2023 මැයි 14 වන ඉරිදා

මඩකලපුවේ සිංහල ඉස්කෝලේ

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 319

“අඩා මාත්තියා, උඹ කොහෙ?'' 

''මම ගම්පහ පදිංචිය. අම්පාරෙ ඉඳලා ආවෙ. මේ ඉස්කෝලෙට මාරුවක් ලැබිලා.  ආවෙ තමුන්ගෙ දරුවන්ට උගන්වන්න.''

''මාත්තියා, අපි උඹලට දෙයියන්ට වගේ සලකනවා. මේ දරුවන්ගේ නේත්‍තරා පාදලා දීහං. අපි උඹව බලාගන්නවා.”

අපේ සමස්ත කතාවම ඉහත සංවාදයේ ගැබ් වී තිබේ. 1977 දී ගුරු ජීවිතයේ දඬුවම් මාරුවක් ලබා මඩකලපුවට ගොස් ඇරඹූ මඩකලපුව සිප්පිමඩුව සිංහල මහා විද්‍යාලයේ මුල් විදුහල්පතිවරයා වූ සීලරතන සෙනරත් ලැබූ අත්දැකීම් පිළිබඳ අශෝක පියරත්න “අඩා මහත්තයා” නමැති කෘතියේ 23 වැනි පිටුවේ එසේ දක්වා තිබේ. එදා විදුහල්පති වූ සීලරතන සෙනරත් අද ගුවන්විදුලි ජ්‍යෙෂ්ඨ නිවේදකයෙකි. 

නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙමළ ගම්මාන රැසකට මැදි වූ කුඩා සිංහල ගම්මාන කිහිපයකි. ගම්මානවල ඉතිහාසය සොයා බැලීමේදී 1848 කැරුල්ලෙන් පසුබෑ මිනිස්සු පිරිසක් ඉතිරි වී සිටිති. පැරුන්නන් ඔවුන් හැඳින්වූයේ බයි මිනිසුන් කියාය. හෙළ බසින් පැවසුවහොත් සැබෑ බයියන් සිට ඇත්තේ මඩකලපුවේය. එවන් පිරිස් කාලයත් සමඟ ජනාවාස සාදාගෙන ජීවත් වූහ. ඔවුහු නුග වෘක්ෂයකට පහන් පත්තු කරමින් පාෂාණයකට පුද සත්කාර කරමින් පුල්ලෙයාර් දෙයියන් අදහති. 

විවාහ සහතික නැතිව දිවි ගෙවූ පවුල්වල, උප්පැන්න නැතිව ලොකු මහත් වූ දරු පිරිසකට ආයෙත් හෝඩියේ පටන් අයන්න ආයන්න අකුරු කරන්නට වූ අතීතය මඩකලපුව සිප්පිමඩුව විද්‍යාලයේ මුල් ගුරුතුමා සිහිපත් කරන්නේ හරි ආදරයෙනි. දඬුවම් මාරුවට දරුවන්ගෙන් පළි නොගෙන මඩකලපුවේ සිංහල දරුවන්ට පාසලක් ඇරඹූ මුල් ගුරුවරයා ඔහුය. තිස් වසරක යුද්ධයේ කළු දුමාරයේ දැලි බැඳුණු මඩකලපුවේ ගම්මාන ත්‍රස්තවාදීන්ගේ අණසකට යටත් වෙද්දී ගම්මු ගම්බිම් අතහැර ගියහ. වෙඩි පහරින් පණ නළ රැකගන්න දරුමල්ලන් රැගෙන ගම්බිම් අතහැර යද්දී මඩකලපුව සිංහල මහා විද්‍යාලය, කල්කුඩා සීලාලංකාර සිංහල මහා විද්‍යාලය, සිප්පිමඩුව සිංහල මහා විද්‍යාලය ඇතුළු විද්‍යාල කාත් කවුරුත් නොමැතිව තනි විය. 

තමන්ගේ මවුබස තම දරුවාට උගන්වන්නට පාසලක් නොමැතිව දුක් විඳි මවුපියන්  අපේ රටේ සිටියා යැයි කිසිවෙක් විශ්වාස නොකරති. සෑම වසරකම විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු පත්‍රිකාවේ දිස්ත්‍රික්ක 4 ක සිංහල මාධ්‍ය තීරුව හිස් ඉරක් පමණක් තිබෙනවා ඔබ නොදකිනවා ඇති. යාපනය, කිළිනොච්චිය, මන්නාරම සහ මඩකලපුව එම ඉරක් වූ දිස්ත්‍රික්ක වෙයි. එම දිස්ත්‍රික්කවල සිංහල දරුවන් නොමැති නිසා එම තීරුව ඉරක් වී ඇතැයි ඔබට සිතේ. එහෙත් සත්‍ය නම් මෙයට වඩා බොහෝ වෙනස්ය. යුද්ධයෙන් අවතැන් වූ සිංහල ගම්මානවලට නැවත පදිංචි කිරීම්වලදී යළි සිංහල ජනතාව පැමිණියද ඔවුන්ගේ දරුවන්ට සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීමට පාසලක් නොමැතිවීම බරපතළ ප්‍රශ්නයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එවන් මවුපිය හදගැස්මට ජීවය දෙමින් මඩකලපුවට සිංහල මහා විද්‍යාලයක් ඇරුඹීම නම් මල්වට්ටියට අත ගැසූ සැමට මෙය සාංසාරික මහා පුණ්‍ය කර්මයක් වන්නේ එහෙයිනි.  

වසර 33 කට ආසන්න කාලයක් අතහැර දමා තිබූ මඩකලපුව සිංහල මහා විද්‍යාලයේ කළු දුමාරය පහව ගොස් රම්‍ය උදෑසනක් පහළ වී ඇත්තේය. 

යුද්ධය අවසන් වූ පසු ගම්බිම් අතහැර ගිය ගම්මුන් යළි ගම්බිම්වලට පැමිණියද ඒ වනවිට මඩකලපුව දිස්ත්‍රික්කයටම එකදු සිංහල පාසලක් තිබී නැත. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් පවසන්නේ ඔවුන්ගේ දරුවන් සිංහලෙන් අකුරු කරන්නට යවන්නට සිදුවූයේ බිබිල, මොණරාගල, අම්පාර ආදී ප්‍රදේශවල පාසල්වලට බවයි. පනහ දශකයේ පමණ මඩකලපුවේ 11% ක් පමණ සිටි සිංහල ජනගහනයට අනූව දශකයේදී පටන් උපන් ගමට සමුදෙන්නට වූයේ රුදුරු ත්‍රස්තවාදය හේතුවෙනි. ඒ වන විටත් නගර සභා සීමාවේ පමණක් සිංහල ජනගහනය 25000 ක් පමණ සිටි බව කියති.  

මඩකලපුවේ ගම්මාන අතර කෙවිලියාමඩුව, සින්නවත්ත, සිප්පිමඩුව ආදී සිංහල ගම්මාන 8 ක් පමණ පිහිටා තිබේ. එයිනුත් සිංහල ගම්මාන 4 ක් පමණ පිහිටා ඇත්තේ මුහුදු සීමාව අයිනේය. සිංහල පාසල් 13ක් පමණ තිබී ඇත. එමෙන්ම දෙමළ පාසල්වල සිංහල මාධ්‍ය පන්ති කාමරද තිබී ඇත්තේය. යුද්ධයෙන් පසු කාලයේ සිංහල පාසල් නොමැතිවීමත්, දමිළ පාසල්වල සිංහල පන්ති නොමැතිවීමත් නිසා සිංහල දරුවන්ට පිට පළාත්වල පාසල් සොයා යාමට සිදුවිය. මෙම මුහුදු සීමාවේ සිටි සිංහල පවුල්වල දරුවන්ට සිංහල පාසලක් සොයාගන්නට නම් එම ගම්මානවලට කිලෝමීටර 50ක් 80ක් පමණ දුර තිබූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කඩවත්මඩුව, වැලිකන්ද මහින්දාගම ආදී ප්‍රදේශවලට සහ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ආදී ප්‍රදේශවල සිංහල පාසල් සොයා යාමට සිදුවිය. මඩකලපුව වැනි ප්‍රදේශයක සිංහල පාසලක් ගොඩනැගීමට උත්සාහ දැරුවත් ගුරුවරුන් මෙම ප්‍රදේශවලට නොපැමිණීමත් විය සිදුරෙන් අහස දකින්නා සේ පැමිණෙන ගුරුවරයාද ටික කලකින් මාරුවක් හදාගෙන පිටවී යාමෙන් දරුවන්ගේ අනාගතය මහත් අභියෝගයකට ලක් විය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය හිස එසවූ වකවානුවේ සේරුවාවිලට පත්වීම් ලබා ගිය පොලිසියේ ලොකු මහත්තයෙක් තමන්ගේ රාජකාරිය කරන අතරේ ගුරුවරුන් නොමැතිව දුක් විඳි  නීලපොළ, දෙහිඅත්ත, මහින්දපුර සහ මහවැලිගම යන මායිම් ගම්මානවල පාසල්වල සිසුන්ට ගණිතය විෂය නොමිලයේ ඉගැන්වූයේය. ඔහු නමින් සංජීව ධර්මරත්නය. එදා සහකාර පොලිස් අධිකාරි වූ ඔහු අද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නය.

1990 සිට යුද වාතාවරණය හේතුවෙන් හමුදා කඳවුරක් ලෙස පැවතුණු මෙම ඉඩමෙන් පාසල් ගොඩනැගිලි දෙකක් ආරක්ෂක ලේකම් මාර්ගයෙන් වෙන් කරවාගෙන සිංහල මහා විද්‍යාලය ආරම්භ කිරීමට නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ගත් උත්සාහය මල්ඵල දැරීය. අතීත මතකය අලුත් කරමින් වසර 33කට ආසන්න කාලයක් වසා දමා තිබූ මඩකලපුව සිංහල මහා විද්‍යාලය යළි සිසුන් අතට පත් කරවීමේ මහා පුණ්‍ය කර්මය ඉකුත්දා සිදුවිය. 

සිංහල පාසලක් ලෙසට යළි නිමවීමේ කාර්යය සිදුවූයේ මඩකලපුවේ දමිළ නිලධාරීන්ගේ දහදිය මහන්සියෙනි. 

2015 දී මඩකලපුව ශික්ෂණ රෝහලට පටක ව්‍යාධිවේධය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් පත්වීම් ලබා යන්නේය. රෝගීන්ගෙන් ඉවත් කරන ශරීර කොටස් ඔහුට රාජකාරිමය පරීක්ෂණ සඳහා ලැබෙයි. එම ශරීර කොටස්වල ස්ත්‍රී පුරුෂ භේදය හැර ඉන් එහා ගිය ජාතිකත්වයක් හෝ වර්ග භේදයක් නොසලකනුයේ මේ මිහිපිට වෙසෙන සියලුම දෙනාගේ ශරීර අංග එක හා සමාන වීමෙනි. මඩකලපුව ප්‍රදේශයේ රෝහල් රාජකාරි ජීවිතයේදී ඔහුට දැනුණේ සිංහල ජනතාව වාසය කිරීම අඩු බවකි. කල්කුඩා සිරි සීලාලංකාර සිංහල මහා විද්‍යාලය බිහිකරලීමේලාත් සිංහල ගම්මානවල අධ්‍යාපනය අතහැර සිටි දරුවන් යළි අධ්‍යාපනයට යොමුකරවීමේලා ඔහු සුවිශේෂී චරිතයක් වන්නේය. ඔහු නමින් විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුවය. 

මඩකලපුවේ සිංහල දරුවන්ට සිය මව් භාෂාවෙන් ඉගෙන ගැනීමට ඇති අයිතිය තහවුරු කරමින් ත්‍රෛභාෂා පාසලක් ලෙස මඩකලපුව සිංහල මහා විද්‍යාලය යළි ඇරඹුණේ “අ යනු ආ යනු කියමු ආයෙත්” යන තේමාවෙනි. 

පාසලක් වැසෙනවා කියන්නේ හිරගෙවල් දහසක් ඇරෙන්නටත්, පාසලක් ඇරෙනවා කියන්නේ හිරගෙවල් දහසක් වැසෙන්නටත් හේතුවක් බවට කියමනක් ඇත්තේය. මඩකලපුව සිංහල මහා විද්‍යාලයට නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය යළි පණ දුන්නේ සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සමන්විත පාසලක් ලෙසය. එයත් මඩකලපුවේ දරුවන්ට ලැබුණු වටිනා දායාදයකි. 

♦ සසංක චලන ගිම්හාන
ඡායාරූප අන්තර්ජාලයෙනි.