2023 මැයි 14 වන ඉරිදා

අල්ලා ගන්න කුඩු වනසන වැඩේ අල නොවෙන්න නම්....

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 111

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය යළිත් මත්ද්‍රව්‍ය වෙළෙඳුන් අතට පත්වීම පිළිබඳ කතා මෑත කාලීනව අපට නිතර අසන්නට ලැබිණි. ඒවා වළක්වා ගැනීම සඳහා විවිධ විසඳුම් ද යෝජනා විය. අද අප සංවාදයට බඳුන් කරන්නේ ද එවැනි යෝජනාවක් පිළිබඳවයි. 

“විෂ මත්ද්‍රව්‍ය ආඥා පනත යටතේ අපිට තිබුණු ලොකු ප්‍රශ්නයක්, අපි අත්අඩංගුවට ගන්න මත්ද්‍රව්‍ය නැවත වෙළෙඳපොළට යනවා. පොලිස් නාකොටික් එකේ නිලධාරීන් පවා අත්අඩංගුවට ගන්න සිද්ධ වුණා මෙවැනි වැරදි කරලා. අප අල්ලාගත්ත විෂ මත්ද්‍රව්‍ය යම් යම් ස්ථානවල රඳවා ගැනීමේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා නඩුවේ කරුණු සනාථ කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණය හඳුනාගෙන, මුද්‍රා තබා රඳවාගෙන ඉතිරිය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ නිසා පනතේ ප්‍රතිපාදන අනුව අපිට බලය ලැබිලා තියෙනවා විනාශ කිරීමේ ක්‍රමවේදයක් හදන්න".

මීට මාස කිහිපයකට ඉහතදී මෙම කතාව කීවේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාය. අධිකරණ කටයුතු අතර විෂ මත්ද්‍රව්‍ය අතුරුදන් වීම පිළිබඳ යම් විසඳුමක් ද ඔහු යෝජනා කළේය. 

කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය අතුරුදහන් වීමට බලපානු ලබන, අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය රඳවා තබාගැනීමේ ක්‍රියාවලියේ දුර්වලතාව පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති විශ්‍රාමික රේගු නිලධාරියකු අපට මුණගැසුණි. ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික රේගු අධ්‍යක්ෂකවරයකු  වන හෙතෙම නමින් රන්ජන් දන්තනාරායන ය.

මේ වන විටත් දන්තනාරායන මහතා අධිකරණ අමාත්‍යාංශ බලධාරීන් වෙත ලිඛිතවම මේ හා සම්බන්ධ යථා තතු පැහැදිලි කොට තිබේ. කෙසේ වෙතත් බලධාරීන් කොතෙක් දුරට මෙහි යථාර්ථය හඳුනාගෙන ඇතිදැයි යන්න සැකයකි. එම නිසාම දන්තනාරායන මහතාගේ පැහැදිලි කිරීම රට හමුවේ තැබීමට අපි තීරණය කළෙමු.

1869 සිට මෙරට ක්‍රියාත්මක වන රේගු ආඥා පනත මෙම සංවාදය විෂයෙහි අතිශය වැදගත්ය. පනතේ 12, 43 සහ 136 වගන්තිවල දක්වා ඇති විධිවිධාන අනුව මෙරටදී අත්අඩංගුවට ගනු ලබන සියලුම විෂ මත්ද්‍රව්‍ය සහ තහනම් භාණ්ඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමකින් තොරව විනාශ කිරීමේ බලය රේගුව වෙත ලැබී තිබේ. දන්තනාරායන මහතා පෙන්වා දෙන්නේ පනතේ 43 වැනි වගන්තිය ප්‍රකාරව රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත මෙම නෛතික බලය ලැබී ඇති බවයි. ඒ අනුව අත්අඩංගුවට ගන්නා නීතිවිරෝධී භාණ්ඩ රාජසන්තක කොට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කරන පරිදි විනාශ කළ යුතුය. එසේ නොමැති නම් නීති ප්‍රකාරව බැහැර කළ යුතුය.

තවද දන්තනාරායන මහතා රේගු ආඥා පනතට අනුව පැහැදිලි කරන්නේ, පනතේ 136 වගන්තියට අනුව අහිමි කිරීමට යටත් යම් භාණ්ඩ යම් පොලිස් නිලධාරියකු හෝ ග්‍රාම නිලධාරියකු විසින් නතර කරනු ලබන්නේ හෝ අත්අඩංගුවට ගනු ලබන්නේ නම් අත්අඩංගුවට ගනු ලබන ස්ථානයට ආසන්නයේ පිහිටි රේගු කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරියකු වෙත එම භාණ්ඩ සාධාරණ කාලයක් තුළදී භාරදිය යුතු බවයි. එසේ භාරදීමට කටයුතු නොකරන්නේ නම් එකී නිලධාරියා රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයකට යටත් වේ.

පනතේ මෙවන් විධිවිධාන සඳහන්ව ඇතිමුත් 1983 මාර්තු 10 වැනි දින රාජ්‍ය නිලධාරීන් 18 දෙනකු විසින් ගනු ලැබූ තීරණයක් හේතුවෙන් නිර්මාණය වී ඇත්තේ වියවුල් සහගත තත්ත්වයකි. කොළඹ නව ලේකම් කාර්යාලයේ තුන්වැනි මහලේ පවත්වන ලද "ජාතික මත්ද්‍රව්‍ය මණ්ඩල ලේකම් කාර්යාංශයේ" රුස්වීමකදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බව දන්තනාරායන මහතා සඳහන් කරයි. කටුනායකදී සහ තලෙයිමන්නාරමේදී අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට මෙම පිරිස එදා තීරණය කොට තිබේ.

මෙම යෝජනා ස්ථිරත්වයෙන් පසු වර්තමානයේ අප දකින ක්‍රියාවලිය නිර්මාණය වී ඇත. ඒ අනුව අදාළ තීරණයෙන් අනතුරුව රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත දැනුම් දිය යුතුය. ඒ අනුව රේගුවේ මූලික විමර්ශනවලින් අනතුරුව අදාළ මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් පොලිසිය වෙත භාරදීම සිදුවේ. පොලිස් විමර්ශනවලින් පසුව සිදුවන්නේ අදාළ සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමයි. ඒ අනුව අවශ්‍ය වුවහොත් පමණක් අදාළ අත්අඩංගුවට ගැනීම සිදු කළ රේගු නිලධාරීහු සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය වෙත කැඳවනු ලබති. අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ මත්ද්‍රව්‍ය අධිකරණ කටයුතු අවසන් වනතුරු අධිකරණය භාරයේ තබාගැනීම සිදුවේ.

අප ආරම්භයේ උපුටා දැක්වූ පරිදි විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා පවසන මෙලෙස රඳවා තබාගන්නා මත්ද්‍රව්‍ය මාරු කිරීම හෝ අතුරුදන් වීම සිදුවන්නේ මෙම කාලය තුළයි. පසුගිය සමයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පවා මත්ද්‍රව්‍ය අතුරුදන් කිරීම් සිදු කළ බවට වාර්තා විය. ඒ අතර අසන්නට ලැබුණු ඇතැම් පුවත් අනුව හෙරොයින් පරීක්ෂණ අතරතුරදී පාන් පිටි බවට පරිවර්තනය වී තිබුණි.

මෙවන් වටපිටාවක් තුළ දන්තනාරායන මහතා පැහැදිලි කරන්නේ රේගු ආඥා පනත අතික්‍රමණය කරමින් 1983 දී නිලධාරීන් 18 දෙනකු විසින් ගත් තීරණය වර්තමානයේ පාරාවළල්ලක් වී ඇති බවයි. ඒ අතර මෙවන් සාකච්ඡාවකින් පනතක් අතික්‍රමණය කිරීමේ හැකියාව ද ඒ මහතා ප්‍රශ්න කර සිටියි. ඊට අදාළ සියලු තොරතුරු සහ දත්ත සහිතව අධිකරණ අමාත්‍යාංශය සහ අදාළ බලධාරීන් වෙත තොරතුරු වාර්තා කිරීමට විශ්‍රාමික රේගු අධ්‍යක්ෂ දන්තනාරායන මහතා කටයුතු කර ඇත්තේ එබැවිනි.

රේගු ආඥා පනතට අනුව රේගුවට, අමතරව පොලිසිය වෙනත් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ වගකීම රේගුවට පැවරෙන්නේ නම් මෙම බොහෝ දූෂණ අවම කිරීමේ හැකියාවක් පවතී. මේ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරන විට මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පොලිස්පතිවරයාට බලයක් නොවීම ද ගැටලුවක් වී ඇති බව සඳහන් කළ යුතුය. පොලිසිය වෙත එම බලතල නොවීම හරහා සියලු මත්ද්‍රව්‍ය අධිකරණය වෙත ඉදිරිපත් කොට, ඒවා විනාශ කිරීම සඳහා දීර්ඝකාලීන ක්‍රියාවලියකට අවතීර්ණ වීමට සිදුව ඇත.

අධිකරණ අමාත්‍යවරයා පසුගියදා යෝජනා කළේ අදාළ පොලිසිය මැදිහත්වීම් මත විෂ මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලියකි. කෙසේ වුවත් දන්තනාරායන මහතා පෙන්වා දෙන්නේ දැනටමත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ හැකියාව නෛතිකවම රේගුව වෙත ඇති බවයි. ආරක්ෂිතව සහ විනිවිදභාවයකින් රේගුවට මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාර්යභාරය පැවරීම වඩාත් උචිත බව ඒ මහතා යෝජනා කර සිටියි. රේගු අධ්‍යක්ෂවරයාට පැවරී ඇති බලතල අනුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය මත්ද්‍රව්‍ය නියැදි තබාගනිමින්, ඉතිරි සියල්ල විනාශ කර දැමීම වඩාත් සාධනීය බව පෙනී යයි.

ඒ අනුව දන්තනාරායන මහතා සඳහන් කරන්නේ විෂමතාවය දුරු කරනු පිණිස 1869 සිට ක්‍රියාත්මක රේගු ආඥා පනතේ පනතේ 12, 43,136 වගන්ති සංශෝධනය විය යුතු බවයි. නැත්නම් දැනට ක්‍රියාත්මක වන, 1983 මාර්තු 10 දින රාජ්‍ය නිලධාරීන් 18 දෙනා ගත් තීරණය අහෝසි කල යුතුය.

I චමිඳු නිසල් ද සිල්වා