2023 මැයි 07 වන ඉරිදා

මැයි පළමුවැනිදා රතු වූ කොළඹ

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 43

ලොව පුරා කම්කරුවන් වෙනුවෙන් වෙන් වූ මැයි දිනය මෙවර සමරනු ලබන්නේ 137වැනි වරටයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළද ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් පසුගිය මැයි පළමු වැනිදා මැයිදින පෙළපාලි හා රැළි රැසක් පැවැත්වීමට දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති කටයුතු යොදා තිබුණි.

ශ්‍රී පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ යන ප්‍රධාන දේශපාලන පක්ෂ කොළඹ කේන්ද්‍ර කර ගනිමින් මැයි දිනය රැළි සංවිධානය කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සිය මැයි රැළිය පැවැත්වීමට තෝරාගෙන තිබුනේ මහනුවර නගරයයි. මීට අමතරව වතුකරයේද විවිධ කම්කරු සැමරුම් උත්සව සංවිධානය විය.

මැයි දින සැමරුම් හේතුවෙන්, කොළඹ, නුගේගොඩ, මහනුවර සහ හැටන් නගර කෙන්ද්‍ර කරගනිමින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කළේය. කොළඹ නගරයේ පමණක් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3500කට ආසන්න පිරිසක් යෙදවීමට පොලීසිය කටයුතු කර තිබුණි. සමස්තයක් ලෙස සියලු රැළි සහ පෙළපාලි සාමකාමී විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මැයි රැළිය සංවිධානය කර තිබුනේ බොරුල්ල කැම්බල් පිටියේය. පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැළිය පැවැත්වුණි. සිය පක්ෂයේ දේශපාලන බලය නැවත තහවුරු කර පෙන්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි රැළිය යොදාගත් බව පෙනී ගියේය.

''අභියෝග බිද අභිලාෂ ජයගමු” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය ඇමතූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාව වෙනුවෙන් බලය ලබා ගන්නවා මෙන්ම බලය අත්හැරීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් යැයි කියා සිටියේය.

''කවුරුත් නොසිතන තරම් සංවිධාන ශක්තියකින් නැගී සිටීමට අපිට පුළුවන්. රටේ ජනතාවගේ අභිලාෂය තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව අද කැම්බල් පිටියෙන් සනාථ වෙනවා. අපි කොයි වෙලාවෙවත් කලබල වෙන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට ජනතාවත් එක්ක හරි තීන්දු ගන්නවා.

අපි බලයට ඒමේදී කම්කරුවන් විශාල සහයෝගයක් දුන්නා. වැඩබිමේදී ඔවුන් අපි වෙනුවෙන් හඬනැගුවා. අපි ආණ්ඩු බලය තිබුණු කාලයේදී කම්කරු අයිතීන් ආරක්ෂා කරලා දුන්නා. කම්කරු ප්‍රශ්න බොහෝමයක් සාකච්ඡා කර විසඳා ගැනීමට අපි කටයුතු කළා.''

පොහොට්ටුවේ මැයිරැලිය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇතුළු මැතිඇමැතිවරු රුසක් එක්ව සිටියහ.

''වැඩබිමේ අරගලය මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන්'' යන තේමාව යටතේ සංවිධානය වූ සමගි ජනබලවේගයේ ප්‍රධාන මැයි දින සැමරුම කොළඹ ඊ.ඒ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. සජබ මැයි දින පෙළපාලියක්ද සංවිධානය කර තිබූ අතර මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසලින් ආරම්භවූ එක පෙළපාලි  ඊ.ඒ. ගුණසිංහ ක්‍රීඩාංගණය අසලින් අවසන් විය.

ආරම්භයේම මෙවර දැවැන්ත මැයි රැළිය පවත්වන්නේ සිය පක්ෂය බව සමගි ජනබලවේගය කියා සිටියේය. මෙහිදී ආණ්ඩුවේ වර්තමාන ආර්ථික දේශපාලන තීන්දු බරපතළ ලෙස විවේචනය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

''අපි මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනා. ඒ සඳහායි අපි දේශපාලනය කරන්නේ. අපි තනතුරු වෙනුවෙන් කෙළ හලන නායකයන් නොවෙයි. ඒත් අද දේශපාලනයේ එහෙම අය ඉන්නවා. එහෙම දෙපිට කාට්ටුවෝ ඉන්නවා. අපි ඒ අයට කියනවා හැම පැත්තෙම කකුල් තියා ගන්න එපා. අපේ පක්ෂයේ එහෙම දෙපිට කාට්ටුවෝ නෑ. ඒත් මම අනුමානයෙන් කියන්නේ එහෙම අය ඉන්නවා නම්, ඒ අයට පුළුවන් නම් ඉන්න, බැරිනම් යන්න කියලා ඒ අයට අපි කියනවා. අද අල්ලස්, දූෂණය වංචාව රජ කරනවා. මේ ආණ්ඩුව ගැන කියනවා නම්. දැක්කේ නැති පොහොරවලට වන්දි ගෙවපු ආණ්ඩුවක්, දැකපු නැති එයාර් බස් වලට වන්දි ගෙවන ආණ්ඩුවක් මේක කුණුවලට වගේම තවත් දේවල්වලට වන්දි ගෙව්වා.''

සජබ මෙවර තවත් මැයි දින සැමරුමක් බදුල්ල නගරයේදී සංවිධානය කර තිබුණි. වඩිවෙල් සුරේෂ, චමින්ද විජේසිරි, කාවින්ද ජයවර්ධන වැනි සජබ නායකයන්ගේ සහභාගීත්වයෙන් වතු කම්කරු ජනතාව වෙනුවෙන් එම මැයි රැළිය සංවිධානය කර තිබුණි. ජාතික ජනබලවේගය මෙවර කලකට පසුව ජනතා විමුක්ති පෙරමුණ නමින් සිය මැයි රැළිය සංවිධානය කර තිබුණේ කොළඹ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිටදිය. ඔවුන්ගේ මැයි දින පෙළපාලිය බී.ආර්.සී. පිටියෙන් ආරම්භ වී විහාරමහාදේවි උද්‍යානය කරා ළඟාවිය. ජවිප රතු මැයි දින පෙළපාලියේ කොමියුනිස්ට් නායකයින් වූ මාක්ස්, එංගල්ස්, ලෙනින් හා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ආදී නායකයන්ගේ විශාල ජායාරෑපය රුගත් සැමරුම් රථ දැකගත හැකිවිය.
උතුරෙත්, දකුණෙත් ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව වගේම වතුකරයේ ජනතාවත් එකට එක්කර පොදු ජනතා පාලනයක් බිහිකර මෙම ගමන ජයග්‍රහණයකින් කෙළවර කරන බවට සහතික වන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මෙවර රතු මැයි දින සැමරුම අමතමින් කියා සිටියේය.

''කැම්බල් පිටියේ, ගුණසිංහපුර රැළිවලත් ජනතා විමුක්ති පෙරමුණ ගැනයි කතා කළේ. අනෙක් පොඩි පොඩි රැළිවලත් කතාව ජවිපෙ ගැනයි. ජනතාව විපතට හෙළපු, රටේ දරුවන්ගේ අනාගත බලාපොරොත්තු අහිමි කළ, රට විනාශ කළ හිඟන රටක් බවට පත්කළ අය එක කේන්ද්‍රයක මේ රට නූතන රාජ්‍යයක් කරන කේන්ද්‍රය තමයි මේ රතු මැයි රැළිය. අද තීරණාත්මක බල සටනකට ඇවිත්. එය අපි අනිවාර්යයෙන්ම ජය ගන්නවා. මේ රටේ ජනතාවගෙන් සියයට 68 ක් ආහාර වේල සීමා කරලා. එක්කෝ ගන්නා ආහාර වර්ග සීමා කරලා. මේක හෙළිවෙලා තියෙන්නේ සමීක්‍ෂණයකින්. ඒ වාර්තාවේ තියෙනවා ජනතාවගෙන් සියයට 40ක් ඖෂධ ගැනීම සීමා කරලා. තවත් සියයට අසූ අටක් ණය ගෙවන එක නතර කරලා. රන් බඩු උගස් තියන්න අරන් මොකද්ද මේ රට. දරුවන්ගෙන් සියයට හතළිහක් අධ්‍යාපනය සීමා කරලා.''

මේ අතර එක්සත් ජාතික පක්ෂ සිය මැයි රැළිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවත්වූයේය. පක්ෂයේ ඉදිරිපෙළ දේශපාලන නායකයින් සියලු දෙනාම පාහේ මෙවර මැයි දින රැළිය සඳහා සහභාගී විය. කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂ නායක වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කල් ඇතිවම මෙවර රැළියට සහභාගී නොවන බව දන්වා තිබුණි.

කෙසේ වෙතත් ආර්ථිකය, ආරක්ෂාව සහ තාක්ෂණය අතින් රට ජයග්‍රහණය කරවීම ඉලක්ක කර ගෙන ‘2048 ජයගමු’ තේමාව යටතේ පැවත්වූ එජාප මැයි රැළිය මාර්ගගත ක්‍රමයට ඇමතීමට ජනපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළේය. තමාගේ අරමුණ මුල්බැස ගත්තේ දේශපාලනය නොව රටේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කිරීම සහ පුරවැසියන් මත පැටවී ඇති බර අඩු කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමින් පැවසීය.

''මේ හේතුව නිසා මම ජනාධිපති ධූරයේ කාර්යභාරය භාර ගත්තා. ආර්ථිකය පුනර්ජීවනය කිරීමට සහ මෙම ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා සහාය දක්වන අමාත්‍යවරුන් සමඟ වැඩ කිරීමට මට ඇති හැකියාව කෙරෙහි විශ්වාසය තිබෙනවා. එනිසා සමගි ජන බලවේගයේ තරණු මන්ත්‍රීවරුන්ට ද ඒ සඳහා සහාය දැක්වීමට එක්වන ලෙස ඉල්ලා සිටිනවා.''

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය මහනුරදී පැවැත්වුණි. මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට පැවති මෙම රැළිය මර්දනයට එරෙහිව මැයි රැළියක් ලෙස සංවිධානය විය. 2015 තමා බලයේ සිටියදී සමෘද්ධිමත්ව ගෙන ගිය රට මේ වනවිට විශාල අගාධයකට පත්වී නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමට ලක් වී තිබෙන බව මෙම රැළිය අමතමින් ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පාලන කාලයේ ගහක් කපන්නට අවශ්‍ය නම් වනජීවී දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් සකස් කර තම අනුමැතිය ලැබෙන තෙක් ගස් කැපීම නතර වී තිබූ බවද, අද වනවිට පාසල් දරුවන් මත්ද්‍රව්‍ය නිසා විනාශ වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද පැවසූ මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ගැන සාමාන්‍ය පෙළ, උසස් පෙළ, දරුවන් ගුරුවරුන් සමඟ සාකච්ඡා කළහොත් මහා ඛේදවාචකයක් බවට පත් වී ඇති බව කීවේය.මීට අමතරව තවත් දේශපාලන පක්ෂ රැසක් මැයි දින සැමරුම් සංවිධානය කර තිබුණි. පෙරටුගාමි සමාජවාදී පක්ෂය දෙල්කඳ හන්දියෙන් සිය මැයි පෙළපාලිය ආරම්භ කළ අතර පසුව නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංග පීඨයේදි සිය මැයි රැළිය පැවැත්වීය. උත්තර ලංකා සභාගය සිය මැයි රැළිය කොළඹ හයිඩ් පාක් පිටියේදී පැවැත්වීය.

ජාතික වෘත්තීය සමිති පෙරමුණේ මැයි දින රැළිය කොළඹ පුරහල ප්‍රදේශයේදී පැවැත්වූ අතර වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන 40කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමුඛ කොටගත් ස්වාධීන වෘත්තීය සමිති හා බහුජන මධ්‍යස්ථානයේ මැයි රැළිය, මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රිඩාංගණයේදී සංවිධානය විය.

I චමිඳු නිසල් ද සිල්වා