2023 මැයි 07 වන ඉරිදා

විදෙස් ශ්‍රමිකයන්ට ඩියුටි ෆ්‍රී සහන මල්ලක්

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 44

මේ රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ග දෙකක් වන්නේ සංචාරක කර්මාන්තයෙන් සහ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන්ය. කොරෝනා සමයේදී මෙම අංශ දෙකම කඩාවැටීම නිසා රටේ විදෙස් සංචිතය සම්පූර්ණයෙන් ඍණ අගයකට පත්විය. අලුත් ආණ්ඩුව පත්වීමත් සමඟ ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ වූයේ මෙම අංශ දෙක කෙසේ හෝ පරණ තත්ත්වයට ගෙන ඒමය. ඒ සඳහා සංචාරක කර්මාන්තය තුළත් විදේශ සේවාව තුළත් විශේෂ පහසුකම් රුසක් ලබාදීමට කටයුතු කළේය. විශේෂයෙන් විදෙස්ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට මුදල් එවීම නතර කර දැමීම නිසා ඒ වෙනුවෙන් විශේෂ සහන ලබාදෙන්නට කම්කරු සහ විදේශ රුකියා අමාත්‍ය මනූෂ නානායක්කාර කටයුතු කළේය.

ඒ අනුව ඩොලර් 25,000 කට යටත්ව රෝද දෙකේ විද්‍යුත් වාහනයකුත් ඩොලර් 65,000කට යටත්ව රෝද හතරේ විද්‍යුත් වාහනයකුත් ආනයනය කිරීම සඳහා අවසර ලබාදීම සිදුකළේය. ඒ අනුව එම අවසරය රෝද දෙකේ වාහන සඳහා අප්‍රේල් 30 දායින් අවසන් විය. රෝද හතරේ වාහන ආනයනය දෙසැම්බර් 31 වැනිදා තෙක් සිදු විය.

එම තීරු බදු සහනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් පළකළේ මෙසේය.

''මේ තීරු බදු සහනය ඒ විදියටම තියෙන ගමන් දින 90කට අඩු කාලයකදී ඩොලර් 2400ක් වත් අඩුම තරමේ රටට එවලා තියෙනවා නම් සිල්වර් කැටගරි යටතේ ඩොලර් 787ක් විදියට තිබූ තීරුබදු සහනය ඩොලර් 600කින් වැඩි කරනවා. අවුරුද්දක් නම් නම් 1225කින් සහ ඊට වැඩිනම් ඩොලර් 2350ක් විදියට තීරු බදු සහනය හිමි වෙනවා.'' යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම ඩොලර් 4800ක් මෙරටට එවා ඇත්නම් නම් ඩොලර් 1175, 1585 සහ 2710ක් ලෙස බදු සහනය ඉහළ දැමෙනු ඇත. ඩොලර් 7200ක් එවා තිබේ නම් ඩොලර් 1627, 2065, 3190 ලෙස තීරුබදු සහනය ඉහළ නැංවීමට නියමිතය. ඩොලර් 12,000ක් එවා තිබේ නම් ගෝල්ඩ් ප්ලස් කාණ්ඩය යටතේ ඩොලර් 2587, 3025 සහ 4150ක තීරුබදු සහනයක් හිමි වනු ඇත. අවුරුද්දට ඩොලර් 24,000ක් එවා ඇත්නම් නම් එය 20%කින් වැඩිකර ඩොලර් 4800කින් තීරු බදු සහනය ඉහළ දැමීමට යෝජනා කර තිබේ. ඒ අනුව තීරු බදු සහනය අවම වශයෙන් ඩොලර් 4985, 5425 සහ 6550ක් ලෙස ඉහළ දැමෙනු ඇත. මීට පෙර ලබාදුන් උපරිම තීරුබදු සහනය ඩොලර් 1750 විය.

මේ සියලු කතා පසුගිය වසරේ ලබාදුන් සහනයන්ය. කෙසේ වෙතත් එම සහන යටතේ විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 8කට අදාළව වාහන ආනයනයට අයදුම් පත් 125ක් ලැබී ඇති බව අමාත්‍යවරායා පසුගියදා ප්‍රකාශ කළේය. මේ අතර තවත් විශේෂ සහනයක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා පසුගිය අප්‍රේල් 27 වැනිදා ප්‍රකාශ කළේය. ඒ මැයි 1දා සිට ක්‍රියාත්මක වන පරිදිය. ඒ අනුව වසරක් හෝ ඊට අඩු කාලයක් තුළ ඩොලර් 2400කට අවමව මුදල් එවා ඇත්නම් ඒ අය කාණ්ඩ තුනක් යටතේ බෙදා ඇත. ඒ අනුව අදාළ කාණ්ඩ නම්කර ඇත්තේ සිල්වර්, සිල්වර් +, ගෝල්ඩ්, ගෝල්ඩ් + හා ප්ලැටිනම් යනුවෙනි.

වසරක හෝ අඩු කාලයකදී අමෙරිකානු ඩොලර් 2400 – 4799 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන් සිල්වර් කාණ්ඩයට අයත් වන අතර ඔවුන්ට දැනට ලබාදෙන තීරුබදු සහනයට වඩා අතිරේකව අමෙරිකන් ඩොලර් 600ක සහනයක් හිමිවනු ඇත.

එමෙන්ම අදාළ කාලය තුළ ඩොලර් 4800 - 7199 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන් සිල්වර් + කාණ්ඩයට අයත් වන අතර ඔවුන්ට අතිරේකව අමෙරිකන් ඩොලර් 960ක සහනයක්ද ලබාගැනීමට ක්‍රියාකර තිබේ. 

වසරකට ඩොලර් 7,200 - 11,999 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන් ගැනෙන්නේ ගෝල්ඩ් කාණ්ඩයට වන අතර ඔවුන්ට අතිරේකව ඩොලර් 1,440ක තීරු බදු සහනයක් හිමිවේ. ඩොලර් 12,000 - 23,999 අතර ප්‍රේෂණ ප්‍රමාණයක් එවා ඇති විදේශ ගත ශ්‍රමිකයන් ගැනෙන්නේ ගෝල්ඩ්+ කාණ්ඩයට වන අතර ඔවුන්ට ඩොලර් 2,400ක සහනයක් ලබා ගැනීමට හැකියාව ඇත. වසරකට අමෙරිකන් ඩොලර් 24,000ක් හෝ ඊට වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයන් ප්ලැටිනම් කාණ්ඩයට ගැනෙන අතර ඔවුන්ට අතිරේකව ඩොලර් 4,800ක තීරු බදු සහනයක් ලබා ගැනීමට හැකිය.

මීට අමතරව මේ අයට පෙර හිමිව තිබූ තීරු බදු සහනයද හිමිවනු ඇත. ඒ යටතේ දින 90කට අඩු කාලයකදී නම් ඇමරිකන් ඩොලර් 187.5ක්ද දින 90 සිට දින 365ක් දක්වා නම් අමෙරිකන් ඩොලර් 625ක් හා දින 365ට වැඩි නම් අමෙරිකන් ඩොලර් 1750ක සහනයක්ද හිමිවනු ඇත. කෙසේ වෙතත් මෙම සහනය ද්විත්ව පුරවැසියන්ටද ලබාගැනීමේ හැකියාව තිබේ.

එසේම විදේශගත ශ්‍රමිකයන් සඳහා අඩුපොලී යටතේ මිලියන දෙකක ණය පහසුකම් ලබා දෙන්නත්, එසේම ඔවුන්ට ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා සහය දෙන්නත් රජය තීන්දු කර ඇත්තේ තවත් සහන ලබාදීමේ අරමුණෙනි. ඊටත් අමතරව විදේශ ශ්‍රමිකයන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී ඉඩ ලබාදීමේ විශේෂ අවසථාවක් ලබාදීමට පවා අමාත්‍යවරයා මෙහිදී යෝජනා කර තිබේ. මෙය එතෙක් මෙතෙක් ඉතිහාසයේ විදෙස් ශ්‍රමිකයන්ට ලැබුණු විශාල සහනයක්ය.

බොහෝදෙනා විමසන්නේ මෙතරම් සහන ලබාදී අවශ්‍ය අරමුණ ඉටුවුණාද යන්න ගැනය. ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේ පමණක් විදේශිකයන් හරහා මෙරටට ලැබුණු ආදායම ඩොලර් මිලියන 259.2 කි. එහෙත් මෙම වසරේ ජනවාරිය තුළ ආදායම ඩොලර් මිලියන 437.5කි. එය ගිය වසර හා සසඳන විට 69%ක වර්ධනයකි. ඒ අනුව අනෙකුත් මාස ගත්විට පසුගිය පෙබරවාරි මාසය තුළ ඩොලර් මිලියන 204.9 ක් වූ අතර මේ වසරේ පෙබරවාරි මාසය තුළ ඩොලර් මිලියන 407 කි. එසේම පසුගිය වසරේ මාර්තු මාසයේ ආදායම ඩොලර් මිලියන 318.4 වන අතර මේ වසරේ මාර්තු මාසයේ ආදායම ඩොලර් මිලියන 568.3 බව සඳහන් වේ.

ඒ අනුව පැහැදිලි වර්ධනයක් මේ සහන හරහා දැකගත හැකි බව බැලූ බැල්මට පෙනෙන දෙයකි. මේ සියල්ල කටුනායක ගුවන් තොටුපළේ විවෘත වෙන HOPE GATE (අපේක්ෂා ගේට්ටුව) හරහා ලංකාවට ඇතුළුවන ඕනෑම ශ්‍රමිකයකුට හිමිවනු ඇත.

I ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02