රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීම සඳහා රජය විවිධ ප්‍රයත්න දරන බවට නිතිපතා වාර්තා පළ වේ. එහෙත් ජනතාවගේ එදිනෙදා ජීවත්වීම සඳහා පාවිච්චියට ගන්නා ආහාර ද්‍රව්‍ය ඇතුළු බොහෝ දේවල මිල දිගටම වැඩිවනවා මිස අඩුවන බවක් දක්නට නැත. ජනතාව භාණ්ඩවල සැබෑ මිල දන්නේ වෙළෙඳපොළට ගිය විටය. එවිට සිදුවන්නේ මිලදී ගැනීමට ගිය භාණ්ඩ ප්‍රමාණය අඩුකර අතේ තිබෙන මුදලට ලබා ගැනීමටය. එසේ නැතිව මිලට නොගෙන පැමිණියහොත් ඔවුන්ට සිදුවන්නේ කුසගින්නේ සිටීමටය. වෙළෙන්දා කියන මිලට ගන්නවා විනා තර්ක කරන්නට දෙයක් ඉතිරි වී නැත.
බලධරයන් ප්‍රකාශ කරනුයේ මිල පහළ හෙළීම සඳහා තමන් විවිධ ක්‍රියාමාර්ග ගන්නා බවය. බදු හා ගාස්තු පහළ දැමීම, භාණ්ඩ සුලබ කිරීම, වෙළෙඳපොළේ මිල පිළිබඳ තරඟකාරීත්වයක් ඇති කිරීම හා අතරමැදියන් ඉවත් කිරීම ආදී විවිධ ක්‍රියාමාර්ග ගන්නා බව ඔවුහු නිරතුරුව ප්‍රකාශ කරති. ප්‍රචාරය කරති. එහෙත් සත්‍ය වෙළෙඳපොළේ සිදුවන්නේ එහි අනෙක් පැත්තය. එනම් මිල ඉහළ යාමය.
මිල යාන්ත්‍රණය පිළිබඳ රජය දක්වන මැදිහත්වීම්වලින් යහපත් ප්‍රතිඵලයක් ලැබී නැත. බොහෝ විට තීරු බදු, ආනයන බදු පහත හෙලුවද එයින් මිල අඩුවීමක් සිදු නොවේ. එයට හොඳම උදාහරණය පසුගියදා රුපියල් පනහක්ව පැවැති සීනි ආනයන බද්ද ශත 25 දක්වා අඩු කිරීමය. එහිදී වෙළෙඳ පොළේ සීනි මිල අඩු නොවූ අතර අතරමැදියාගේ කරල පැහුණේය. ප්‍රබල ව්‍යාපාරිකයන් දෙතුන් දෙනෙකුට ශත 25 බද්ද ගෙවා මහා පරිමාණ ලෙස සීනි ආනයනය කර වෙළෙඳ පොළේ පැරුණි මිලට විකුණා රුපියල් බිලියන ගණන් ලාභ ඉපැයීමට හැකි විය. අර්තාපල්, ලූනු ආදියේ ආනයන බදු වැඩි කරන්නේ ගොවියාට සහන සැලසීමට යැයි පවසමිනි. මෙහිදී ගොවියාට සිදුවන සහනයක් නොමැති අතර සිද්ධවෙන එකම දෙය නම් ඒවායේ මිල ඉහළ යාම පමණි. බොහෝ භාණ්ඩවල බදු වෙනස් කිරීමෙන් පාරිභෝගිකයාට යහපතක් සිදු නොවන බව මෙතෙක් සිදුව ඇති විපාකවලින් පෙනේ.
පසුගිය සතියේ සහල්, සීනි, පිටි, පරිප්පු, අල, ලූනු ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රුසක මිල හිටිඅඩියේ සෑහෙන ප්‍රමාණයකින් ඉහළ ගියේය. අමෙරිකානු ඩොලරය හමුවේ අපේ රුපියල ශක්තිමත් වීම නිසා ආනයන ද්‍රව්‍යවල මිල පහළ යන බවට වගකිව යුත්තන් පුන පුනා ප්‍රකාශ කරද්දී සිදුවූ මෙම මිල වැඩිවීම ජනතාව පුදුමයට පත් කරන්නක් විය. සමහරුන් පැවසුවේ මහා පරිමාණ තොග වෙළෙඳුන් කිහිපදෙනා හා රජයේ සමහරුන් අතර ඇතිව ඇති අවිධිමත් සම්බන්ධතාවල ප්‍රතිඵලයක් ලෙසට මිල ඉහළ දැමීමට ඉඩදී ඇති බවය. මේ අවස්ථාවේදීද වගකිව යුත්තන් විවිධ හේතු ඉදිරිපත් කරමින් වගකීමෙන් ලිස්සා යාමට පටන්ගෙන ඇත.
මේ වනවිට තිරිඟු පිටි තොග මිල රුපියල් 10කින් පමණද, සීනි කිලෝවක මිල රුපියල් 25කින්ද කීරි සම්බා මිල රුපියල් 20 පමණද ඉහළ ගොස් ඇත. මේ හැර පසුගිය දිනවල මිල පහළ යවන බවට පුරසාරම් දෙඩූ අර්තාපල්, ලූනු ආදියේ සිල්ලර මිල කිලෝව රුපියල් 20 පමණ ඉහළ ගොස් තිබේ. පසුගිය අවුරුදු සමයේ කිලෝව රුපියල් 1200-1300 දක්වා ඉහළ දැමූ කුකුළු මස් මිල වහාම පහත හෙලන බවට වගකිවයුත්තන් පුරසාරම් දෙඩුවද දැන් වෙසක් මාසයද පසුකර ඇතත් මිල අඩු වී නොමැත. බිත්තර මිල බැස්සීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන බව පැවසුවද වෙළෙඳපොළේ බිත්තර මිල සතයක්වත් අඩු වී නැත. බිත්තර බරට අලෙවි කිරීමේ ඊනියා මූඩ ක්‍රියාවක් හඳුන්වා දීම නිසා බිත්තරයක් රුපියල් 60ට අලෙවි කිරීමට වෙළෙඳුන්ට පොට පෑදී ඇත. කිරිපිටි මිල අඩු කළද තවමත් වෙළෙඳපොළේ අඩුකළ මිලට කිරිපිටි නැත. පාන් මිල රුපියල් පහකින් පමණ අඩු වී තිබුණද යළිත් වරක් තිරිඟු පිටි කිලෝව රුපියල් 240 දක්වා ඉහළ ගොස් ඇති නිසා පාන් ඇතුළු කෙටි කෑමවල මිල යළිත් ඉහළ යාම වැළැක්විය නොහැකිය. ආපන ශාලාවල බත් පැකැට්ටුවක මිල රුපියල් 25 පමණ අඩුකරන බව ප්‍රකාශ වුවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල නැවත ඉහළ නැංවීම නිසා යළිත් ආපනශාලා ආහාර මිල වැඩිවෙමින් පවතී.
අපේ රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට කිසි දිනෙක ස්ථාවර මිලක් නැත. අද එක මිලකි. හෙට තවත් මිලකි. මිල දර්ශන පුවරුවල නිතර මිල වෙනස් කිරීමට සිදුවීම නිසා මිල ප්‍රදර්ශනය කළ නොහැකි බව වෙළෙන්දෝ කියති. ඒ නිසා නියම මිල දැනගැනීමට පාරිභෝගිකයාට නොහැකිය. සෑම භාණ්ඩයකටම පාලන මිලක් දමා ගැසට් ගැසීමට රජයට නොහැකිය. රජය මෙතෙක් නිකුත් කළ ගැසට් කිහිපයක් කෙටි කාලයකින් ''රිවර්ස්'' කිරීමට සිදුවිය. ඒ නිසා ගැසට් ගැසීම විහිළුවක් බවට පත්ව ඇති අතර වෙළෙන්දෝ ඒවා ගණන් නොගනිති. තොග වෙළෙඳුන් පවසන්නේ විවිධ හේතු නිසා නිෂ්පාදනවල මිල නිතර වෙනස්වන බවයි. ඒ අනුව තොග මිලද අනතුරුව සිල්ලර මිලද වෙනස් වෙයි.
ඩොලරයට සාපේක්ෂව රුපියල දුර්වල වීම නිසා පසුගිය සමයේ ආනයන භාණ්ඩවල මිල නහුතෙට නැංගේය. ආනයන මිල ඉහළ ගියවිට එයට සාපේක්ෂව දේශීය මිලද කිසිදු හේතුවක් නොමැතිව ඉහළ යයි. එසේම නිෂ්පාදන හා ආනයන භාණ්ඩවල ප්‍රමිතියද දුර්වල වී බාල භාණ්ඩ වෙළෙඳපොළට එයි. අද ඇතිවෙමින් පවතින්නේ ඒ තත්ත්වයයි. බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීමට ඒවා ආනයනය කළද මිල තවත් වැඩිවීම මිස පහළ යාමක් දක්නට නොවීය. අත්‍යවශය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළයාම පිළිබඳ පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වූ අතර එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ මිල වැඩිවීමට කිසිදු හේතුවක් නොමැති බවය. එහෙත් වැඩි වූ මිල බැස්සීම ගැන කතා කළේ නැත.
''ආනයනික තිරිඟු පිටිවලට අලුත් බද්දක් ගැහුවා. ඒත් ඒ නිසා මිල ඉහළ යන්න කිසිදු හේතුවක් නැහැ. කලින් තිබුණු බදු මුදලම නැවත බලාත්මක කළා මිස අලුතින් බදු වැඩිවුණේ නැහැ. මෙහිදී සිදුවූයේ මිල ඉහළ යනවිට දුන් සහනය ඉවත් කරලා සාමාන්‍යකරණය කිරීම පමණයි. රුපියල ශක්තිමත්වීම නිසා මෙයට පෙර ඩොලරයට ගෙවූ රුපියල් 360ක මුදල දැන් රුපියල් 320 දක්වා අඩුවෙලා තියෙනවා. ලෝක වෙළෙඳපොළේ 2022 ඔක්තෝබර් මාසය වනවිට පිටි මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 438.15ක් ගෙව්වත් මේ වසරේ මාර්තු වනවිට ඩොලර් 370ක් දක්වා අඩුවෙලා තිබෙනවා. මෙය සියයට 15.5ක අඩුවීමක්. එක පැත්තකින් ඩොලරයේ අගය අඩුවුණා. අනිත් පැත්තෙන් ලෝක වෙළෙඳ පොළේ පිටි මිල අඩුවුණා. දේශීය ගොවියා ආරක්ෂා කිරීමට තමා බදු වැඩිකරලා තිබුණු මිලට ගෙනාවේ. ඒ නිසා මිල ඉහළ යාමට කිසිදු හේතුවක් නැහැ.''
සීනිවලට අලුත් බදු නොගැසූ අතර මිල වැඩිවීම පිළිබඳ වෙළෙඳ හා ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවෙන් වහාම වාර්තාවක් කැඳවා ඇති අතර ඒ අනුව ඉදිරි පියවර ගන්නා බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සංවිධායක සහ සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසන්නේ මෙලෙස මිල වැඩිවීමට ප්‍රධාන හේතුවක් වනුයේ වගකිවයුත්තන් කිසිදු නියාමනයක් නොකිරීම බවය.
''තිරිඟු පිටිවලට බද්දක් ගැහුවාය, සීනිවලට බද්දක් ගැහුවාය ආදී වශයෙන් බද්ද ප්‍රකාශයට පත්කළ මොහොතේ සිටම මිල වැඩිකරනවා. මේ ප්‍රයෝගය නිසා බද්දට පෙර අඩු මිලට ගෙනා දේවල්වලට බද්දද එකතු කිරීමට හැකිවෙනවා. වගකිවයුත්තන් සොයා බලන්න ඕනෑ බදු ප්‍රකාශයට පත් කරන විට තිබූ තොග ප්‍රමාණය කොපමණද කියලා. පාරිභෝගික කටයුතු අධිකාරිය තමයි මෙයට මැදිහත් වෙලා රාජකාරිය කළ යුත්තේ. ඒ අය කියනවා නම් සෑම ගබඩාවක්ම පරීක්ෂා කිරීම ඒ අයට දුෂ්කරය කියලා ආනයන පාලකගෙන් ගෙනා බඩුවල ලේඛන අරගෙන ඒවා තියෙන තැන් සොයාගන්න පුළුවන්. එහෙම සොයාගෙන අත ඇති තොග ප්‍රමාණය හරියට දැනගෙන මිල වැඩිකිරීමට ඉඩදිය යුත්තේ අලුතෙන් බද්දට යටත් කර ගෙන්වන දේවල් පමණයි.
මෙම පරීක්ෂණ කටයුතු අඩාලවීමට හේතුව ඒ ඒ දෙපාර්තමේන්තු ආයතන අතර සම්බන්ධයක් නැතිකමයි. සෑමදෙනාම උත්සාහ කරනුයේ තමන්ගේ ඇඟ බේරා ගැනීමට පමණයි. මෙම තත්ත්වය වෙනස් නොකළහොත් අසරණ පාරිභෝගිකයා හැමදාම හිරිහැරයට ලක්වෙනවා.
''ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කරලා තියෙනවා ආහාර ද්‍රව්‍ය මිල වැඩිවූවාට බත් සහ ආපනශාලාවල ආහාර මිල වැඩි නොකරන්න. අපි පැරණි මිලටම අලෙවි කරනවා. එහෙත් තවදුරටත් මිල ඉහළ ගියහොත් අපට හැමදාම මේ ප්‍රතිපත්තියේ සිටින්න බැහැ. ඒ නිසා වගකිවයුත්තන් වහාම මෙලෙස වැඩිකරන මිල පහළ දැමීමට පියවර ගත යුතුයි. එහෙම නැතිව අපට අයිති නැති යැයි එකිනෙකාට බෝලය පාස්කර ඇඟ බේරාගන්න කටයුතු කළ යුතු නැහැ.''
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන:
''ඉන්දියාවෙන් ආනයනය කරන තිරිඟු පිටි මිල ඉහළ ගියද කිසිදු බේකරි නිෂ්පාදනයක මිල ඉහළ යවන්නේ නැහැ. මිල සුළු වශයෙන් හෝ ඉහළ ගොස් ඇත්තේ ආනයනික තිරිඟු පිටි පමණයි. මෙරට ව්‍යාපාර කරන තිරිඟු පිටි සමාගම්වල නිෂ්පාදන මිල ඉහළ යාමක් සිදුවී නැහැ. බේකරි නිෂ්පාදනවලට සියයට 75ක් පමණ පාවිච්චි කරන්නේ ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන මෙරට නිෂ්පාදන සමාගම්වලිනුයි. ඒ නිසා මිල ඉහළ දැමීමට අපට විශේෂ හේතුවක් නැහැ.
තිරිඟු පිටි සහ සීනි මිල ඉහළ දැමීමට තොග වෙළඳුන් කටයුතු කළද, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නිෂ්පාදනය කරන කිසිදු රසකැවිල්ලක හෝ බයිට් ආදියේ මිල ඉහළ නොදමන බව සමස්ත ලංකා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර කියයි. රුපියල ශක්තිමත් වීමෙන් ඩොලරයට ගෙවිය යුතු රුපියල් මිල අඩුව තිබියදී ආනයන ද්‍රව්‍යවල මිල ඉහළයාම විශාල ගැටලුවක්. ඒ පිළිබඳ රජය සොයාබලා නිසි පියවර ගත යුතු වෙනවා.''
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න:
අපේ සංගමයට අනුබද්ධ ව්‍යාපාරිකයන් කිසිවෙක් ආනයන ද්‍රව්‍යවල මිල ඉහළ දමා නැහැ. ලෝක වෙළෙඳ පොළේ තිරිඟු පිටි මිල පහළ ගොස් ඇති නිසා මෙරට බදු වැඩිකළද, මිල වැඩි කරන්නේ නැහැ. එයින් අපට හානියක් නොවෙයි. අනිත් අතට රජය සහන සලසා අඩුකර තිබූ කිලෝවකට රුපියල් 3ක් වූ ආනයන බද්ද යළි පැනවූවා මිස අලුතින් බද්දක් වැඩිකළේ නැහැ. ඒ නිසා මිල ඉහළ යාමක් සිදුවන්න හේතුවක් නැහැ.
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා නැව්වලට ගෙවිය යුතු THC (Terminal Handling Charges) ගාස්තුව මෙරට ආනයනකරුවන් ගෙවිය යුතු බවට පසුගියදා නියෝගයක් පැනවීම නිසා ආනයන ද්‍රව්‍යවල මිල ඉහළ යාමේ අනතුරක් උද්ගත වෙලා තිබුණා. එහෙත් ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවකින් පසු එම නියමය අත්හිටුවීමට කටයුතු කිරීම නිසා එම මිල වැඩිවීම සිදුකිරීමට අවශ්‍ය වුණේ නැහැ. එය විශාල සහනයක් වුණා.''
පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියකු පැවසුවේ දැනට සිදුවෙමින් පවතින බවට මාධ්‍ය මගින් එළිදරව් කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම පිළිබඳව අධිකාරිය විමසුමෙන් සිටින බවය. සහල් සහ බිත්තරවලට හැර සෙසු කිසිදු ආහාර ද්‍රව්‍යයකට පාලන මිලක් පනවා නැති නිසා නීති මගින් කටයුතු කිරීමට නොහැකි වුවද අනවශ්‍ය හා අසාධාරණ ලෙස කරන මිල වැඩිවීම් මර්දනය කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු කියයි.
''පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 2022.05.02 දින නිකුත් කළ අංක 2278/02 දරන ගැසට් පත්‍රය මගින් කීරි සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 260ක් විය යුතු බවට නියම කර තිබෙනවා. එයට වැඩියෙන් විකුණනවා නම් 1977 දුරකථන අංකය මගින් දැන්වීමට පුළුවන්. පාරිභෝගික කටයුතු අධිකාරිය මේ අයට එරෙහිව 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරි පනත අනුව කටයුතු කරනවා. නියමකර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීම සඳහා මෝල්හිමියකු හෝ ව්‍යාපාරිකයකු කටයුතු කරනවා නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. මිලදී ගැනීමට අදාළ සියලු බිල්පත් හා ලේඛන පරීක්ෂා කිරීම සඳහා සෑමවිටම ව්‍යාපාර ස්ථානයේ තබාගත යුතුයි. අධිකරණයේ වැරදිකරුවන් වන අයට දඩය අවම රුපියල් ලක්ෂය සහ උපරිමය ලක්ෂ 5 දක්වාද සමාගම්වලට අවම ලක්ෂ 5 සිට උපරිමය මිලියන 5 දක්වාද දඩ ගෙවීමට සිදුවෙනවා.''
පාරිභෝගික කටයුතු අධිකාරියේ සමස්ත ලංකා විමර්ශන නිලධාරි සංගමයේ ලේකම් ප්‍රගීත් හිරන්ත පවසන්නේ තම රාජකාරිවලට සිදුවන බාධා ඉවත් කරන ලෙස පසුගියදා වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වූ අතර ක්ෂේත්‍ර රාජකාරි කරන නිලධාරින්ට හමුදා සහ පොලිස් ආරක්ෂාව ලබාදීමට පසුගිය 8දා රජය එකඟ වූ බවය.
♦ යසවර්ධන රුද්රිගු