2023 මැයි 14 වන ඉරිදා

රිළවු එළවන්න අලුතෙන් හැදූ යකඩ කට

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 72

වල් ඌරන්, මොණරුන්, අලින්, වඳුරන් සහ රිළවුන්ගෙන් මෙරට වගාවට සිදුවන හානිය සුළුපටු නොවේ. සතුන්ගෙන් සිදුවන බෝග හානිය සම්බන්ධයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර් යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය මගින් මෑත කාලයේ සිදුකළ පර්යේෂණයකින් අනාවරණ වී ඇත්තේ විවිධ සතුන් නිසා වාර්ෂිකව වගාවට සිදුවන හානිය 40%ක් පමණ වන බවටය.

කෘෂිකර්ම අමාත්‍යංශයට අනුව මෙරට කෘෂිකර්මයට වැඩිම හානියක් සිදුවන්නේ රිළවුන්ගෙන් වන අතර වයඹ පළාතේ මෙම හානිය විශාල බවද පෙන්වා දී තිබේ. ලංකාවේ රිළා ගහනය ලක්ෂ 30කට ආසන්න බවට අනුමාන කෙරේ. පසුගිය කාලයේ ලංකාවේ රිළවුන් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යාන වෙත ලබාදීමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා උත්සාහ කරන්නේද අධික රිළා ගහනය අවම කර ගැනීමේ අරමුණිනි. 

වෙනත් භෝගවලට මෙන්ම විශේෂයෙන් පොල් වගාවට වඳුරන් සහ රිළවුන්ගෙන් සිදුවන හානිය අති විශාලය. ජාතික පොල් පර් යේෂණ ආයතනය සඳහන් කරන පරිදි විවිධ දිස්ත්‍රික්කවල පොල් වගාවට වඳුරන් හා රිළවුන්ගෙන් 10%ක පමණ හානියක් සිදුවේ. වැඩිම හානිය කෑගල්ල දිස්ත්‍රික්කයට බව ඔවුන්ගේ අදහසයි. පොල් පර්යේෂණ ආයතනයේ ඉල්ලීම මත ඩුබායිහි විදුලි ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයකු විසින් පොල් වගාවට හානිකරන රිළවුන් හා වඳුරන් පළවා හැරීම සඳහා නව උපකරණයක් නිර්මාණය කොට ඇති අතර. මේ වනවිට එම උපකරණය යොදා ගනිමින් ලුණුවිල ජාතික පොල් පර්යේෂණ ආයතනය පර්යේෂණ කටයුතු ආරම්භ කර තිබේ.

එම උපකරණය සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ ලුණුවිල ජාතික පොල් පර්යේෂණ ආයතනයේ වගා සංරක්ෂණ අංශයේ අංශ ප්‍රධානි රොෂාන් ද සිල්වා මහතා මෙලෙස සඳහන් කළේය.

''අපි දැනට රිළවු පන්නන ඉලෙක්ට්‍රොනික උපකරණයක් නිෂ්පාදනය කර තිබෙනවා. එය තවමත් පර්  යේෂණ මට්ටමේ පවතින්නක්. ඒක අපි නිර්මාණය කළේ දැනට විදේශයක සිටින ශ්‍රී ලාංකිකයකු වන ඉංජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජීවකාන්තද සිල්වා මහතාගේ සහායෙනුයි. ඒ මහතා මීට පෙර අලි එළවීම සඳහා ඉලෙක්ට්‍රොනික උපකරණයක් නිෂ්පාදනය කර තිබුණා. රිළවුන් සහ වඳුරන් පොල් පළදාව විනාශ කරන බවට පොල් වගාකරුවන්ගෙන් අප වෙත නිතර පැමිණිලි ලැබෙනවා. ඒ නිසා පොල් වගාවට විශාල හානියක් කරන රිළවුන් පළවා හැරීම සඳහා එවැනි උපකරණයක් සකස් කර දෙන ලෙසට පොල් පර්  යේෂණ ආයතනය ඒ මහතාගෙන් ඉල්ලීමක් කළා. එම ඉල්ලීම අනුව ශ්‍රී ලංකාවට පැමිණි ඔහු පර්  යේෂණ කිරීම සඳහා මෙම උපකරණය නිර්මාණය කොට අපට ලබා දුන්නා.'' 

රිළවුන් සහ වඳුරන් පළවා හැරීම සඳහා පොල් පර්  යේෂණ ආයතනය රතිඤ්ඤා දැල්වීම, වායු රයිෆල් යොදාගෙන බියවැද්දීම, කැළෑ බද ඉඩම් අවට ඇති විශාල අතු වැට මායිමට ආසන්නයෙන් කප්පාදු කිරීම, මායිම වටා කටු සහිත ශාඛ, හණ වර්ග සිටුවීම වැනි  විවිධ නිර්දේශ ලබා දී තිබේ. එහෙත් ඇතැම් නිර්දේශ එතරම් සාර්ථක නොවූයේ ඇතැම් වගාකරුවන් එම නිර්දේශ අනුව කටයුතු නොකිරීම හා ඒ මොහොතේ බියපත්ව පළා ගියද යළි පැමිණ වගා විනාශ කිරීමට වඳුරන් සහ රිළවුන් කටයුතු කරන බැවිනි. එහෙයින් මෙම ක්‍රමවලට වඩා කාර්යක්ෂම ක්‍රමවේදයක් හඳුන්වාදීම පොල් පර් යේෂණ ආයතනයේ අරමුණ විය. මෙම ඉලෙක්ට්‍රොනික උපකරණය නිර්මාණය වූයේ ඒ අනුවය.

''මේ උපකරණ ශබ්ද විකාශන යන්ත්‍ර දෙකකින් සමන්විතයි විදුලියෙන් ක්‍රියාකරන ඉලෙක්ට්‍රොනික පරිපථය මගින් ශබ්දයක් නිකුත් කරනවා. එම ශබ්දය මිනිසුන්ට සාමාන්‍යයෙන් ඇසෙන ශබ්දයක්. එහෙත් එම ශබ්දය රිළවුන් හා වඳුරන් වැනි සතුන්නට දැරිය නොහැකි ශබ්දයක්. එම තරංග සංඛ්‍යාතය ඔවුන්ට හිරිහැරයක් වන අතර එය ඔවුන්ගේ කන්වල දෝංකාර දෙමින් කාලයක් පවතින බවත්, එම ශබ්දය ඇසුණු විට ඔවුන් එම ප්‍රදේශවලින් පළා යන බවත්  ඉංජිනේරුවරයා අපට සඳහන් කළා. තවම අප සතුව තිබෙන්නේ එක් උපකරණයක් පමණයි.  අප දැනට එය විවිධ ප්‍රදේශවල ස්ථාපනය කොට නියමු ව්‍යාපෘතියක් විදිහට පර්  යේෂණ කරමින් සිටිනවා. මේ වනවිට එම උපකරණය ක්‍රියාත්මක කළ ප්‍රදේශවලින් හොඳ ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී එම ඉංජිනේරු මහතා ලවා තවත් එවැනි උපකරණ කිහිපයක් නිෂ්පාදනය කර දිගු කාලයක් එක් ස්ථානයක තබා ප්‍රතිචාරය කෙබඳුදැයි සොයා බැලීමට කටයුතු කරනවා.'' යි රොෂාන් ද සිල්වා මහතා සඳහන් කළේය.

රිළවුන් පළවා හැරීමේ උපකරණය අවම වශයෙන් රුපියල් ලක්ෂයක් පමණ වනු ඇත.. එම උපකරණය යොදා ගනිමින් පර් යේෂණ කටයුතු පොල් පර් යේෂණ ආයතනය මගින් සිදු කළද එය නිෂ්පාදනය කිරීමට ඔවුනට නොහැකිය.  දැනට සිදුකරන පර් යේෂණවලින් මෙම උපකරණ රිළවුන් පාලනය සඳහා සුදුසු උපකරණයක් බවට නිර්දේශ කළ හැකි වුවහොත් එය තවදුරටත් කාර්යක්ෂම කොට ඒවා නිෂ්පාදනය කිරීමට කිසියම් බාහිර ආයතනයකට ලබාදීමටත් එමඟින් වගාකරුවන්ට මිලදී ගැනීමටත් හැකිවනු ඇතැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පොල් වගාව අක්කර දහස් ගණනක් පුරා පැතිර තිබේ. විශාල පොල් අක්කර ගණනක් හිමි වතු හිමියකු මෙවැනි උපකරණයක් උපයෝගි කරගන්නේ නම් ඔහුට ඒ සඳහා උපකරණ කිහිපයක් අවශ්‍ය නොවන්නේ දැයි අප විමසූ විට රොෂාන් ද සිල්වා මහතා පැවසුවේ. මෙම උපකරණය ජංගම උපකරණයක් වන බැවින් එක් පැත්තක සිටින වඳුරන් හා රිළවුන් පළවා හැරිය පසු එය වෙනත් පැත්තක සවි කළ හැකි හෙයින් උපකරණ කිහිපයක් අවශ්‍ය නොවන බවටය. එම උපකරණයෙන් නිකුත් කෙරෙන ශබ්ද තරංග කාලයක් එම සතුන්නේ කන්වල දෝංකාර දෙන බැවින් ඔවුන් කාලයක් යනතුරු එම ප්‍රදේශයට එන්නට බියවන බව සඳහන් කළ ඔහු එලෙස පළා යන සතුන් යළි පැමිණෙන්නේ  කොපමණ කාලයකින්ද යන්න පිළිබඳව මේ වන සොයා බලමින් සිටින බවටද ප්‍රකාශ කළේය.

♦ ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා