වෛද්‍ය ආදම්බාවා මොහොමඩ් ශිෂාන් ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයෙකි. වසර පහකට පමණ පෙර විවාහපත් වූ ඔහු බිරිය සමඟ වාසය කළේ බම්බලපිටිය ලෙයාඩ්ස් පාරේ නිවෙසකය. රාජකාරි කටයුතු නිසා වෛද්‍යවරයා නිවසට පැමිණෙන්නේ සති තුන හතරකට වරකි. ඒ නිවාඩුව දින හතර පහකට වැඩි නොවන්නේය.
ඉන්සියුලීන් අධි මාත්‍රාවක් ශරීර ගතකර බිරිය ඝාතනය කිරීමට උත්සාහ ගත් බවට චෝදනා එල්ලවූයේ මේ වෛද්‍යවරයාටය. ඒ සම්බන්ධයෙන් සැකපිට බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.
වෛද්‍ය ආදම්බාවා මොහොමඩ් හා ඇගේ බිරියගේ උපන්ගම කාත්තන්කුඩි ප්‍රදේශයයි. යෝජනාවක් අනුව මවුපිය ආශීර්වාදයෙන් විවාහපත් වූ පසුව වෛද්‍යවරයාගේ බිරියගේ පියා විසින් මිලදී ගෙන තිබෙන ලෙයාඩ්ස් පෙදෙසේ නිවෙස නව යුවළට තෑගි කළේය. නව යුවළ එහි පදිංචියට ගියද රාජකාරිය නිසා සැමියා වැඩි වශයෙන් කාලය ගතකළේ ත්‍රිකුණාමලයේය. මේ නිසා බිරියගේ තනි නොතනියට ඇගේ බාල සහෝදරයා හා සහෝදරිය එම නිවසේ නැවතී සිටියහ.
යුවළ විවාහ වී වසර පහකට ආසන්න වුවත් දෙපළට දරුවන් නොවීය. ඒ සම්බන්ධයෙන් බිරිය දැඩි මානසික වියවුල් තත්ත්වයක පසුවී ඇතැයි කියති. මේ අතර ඇය ශාස්ත්‍රවේදී උපාධියකට පෙනී සිටීම සඳහා සූදානමින් සිට ඇත. ඒ අතරතුර රාත්‍රියට පාඩම් කරන අවස්ථාවලදී නිරතුරුවම ''මට රෑට පාඩම් කරනකොට නින්ද යනවා... ඔයා ළඟ හිටියා නම් නින්ද යන්නේ නෑ'' කියමින් වෛද්‍ය සැමියාට දුරකතන ඇමතුම් ලබාදී ඇත. වරින්වර මෙසේ ලබාදෙන දුරකථන ඇමතුම් සැමියාට වදයක් වන තැනට පත්ව ඇති බව කියැවේ. ඔහු රාජකාරියේ නිරතව සිටින අවස්ථාවලදී පවා මේ ආකාරයේ ඇමතුම් ලැබෙන නිසා එය ඔහුට හිරිහැරයක් වී ඇති බව කියයි. කෙසේ හෝ නිවාඩුවක් ලද මොහොතේ බම්බලපිටිය ලෙයාඩ්ස් පාරේ පිහිටි නිවසට පැමිණෙන වෛද්‍යවරයා හා බිරිය වාද විවාදවල පැටලෙන්නේ පෙර කී ගැටලුව මුල් කොටගෙනය.
වසර 4ක පමණ කාලයක් වෛද්‍ය වෘත්තියේ නියැලෙන අදම්බාවා මොහොමඩ් ශිෂාන් අවුරුදු නිවාඩු කාල සීමාව පසුවන තෙක්ම ත්‍රිකුණාමලය මහ රෝහලේ රාජකාරි සිදුකළේය. ඒ අනුව අප්‍රේල් 25 වැනිදාට ආසන්න දිනෙක ඔහු නිවාඩු ලබා පැමිණියේය. ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳව වෛද්‍යවරයකු වන මොහු 33 හැවිරිදිය. 24 හැවිරිදි බිරියට දරුවන් නොසිටියද ඒ සඳහා ප්‍රතිකර්මයක් සිදුකරගෙන නැත. එවැනි පසුබිමක අප්‍රේල් 24 වැනිදා සවස නිවසේ සිටි වෛද්‍යවරයා තනිවම නිවසින් පිටතට ගොස් පැමිණ තිබුණි. ඔහු ආගිය තැනක් පිළිබඳව නිවැසියන්ට අවබෝධයක් නොවීය. එදින රාත්‍රියේදී සැලසුම් සහගතව පසුවූ වෛද්‍යවරයා පෙරදින ඔසුසලකින් මිලදී ගත් ඉන්සියුලීන් හා සිරින්ජරය සූදානමින් තබාගෙන සිට සුදුසු මොහොතක් බලා බිරියගේ ශරීරයට විද ඇතැයි කියති. ක්ෂණිකව සිදුකළ ක්‍රියාව හමුවේ බිරියට ක්‍රියාත්මක වීමට අවස්ථාව නොවීය. හදිස්සිය නිසාම සිරින්ජර් කටුව බිරියගේ අතක ගැටී තරමක සීරීමක් ඇතිවුවද වෛද්‍ය සැමියාට එහි වගක් නොවුණි.
එතැන් සිටම සිහිසුන් ගතියෙන් පසුවූ බිරියගේ සෙලවීමක් හෝ නොවූ බැවින් බිරිය මියගොස් ඇතැයි හෝ මියයනු ඇති බවට විශ්වාසයෙන් ඇයව රෝහල් ගතකිරීමට ඔහු තීරණය කර ඇත. ඒ අනුව බිරිය අසනීපයෙන් බව පවසා ඔහුගේ මස්සිනා වන බිරියගේ බාල සොයුරාට කතාකර ඔහු සමගින් බිරිය කළුබෝවිල රෝහල වෙත රුගෙන ගියේය. තම බිරිඳ පෙරදා නින්දට පෙර සුවයෙන් සිටි බවත් උදෑසන අවදි නොවී කතා නොකර සිටින බවත් සිරුරට පණ නැති බවක් පෙනෙන බවත් වෛද්‍ය කාර්ය මණඩලය හමුවේ ඔහු පවසා ඇත. වෛද්‍යවරුන් රෝගී කාන්තාව පරීක්ෂා කිරීමෙන් පසුව වහාම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබිණ. ඇයගේ රෝගී තත්ත්වය නිශ්චිතව හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ කිහිපයක් සිදුකළ අතර ඇයගේ සිරුරේ පොටෑසියම් වැඩිවී ඇති බව හඳුනාගෙන තිබිණ. සිරුරේ පොටෑසියම් වැඩිවන්නේ සීනි මට්ටම වැඩි රෝගීන්ගේ සීනි මට්ටම අඩු කිරීම සඳහා යොදාගන්නා ඖෂධ හේතුවෙනි. නමුත් මෙම කාන්තාව එවැනි රෝගී තත්ත්වයකින් පෙළුණු අයකු නොවීම නිසා වෛද්‍යවරුන්ට ගැටලුවක් මතුවී ඇත.
මේ අතර පැමිණි විශේෂඥ වෛද්‍යවරයකු ඇයව පරීක්ෂාවට ලක්කොට තිබිණි. එහිදී රෝගී කතගේ අතක වූ තුවාල පැල්ලමක් වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්ව ඇත. විශේෂඥ වෛද්‍යවරයා පවසා ඇත්තේ එම තුවාල කැළල එන්නත් කටුවකින් වූ සීරිමක් බවය. මේ කතාවට ඇහුම්කන් දී සිටි වෛද්‍ය බිරියගේ සොහොයුරා නිවසේ සිටි නැගණියට දුරකතන ඇමතුමක් ලබාදී කියා ඇත්තේ වහාම අක්කා සහ අයියා නිදන කාමරය පරීක්ෂා කරන ලෙසය. එහි විශේෂ යමක් හමු නොවූයෙන් නැවත උපදෙස් දී තිබුණේ මස්සිනාට අයත් ගමන් මල්ලද පරීක්ෂා කරන ලෙසය. එහිදී එම ගමන්මල්ල තුළ භාවිතා කරන ලද එන්නත් කටුවක් තිබී හමුවී ඇත. ඒ අතරතුර කාත්තන්කුඩි ප්‍රදේශයේ සිටින මව හා පියාට සොහොයුරියගේ අසනීප තත්ත්වය පවසා කොළඹට පැමිණෙන ලෙස දන්වා තිබේ.
මේ අතර බිරිය රෝහල් ගතකළ මොහොතේ වෛද්‍ය සැමියා පවසා තිබුණේ පෙරදිනයේ අලුයම 2 පමණ වනතෙක් තමා නින්දට නොගිය බවය. ඒ වනතෙක් බිරිය කතාබහ කරමින් සිටි බවද පසුදින උදේ 8ට පමණ තමා අවදි වූ අවස්ථාවේ බිරිය අසනීප තත්ත්වයෙන් පසුවූ බවය.
මේ කතාව නිසා දැඩි සැකයක් ඇතිවූ සහෝදරයාට මතකයට ආවේ මස්සිනා උදේ 8ට පෙර අවදි වූ බවකි. මේ නිසා රෝහලේ සිට නිවසට ගිය වහාම ඔහු ආරක්ෂක කැමරා නිරීක්ෂණය කොට ඇත. එහිදී උදේ 6.40ට පමණ මස්සිනා අවදි වී කාමරයෙන් පිටත තිබූ කසළ බඳුනට යමක් දමන බව හඳුනාගන ඇත. නමුත් කසළ බඳුන ඉවත්කර තිබූ නිසා ඉවත් කළේ කුමක්ද යන්න සොයාගැනීමට හැකිවී නැත.
මෙම කරුණු නිසා වෛද්‍ය බිරියගේ පියා විසින් බම්බලපිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණේ දියණියගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ඇයගේ සැමියා පිළිබඳ සැකයක් පවතින බව කියමිනි. ඒ බව තහවුරු කිරීම සඳහා සොයාගත් එන්නත් කටුව පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත. පොලීසිය විමර්ශන සිදුකරන අතරතුර වෛද්‍යවරයා සිය බිරියගේ පියා හමුවේ කියා ඇත්තේ තමා බිරිය සමඟ දිවිනසා ගැනීමට තීරණය කළ බවය. ඒ සඳහා සාකච්ඡා කරගෙන බිරියට ඉන්සියුලීන් අධි මාත්‍රාවක් එන්නත් කළ බවය. තමාද ඉන්සියුලීන් එන්නත් කර ගැනීමට සූදානම් වූ නමුත් ඇතිවූ බිය නිසා එය සිදු නොකළ බව පවසා ඇත
වෛද්‍ය බිරියගේ පියා විසින් සිදුකළ පැමිණිල්ල හමුවේ සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 30 වැනිදාය. පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ වෛද්‍යරවයා සැලසුම් සහගතව බිරිය රුවටීමට ලක්කොට ඇයව ඝාතනය කිරීමට උත්සාහ ගෙන ඇති බවය. ඒ අනුව ඉන්සියුලීන් අධි මාත්‍රාවකින් බිරියට එන්නත් කොට තිබෙන බවට පොලීසිය සැකකරයි.
දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කාන්තාවගේ පියා කාත්තන්කුඩි ප්‍රදේශයේ ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයෙකි. වෛද්‍යවරයාගේ පියා මියගොස් ඇති අතර මව හා බාල සොයුරන් දෙදෙනෙක් සිටිති. එම පවුලද ආර්ථික අතින් පොහොසත් බව කියයි. එවැනි වටපිටාවක බිරිය මරාදැමීමට තැත්කළ වෛද්‍යවරයාට අනියම් සබඳතාවක් ඇතිදැයි සැකයක්ද පවතී. සිද්ධිය පිළිබඳව බම්බලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
I සමන්ත ප්‍රදීප් විල්තෙර