදුසු ස්ථාන සොයමින් අශෝක වීරරත්න රටේ ස්ථාන කිහිපයකටම ගමන් කළේය. කළුතරට ආසන්න කළුගල ආරණ්‍යයට ගිය ඔහු ඉන්පසු කුරුණෑගල අරන්කැලේ ආරණ්‍යයට ගියේය. පසුව නිකවැරටියට මඳක් ඈතින් පිහිටි නාගම් සෝලේ නම් ස්ථානයද දැකගැනීමට ගියත් මේ කිසිම තැනක් ඔහුගේ සහ ඥානාරාම හාමුරුවන්ගේ සිතට ඇල්ලුවේ නැත. වසර හැටක්ද ඉක්මවා සිටි ඥානාරාම හිමි පසුව පැමිණියේ මීතිරිගල වනයටයි. නිසංසල වනපෙත උන්වහන්සේගේ සිත සුවපත් කළේය. දේශගුණයද හිතකර විය. වනාන්තරය අසලින් ගලාබස්නා දොළ නිසා ජලපහසුවද ලේසියෙන්ම සපයාගත හැකිවිය. එය යෝගී ජීවිතයට ඉතා සුදුසු වටපිටාවක් විය.
1964 දී අශෝක වීරරත්න අනූනව අවුරුදු බදු ක්‍රමය යටතේ මේ රක්ෂිත වනයෙන් අක්කර සීයක් තමාගේ පෞද්ගලික නමට පවරා ගත්තේය. ඉන්පසු මුලින්ම සිය පෞද්ගලික ධනය යොදවා ආරණ්‍ය ගොඩනැගිලි සහ කුටි ඉදිකිරීමට පටන් ගත්තේය. පසුව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අයගේ ආධාරද මේ කාර්යයට ලැබුණි. වර්ෂ තුනක් පමණ කෙටි කාලයකදී භාවනා කුටි ආදී මූලික ඉදිකිරීම නිමවූ අතර පළමු භාවනා වැඩසටහන 1967 ජූලි 22 වැනි දින ආරම්භ විය. ආරණ්‍යය තැනීමට මුල්වූ අශෝක වීරරත්න ක්‍රමයෙන් ගිහි ජීවිතයේ නිස්සාරත්වය වටහාගෙන 1972 අගෝස්තු මස 22 වැනි දින මීතිරිගල ධම්මනිසන්ති ලෙස පැවිදි විය. මාතර ශ්‍රී ඥානාරාම මාහිමියෝද මෙහි මූලිකත්වය ගෙන කටයුතු කළහ. වනාන්තරයත් ආරක්ෂා කරගනිමින් සේනාසනයේ දියුණුවට කටයුතු කළ ධම්මනිසන්ති හිමි 1999 ජූලි 02වැනි දින අපවත් වනවිට වයස අවුරුදු 80ක් විය.
පානදුරේ ඛේමානන්ද හිමි, මීතිරිගල ධම්මවාස හිමි, කටුකුරුන්දේ ඤාණානන්ද හිමි ඉන්පසුව මෙහි නායක හිමිවරු ලෙස කටයුතු කළහ. දැනට වැඩ සිටින උඩඊරියගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ පැවිදිවී ඇත්තේ 1988 නොවැම්බර් 16 දිනයි. පසුව උන්වහන්සේ 1993 සිට 1996 දක්වා බුරුමයේ භාවනා පුහුණුවක යෙදී ඇත. සතිමත් බව පුහුණු කිරීම ශ්‍රී ලංකාවට පළමුවරට හඳුන්වා දුන්නේ ධම්මජීව නායක හිමියෝ වෙති.
මේ සඳහා වර්ෂ 2016 මාර්තු මාසයේ සති පාසල වැඩසටහන ආරම්භ කළ අතර දැනට කඩුවෙල ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ පාසල් කීපයක ජාති ආගම් භේදයකින් තොරව බෞද්ධ හැර අන්‍යාගමික දරුවෝ සතිමත් බව පුහුණුවීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටිති. දැනට මීතිරිගල නිස්සරණ වනයේ එකවිට දෙසීයකට පමණ පුහුණුව ලැබීමට පහසුකම් පවතී. මෙහි දානය පිරිනැමීමට රටපුරා විවිධ පෙදෙස්වලින් බොදුනුවෝ පැමිණෙති.
නිස්සරණ ආරණ්‍යයේ සංවිධාන කටයුතු නායක හිමියන්ගේ උපදෙස් අනුව මීතිරිගල නිස්සරණ වනය සංරක්ෂණ මණ්ඩලය මගින් කි‍්‍රයාත්මක වේ. නේවාසික භාවනා වැඩසටහන් පවතින අතර ගිහි ජනතාවටද ඒ සඳහා සහභාගි විය හැකිය. වනාන්තරයේ කොන්ක්‍රීට් දැමු මංපෙත් භාවනා කුටිවලට මඟ පෙන්වයි. අහස උසට විහිදෙන මහා රුක් අතරින් දිවෙන මංපෙත සිත නිවීමට මඟ පෙන්වයි. වනයේ ගමන් කරන අපට දානය ලබාගෙන කුටි කරා යන හිමිවරු හමුවෙති.
සමනළ විශේෂ සහ පක්ෂි විශේෂ රාශියක්ද මේ වනය නිවහන කරගෙන සිටිති. මෑතක සිට මොණරු විශාල වශයෙන් නිස්සරණ වනයේ බෝවී සිටින අතර උන් ගම්වලට පැමිණ බෝග හානි කිරීමද සිදුවේ. මීමින්නා, ඕලු මුවා, හාවා, වල්ඌරා මෙන්ම රිළවා සහ වඳුරා ඇතුළු සත්ව විශේෂද මෙහි දිවි ගෙවති. මෙහි රිලා ගහණයද විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. වනයේ තැන්තැන්වල ගස් කැපීමද සමහර අවස්ථාවල මෙහි සිදුවන බව අපට දැනගැනීමට ලැබුණි. වල්ඌරන් මැරීමට වනය ගිනිතැබීම මෙන්ම හක්කපටස් තැබීමද විටින් විට වාර්තා වේ. 1970 දශකයේ සමගි පෙරමුණු ආණ්ඩුව යටතේ වනාන්තරයේ ඉඩම් කට්ටි කර වගාකිරීමට බෙදාදුන් අතර මේ වනවිට ඒවායේද තරමක් වනය වැවී තිබේ.
2020 දී ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මීතිරිගල රක්ෂිතයේ ඉඩම් අක්කර 107ක් අනවසර පදිංචිකරුවන්ට බෙදාදීමට නිර්දේශ කර අදාළ කටයුතු කිරීමට යෝජනා කළ අතර එයට විශාල විරෝධතා එල්ල විය.
වනාන්තරය මැදින් කලකට ඉහත තිබූ අඩිපාර දැන් කාපට් දැමූ තාර පාරක් බවට පත්ව තිබේ. ඒ පාර ඔස්සේ කණුගල හරහා තල්දූවට පැමිණිය හැකිය. වනයේ කණුගල ආසන්න සීමාවේ පිහිටා ඇති ගල්බැම්ම නම් ස්ථානය සීතාවක රාජධානි යුගයේ පැවති පැරණි ප්රාකාරයක් බව ජනප්‍රවාදවල පැවසේ. මෙය මීටර 200ක් පමණ දිගින් යුත් කළුගලින් කළ පදනමක් වැනි ඉදිකිරීමකි.
''මම මුලින්ම ආරණ්‍යයට ඇවිත් නායක හාමුදුරුවන් හමුවී මහණවීමට අවසර ඉල්ලා සිටියා. එවිට උන්වහන්සේ කීවේ ගෙදර ගොස් ඔයාගෙ යතුරු කැරුල්ලේ ඇති යතුරු එකින් එක ඉවත් කරන්න. සියල්ලම අතහැරි දවසට පැමිණ මා හමුවන්න කියලයි. ඒ විදිහට අවුරුදු කීපයක් පෙරුම් පුරලයි නිස්සරණ වනයේ පැවිදි වරම ලැබුණේ.'' අප සමඟ මුලින්ම කතාකළ හිමියන් පැවසූ වදන් මිතිරිගලින් සමුගත් පසුවත් මා සිතේ නිතර දෝංකාර දුන්නේය.
I විශේෂ ස්තුතිය- මීතිරිගල ග්‍රාම නිලධාරි නිමල් කරුණාරත්නට
I කුසුම්සිරි විජයවර්ධන