නටබුන් බුදු පිළිමයක් සහ ප්‍රාථමික චිත්‍ර සහිත වනගත පෙදෙසක පිහිටි කන්දේගම ගම්මානය පිහිටියේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළය. පොළොන්නරුවේ සිට ඒ වෙත දුර කි.මී. 46ක් ගමන් කළ යුතුය. මෑත අතීතයේදී මාර්ග පහසුකම් සංවර්ධනය වී ඇති නිසා කඳු පාමුලට යන තෙක් ඕනෑම වාහනයකින් පහසුවෙන් එන්නට පුළුවන. පොළොන්නරුවේ සිට දිඹුලාගල පසුකොට අරලගංවිලට යන විට ඈතින් කන්දේගම කන්ද අප නෙත ගැටේ. අරලගංවිල සිට තවත් කි.මී. 8ක් දුරින් පිහිටි දම්මින්නට පැමිණි විට කන්දේගම ධනංජය රජමහා විහාර භූමිය නෙත ගැටේ. කන්දේගම වනගත නටබුන් හා දානිගල කඳු ශිඛරය පිහිටා ඇත්තේ මේ විහාර බිම පිටුපසිනි. කලාතුරකින් කෙනකු යන පැරණි වනගත නටබුන් සහිත තැනකි. විහාරයේ සංඝාවාස ගොඩනැගිල්ල පැරණි ලෙනක් ආශ්‍රය කරගෙන ඉදිකර තිබේ. මෙහි නූතන විහාර මන්දිරයක් ද දාගැබක් ද දැකගත හැකි වේ.
කන්දේගම කන්ද හෙක්ටයාර 1,800 ට වැඩි භූමි ප්‍රමාණයක පැතිර තිබෙන බටානේ හෙළ, අරාවේ හෙළ, දානිගල කන්ද ආදී කඳු පන්ති ගණනාවක් එක්වූ අපූරු භූගෝලීය ලක්ෂණ සහිත සුන්දර තැනකි. මෙම සියලු කඳු පන්ති එක්කර කන්දේගම කන්ද නමින් අතීතයේ හඳුන්වන්නට ඇති බව සිතිය හැකිය. පසුගිය සියවසේ මුල් කාලයේ මේ අවට වැදි ජනාවාස පැවතුණි. වර්ෂ 1897 ආසන්න කාලය තුළ පවා ආදීවාසී ජනාවාස ඒ ආශ්‍රිතව තිබූ බව හෙළිවන කරුණකි. පුරාණයේ මාදුරුඔය වැව ඉදිකර තිබුණේ දානිගල කන්ද යා කරමිනි. පසුකාලීනව මාදුරුඔය ජලාශ වේල්ල ඉදිකිරීමට ද එම කන්දේ පහළ බෑවුම යොදා ගත්තේය.
කන්දේගම කන්ද හා ඒ අවට පෙදෙසයි. මේ අවට ස්වාභාවික ලෙන් රැසක් පිහිටා තිබෙන අතර පූර්ව ආරාමික භික්ෂූන් වාසය කළ ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවස පමණ කාලය නියෝජනය කරන බ්‍රාහ්මීය අක්‍ෂර සහිත කටාරම් කෙටූ ගල්ලෙන් හඳුනාගත හැකියි. කූටකන්න තිස්ස (ක්‍රි.පූ. 42-20) රජ දවස සිට මහසෙන් (ක්‍රි.ව. 276-302) රජ දවස දක්වා විවිධ රජවරුන්ගේ පාලනය යටතේ සංවර්ධනය වී තිබෙන පෙදෙසක් බව ඓතිහාසික සාධකවලින් හෙළි වේ. දානිගල අවටින් හමුවූ නාග රෑප සහිත මැටි මෙවලම් නිසා ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසට පෙර නාග ගෝත්‍රික ජනයාගේ වාස භූමියක්ව පැවති බවට සමහර ඉතිහාසඥයෝ මත පළ කරති.
මෙම ප්‍රදේශයේ අතීතයේ පටන් පිටසක්වළ ජීවීන් හා පිටසක්වළ යානා සම්බන්ධ සිද්ධීන් ගැන කියැවේ. වසර කිහිපයකට පෙර දානිගලට ආසන්නව පිහිටි අරලගංවිල වෙල් යායකට වැටුණු උල්කාපාත කැබලි නිසාවෙන් රටේ මහත් ආන්දෝලනයක් හටගත් බව අපට මතකය. බොහෝ විට රාත්‍රී අහසේ විවිධ එළි දර්ශනය වීම මෙහි ගම්වැසියන්ට සුලබ අත්දැකීමක් බව පැවසේ. දීප්තිමත් ආලෝකයන්, සහ ගමන් ගන්නා ආලෝකයන් මෙම කඳු මුදුන හා අවට කඳු ආශ්‍රිතව සැරිසරන බව ගම්මු පවසති. නමුත් මේ කතා පුවත් විද්‍යාත්මකව සනාථ කිරීමක් නම් සිදුව නොමැත.
ධනංජය විහාර භූමියේ වම් පස කෙළවරින් වනයට පිවිසිය හැකි කුඩා අඩි පාර දිගේ ඉහළට ගමන් කරමින් කන්ද තරණය කිරීමට පුළුවන.
► කන්දේගම ලෙන් විහාරය
කන්දේගම කන්ද මඳක් තරණය කර යළිත් වනය ඔස්සේ සීඝ්‍ර බෑවුමක් බැසීමෙන් පසු කඳු බෑවුමේ ලෙනක පිහිටි පුරාණ රජමහා විහාරයට පැමිණිය හැකිය. මෙය මාදුරුඔය ජලාශ බැම්මට සමීපව පිහිටා තිබේ. අද නම් එය වන සතුන් දිවි ගෙවන අඳුරු ලෙනකි. කටාරම් කෙටූ ලෙන දිගින් අඩි 80ක් ද පළලින් අඩි 25ක් ද වේ. ආසනයක් මත පිහිටි සැතපෙන බුදු පිළිමය ගඩොල් සහ මැටිවලින් තනා හුණු බදාම අලේප කර තිබෙන්නකි. එහි දිග අඩි 38.9 කි. පිදුරංගල, කුමන කැලේ බඹරගල, ඔක්කම්පිටිය හබැස්ස පිළිම මෙන් මේ ප්‍රතිමාව ද අනුරාධපුර යුගයේ ඉදිකළ බව පෙනේ. නිධන් හොරුන් පිළිමයේ විවිධ ස්ථාන හාරා නිදන් සොයා ඇති නිසා සිදුව ඇත්තේ විශාල හානියක් බව අමුතුවෙන් කිව යුතු නැත. සැතපෙන පිළිමයේ සිරස සම්පූර්ණයෙන් කඩා දමා තිබේ. පසුකාලීනව මූර්ති ශිල්පය නොදන්නවුන් පිළිමය අලුත්වැඩියා කිරීමට යාම නිසා එහි ස්වරෑපය විකෘති වී තිබේ. නිදන් හොරු එහි බැඳ තිබූ පළලැති ගඩොල් බිත්ති ද කුඩුකර ඇත. පසෙකින් පොළොවේ නිදන් සෙවීමට විශාල වළවල් ද හාරා ඇති බව පෙනේ.
මෙහි පිළිමයේ පාද අසල දකගත හැකි තවත් ගඩොල් බිත්තියකින් පෙනෙන්නේ පුරාණයේ ලෙන කොටස් දෙකකට බෙදා පිළිම ගෙවල් ඉදිකර තිබූ බවයි. පළමු ලෙන සැතපෙන පිළිමයට ද දෙවැනි ලෙන හිඳි බුදු පිළිමයකට ද වෙන්කර තිබී ඇත. පසුකාලීනව නිදන් සොයන්නන් හිඳි බුදු පිළිමය සම්පූර්ණයෙන් විනාශ කර ඇති අතර අද දැකගත හැකිව තිබෙන්නේ ප්‍රතිමාවේ ආසනයේ ශේෂ පමණි.
පිළිමයට තරමක් ඈතින් පුරාණ දාගැබක් බව හෙළි කරන ගඩොල් ගොඩැල්ලකි. එහි පිහිටි ගඩොල් ද පිළිම ලෙනේ ගඩොල්වලට ස්වරෑපයෙන් සමානය. එකම කාලයකට අයත් දාගැබක් බව පෙනේ. රළු ගල්කණු ද මෙහි තැනින් තැන දැකගත හැකිය.
කටාරම් කොටා සෙල්ලිපි පිහිටවූ ලෙන් රාශියක් ද කන්දේගම කන්දේ වනය තුළ පිහිටා තිබේ. ලෙන් අතර කැණීම් කර තහවුරු කළ පුරාණ දාගැබක නටබුන් ද දැකගත හැකිය. ලෙන්වල තිබෙන පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි 10ක් මහාචාර්ය පරණවිතාන පළ කර තිබේ. ඒවායේ සඳහන් වන්නේ ලෙන් කරවා භික්ෂූන්ට පූජා කිරීම ගැනයි. එසේ ලෙන් පූජා කළ පිරිස අතර ගම් ප්‍රධානිවරු, පරුමකවරු, ගම්පතිවරු, ආදායම් නිලධාරිවරු ද සිටිති. ක්‍රිස්තු පූර්ව යුගයේ සිට අනුරාධපුර යුගය දක්වා මේ පෙදෙස බෞද්ධ භික්ෂූන් රාශියක් වැඩ සිටි ආරාමයක් ලෙස පැවති බව සෙල්ලිපිවලින් හා නටබුන්වලින් හෙළිවෙන කරුණකි. ගම්පති තිස්ස, පරුමක දීඝතිස්ස, ගෘහ මූලික දත්ත, පරුමක උත්තිය, පරුමක කුඩහතිස්ස ආදී නම් දරන අය ලෙන් පූජා කළ පිරිස අතර සිටිති.
ධනංජය විහාර බිමේ ඇති වර්තමාන භික්ෂූ වාසයක් වූ ලෙනේ පිහිටි සෙල්ලිපියක සඳහන් තිශ අය සද්ධාතිස්ස රජු සේ සැලකිය හැකි බව එල්ලාවල මේධානන්ද හිමියෝ සඳහන් කරති. මේ එම සෙල්ලිපියයි:
තිශ අය පුත මත අයහ අයක ගමික මහතිශ මරුමණක ගමික තිශහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ පතිටපිතෙ
තිශ අයගේ ආදායම් පාලකයා වූ ගම්පති මහාතිස්සගේ මුනුපුරකු විසින් සතර දෙසින් පැමිණෙන භික්ෂූ සංඝයා උදෙසා මෙම ලෙන පූජා කළ බව එහි අරුතයි.
► ප්‍රාථමික කුරුටු චිත්‍ර
ධනංජය රජමහා විහාරයේ සිට උතුරු දෙසට වැටී ඇති අඩි පාරක් ඔස්සේ කන්දේගම කන්ද මුදුනට පිවිසීමෙන් සෙල් සිතුවම් පවතින ලෙන් පිහිටි ස්ථානයට ළඟාවීමට පුළුවන්. සිතුවම් සහිත ගල් ගුහාව හා ගල් ආවරණය පිහිටා ඇත්තේ කන්දේ මුදුනට ආසන්නයෙනි. ඒ වෙතට ගමන් කළ යුත්තේ දුෂ්කර ගිරි දුර්ග මාර්ගයක් ඔස්සේයි.
ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසට පෙර කාලයකට අයත් යැයි නිගමනය කළ හැකි, පුරාවිද්‍යාත්මකව වැදගත් ලෙන් කුරුටු චිත්‍ර කිහිපයක් කන්දේගම ලෙන්වල දැකගත හැකියි. මේවා ඉරි රටාවලින් පර්වත පෘෂ්ඨය සූරා මතුකරගත් චිත්‍ර රටායි. මාවනැල්ලේ අස්මඩල, අලව්වේ හක්බෙලිකන්ද ආදී සිතුවම් රටාවලට සමානත්වයක් දක්වයි.
► දානිගල අපූරු හැඩය
කන්දේගම කන්ද හා බැඳුණු තවත් මුදුනක් වන දානිගල සිත තුළ කුතුහලයක් දනවන අපූරු හැඩයක් සහිත කන්දකි. එය වක්‍රාකාර පර්වතයකින් සමන්විත අතර පර්වතය මත වනගහනය පැතිර ඇත්තේ ද වක්‍රාකාර රටාවකටය. මේ නිසා මෙහි අද්භූත බලයක් ඇති බවටත්, පිටසක්වල බලපෑම් තිබෙන බවටත් කතා ගෙතී තිබේ. තනි පර්වතයකින් සැදුණු කඳු මුදුනට පිවිසීම නම් දුෂ්කර චාරිකාවකි.
කන්ද හරි අඩකටත් වැඩියෙන් එකම ගල් බිත්තියක් ලෙස වටේටම පැතිර තිබේ. දානිගල කන්දට පිටුපසින් පිහිටි කුඩා අවශේෂ කඳු ගැටවල ඇති උමං හා ගුහා දානිගලට සම්බන්ධ බවටත් කතා පවතී. මෙයට නුදුරින් පිහිටා තිබෙන්නේ මාදුරුඔය ජාතික උද්‍යානයයි. මේ නිසා වන අලි තර්ජන ද ගම්මානයට අමුත්තක් නොවේ.
♦ කුසුම්සිරි විජයවර්ධන
සේයාරුව : අශාන් ගීගනගේ