2023 මැයි 21 වන ඉරිදා

තෙල් බෙදීමේ සිස්ටම් චේන්ජ් එක

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 72

ඛනිජ තෙල් සිල්ලරට අලෙවි කිරීම අරමුණු කරගෙන ජාත්‍යන්තර සමාගම් කිහිපයක් ශ‍්‍රී ලංකාවේ ආයෝජනයට සූදානම් බව අනාවරණය වේ. තෙල් ආනයනය, ගබඩා කිරීම හා ෂෙඩ් මගින් අලෙවිය සඳහා සමාගම් තුනකට අවසර නිකුත් කිරීමට සති දෙකකට කලින් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. තෙල් ආනයනය, බෙදාහැරීම හා විකිණීම ඛනිජ තෙල් සංස්ථාවට පමණක් සීමා වී තිබුණු යුගය අවසන් කරන්නේ 2003 වසරේදීය.  ඉන්දියන් ඔයිල් සමාගම මෙරටට පැමිණ ලංකා ඉන්දියන් ඔයිල් නමින් සමාගමක් ආරම්භ කරන ලද අතර ඔවුන්ට තෙල් ආනයනයට අවසර ලැබුණු අතර දිවයින පුරා අලෙවියට පිරවුම් හල් සියයක් පළමු වටයේදී හිමිවිය. චීනයේ සයිනොපැක් සමාගමට ද ජාත්‍යන්තර ආයෝජනයක් වශයෙන් ඉල්ලුම් කර තිබුණු නමුත් පසුව ආණ්ඩු වෙනස්වීම හේතුවෙන් එවකට පැවැති රජයේ අනුමැතිය ලැබුණේ නැත. 

ඛනිජ තෙල් කර්මාන්තයේ වෙනස්කම් ගැන දශක දෙකකට කලින් තීරණ ගැනීමට තිබුණි. සංස්ථාවේ අලාභ, හෙජිං ගිවිසුමේ අවාසි, තත්ත්වයෙන් බාල ඉන්ධන ආනයනය සහ විනිමය හිඟ වූ පසු කරන ලද ආනයනවල ප‍්‍රමාද ගාස්තු වශයෙන් දැවැන්ත අලාභයක් ඛනිජ තෙල් සංස්ථාව භාරයේ ඇත. අලාභ කෙසේ වෙතත් නියමිත කාලයේදී බෝනස් ගෙවන ලද බව පාර්ලිමේන්තු අනුකාරක සැසිවලදී හෙළි වී තිබේ. අනෙක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව තෙල් සංස්ථාව වියදම ආවරණය කරන ආදායමක් උපයා ගැනීම සඳහා පියවර ගත යුතුය. වරින් වර ගාස්තු සංශෝධනය කෙරේ. නාස්තිය, දූෂණය හෝ වෙනත් අලාභ ගෙවන්නේ පොදු ජනතාව වන අතර මෑත කාලය සඳහා ගෙවන ලද වන්දිය අති විශාලය. රාජ්‍ය බැංකු දෙකට ඇති ණය ප‍්‍රමාණය හා තෙල් මිල දී ගැනීමට ගත් විදේශ මුදල් නොපියැවීම හේතුවෙන් මහා භාණ්ඩාගාරයට බැරවීම දිරිය නොහැකි පිරිවැයකි. 

♦ අලුත් සමාගම් ගැන පසු විපරමක්

කැබිනට් තීරණය අනුව දැනට ලෝකයේ ප‍්‍රධාන සමාගම් තුනකට, ඛනිජ තෙල් කර්මාන්තය සඳහා අලුතින් අනුමැතිය ලබා දී ඇත. චීනයේ සයිනොපැක් සමාගම ඒ අතර ප‍්‍රධාන ව්‍යාපාරයකි. 1998 ට කලින් චීන ආණ්ඩුවේ ව්‍යාපාරයක් වූ අතර පසුව පෞද්ගලීකරණයට ලක්ව ඇත. ආසියාවේ විශාලතම ඛනිජ තෙල් පිරිපහදුව හිමි සයිනොපැක් සමාගම ලෝකයේ ඉසුරුමත් සමාගම් ලැයිස්තුවේ පස්වැනි ස්ථානයෙහි පසුවේ. මධ්‍යම අප‍්‍රිකාවේ ගැබොන් හි ඉන්ධන වෙළෙඳාමේ නිරත සයිනොපැක් සමාගම සුඩාන්වල තෙල් ළිං මිල දී ගෙන කැණීම් ආරම්භ කර ඇත. එයට අනුව ඔවුන්ගේම තෙල් නිධි හා පිරිපහදුව සහිත මෙම සමාගම සෞදි අරාබියේ ඇරුම්කෝ සමඟ වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර ඇති අතර පිලිපීනයේ ඛනිජ තෙල් කර්මාන්තයේ ද ආයෝජනය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ආයතනය ද ශ‍්‍රී ලංකාවේ අනුමැතිය ලබා ඇත. අභ්‍යන්තරිකව ව්‍යාපාර මෙහෙයවන මෙම සමාගම ජාත්‍යන්තර වශයෙන් එපමණ ප‍්‍රකට එකක් නොවේ. සමාගම සතු තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථාන පන්සියයක් ඇත. ඔස්ට්‍රේලියාව සුළු ප‍්‍රතිශතයකින් බොර තෙල් නිපදවන නමුත් රටට අවශ්‍ය ප‍්‍රමාණය සිංගප්පූරුව, ඉන්දියාව, දකුණු කොරියාව ඇතුළු රටවලින් ආනයනය කෙරේ. යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ශ‍්‍රී ලංකාවේ තෙල් බෙදාහරින අතර පිරිපහදුවක් ආරම්භ කර තෙල් ඔස්ට්‍රේලියාවට අපනයනය කරන ව්‍යාපාරික සැලැස්මක් අනුගමනය කරන්නේදැයි පැහැදිලි නැත.  

ආර්.එම්. පාක්ස් ආයතනය ඇමෙරිකානු ෂෙල් සමාගම ද සබඳතා ඇති ව්‍යාපාරයකි. සමාගම පසුගිය වසරේ සිය ව්‍යාපාරය වෙනත් සමාගමකට විකුණා ඇති බව අන්තර්ජාතික වාර්තා අනාවරණය කරයි. ටෙක්සාස් හි ව්‍යාපාර කරගෙන ගිය මෙම ආයතනය පසුව ෂෙල් සමාගමේ බෙදාහැරීම් අරඹන ලද අතර එයින් විශාල අවස්ථාවක් ලබා ගනී. වසර පහකට කලින් මෙක්සිකෝවේ තෙල් බෙදාහැරීමට හා අලෙවියට ඉදිරිපත්ව ඇති බව දැක්වේ.

♦ ලංකා ඉන්දියන් ඔයිල් හා ඛනිජ තෙල් සංස්ථාව 

ඛනිජ තෙල් සංස්ථාව 1962 වසරේදී ආරම්භ කර ඇති බව දැක්වේ. සංස්ථාව සතුව තෙල් බෙදාහැරීමේ පිරවුම් හල් තුන්සියයක් තිබුණි. ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට සියයක් පැවැරීමෙන් පසු ඉතිරි වූයේ දෙසියයකි. පෞද්ගලික පිරවුම් හල් පවත්වාගෙන යන ස්ථාන 1,200ක් වන අතර ඒවා සංස්ථාවේ ස්ථිර ගැනුම්කරුවෝය. 

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සතුව අලුත් ෂෙඩ් විවෘත කිරීම සමඟ පවතින ප‍්‍රමාණය දෙසිය දෙකක් දක්වා වර්ධනය කරගෙන තිබේ. තෙල් ගෙන්වීම, බෙදාහැරීම හා අලෙවියේදී තරගකාරීව කටයුතු කරන ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ලාභ උපයයි. තෙල් සංස්ථාවේ 2021 වසරේ අලාභය බදු ගෙවීමට පෙර රු. බිලියන 82 ක් බව අලුත්ම මහ බැංකු වාර්තාව දක්වයි. බදු ගෙවූ පසු මෙම අලාභය තවත් වැඩි වේ. රාජ්‍ය බැංකුවලට ගෙවන්නට ඇති ණය ප‍්‍රමාණය රු. බිලියන 505 කි. වාණිජ බැංකුවල පොලිය ඉහළය. 20% ක පොලියක් ගෙව්වද අවුරුද්දකට බිලියන සියයක් ණය පොලිය වශයෙන් ගෙවන්නට සිදුවේ. ඉන්ධන මිල දී ගන්නා මහජනතාව මෙම ණය හා පොලිය වන්දි වශයෙන් ගෙවමින් සිටිති. නිවෙසට විදුලිය එන විට දැවෙන තෙල් ප‍්‍රමාණය අනුව එය ඉහළ නගී. බස් රථයක, දුම්රියක හෝ තමන්ගේ වාහනයක ගමන් කිරීමේදී පවා දහනය කරන ඉන්ධනවලට එහි පිරිවැයට අමතරව පොලිය ද එකතු වී ඇති බව මතක තබාගත යුතුය. නිවැරදි පරිපාලනයක්, දූරදර්ශී ප‍්‍රතිපත්ති අනුගමනය කළහොත් ආයතනවලට ලාභ ඉපැයිය හැකිය. ඉන්දියාවේ රාජ්‍ය ව්‍යවසාය ශ‍්‍රී ලංකාවේ ද ව්‍යාපාර කරගෙන යන නමුත් තෙල් ගෙන්වීම හා බෙදාහැරීමෙන් ලබන අලාභය ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායක අකාර්යක්ෂමතාව පැහැදිලි කරයි. මේවායේ උන්නතියට කටයුතු නොකිරීම හේතුවෙන් චීන, ඔස්ට්‍රේලියා හෝ ඇමෙරිකා සමාගම් ගෙන්වා ව්‍යාපාර පවරන්නට සිදු වී තිබේ. මෙම සමාගම් තුන පැමිණියහොත් ශ‍්‍රී ලංකාවේ ඛනිජ තෙල් අලෙවි කරන සමාගම් පහක් කටයුතු කරනු ඇති අතර අනාගතයේදී පොසිල ඉන්ධන භාවිත කිරීම පාලනය කරන සහ පරිසර හිතකාමී බලශක්ති ප‍්‍රභවවලට මාරුවෙන උවමනාවක් රහිත බව මෙම ආයෝජන කැඳවන ආකාරය අනුව සනාථ වේ. 

වසර 2050 වනවිට බොර තෙල් ඉල්ලුම පහළ වැටෙතැයි පර් යේෂකයෝ දක්වති. එවැනි පසුබිමක රටට බොර තෙල් පිරිපහදුවක් කුමටද? 1995 - 2000 කාලයේදී ලෝකයේ වාර්ෂික බොර තෙල් ඉල්ලුම වැඩිවීමේ වේගය 1.3% කි. එය වසර 2035 පසු හරි අඩකින් පහත වැටෙනු ඇතැයි සැලකේ. ලෝකයේ බලශක්ති අවශ්‍යතාවය වසරක් පාසා 30% කින් ඉහළ යන්නට ඉඩ ඇති බවද සලකා බැලිය යුතු කරුණකි. එසේම සූර්ය බලශක්තිය වෙනුවෙන් ඇති ඉල්ලුම ඉදිරි වසර දහය තුළ 7.6% කින් වර්ධනය වනු ඇති අතර එයින් පසු එහි වේගය තවදුරටත් වර්ධනය වීමට ඉඩ තිබේ. එයට හේතුව සූර්ය කෝෂ ඇතුළු මෙවලම්වල මිල පහත වැටෙන අතර ඒ වනවිට සූර්ය විදුලිය ගබඩා කරගත හැකි තරමට තාක්ෂණය දියුණු වනු ඇති බව කියැවේ. 

♦ පරිවර්තනයකින් පසු අඩු මිලට තෙල් 

ජාත්‍යන්තර දත්ත අනුව ඛනිජ තෙල් බෙදාහරින ව්‍යාපාර එක් ලක්ෂ හැට දහසක් ලෝකය පුරා ඇත. ඉන්දියාවේ ඇති සමාගම් ගණන පන්දහස ඉක්මවයි. ඛනිජ තෙල් හා ලිහිසි කාරක නිෂ්පාදන තරගකාරී අඩු මිලකට සැපයීමට මෙම ආයතන යුහුසුළු වෙමින් පසුවේ. තෙල් සමාගම්වල පවතින අධිකාරී බලය අනුව තෙල් මිල උච්ඡාවචනය වේ. ආනයන මත යැපෙන රටවලට මෙම මිල ගණන් සමඟ කටයුතු කරන්නට සිදු වේ. ඉන්දියාවට පමණක් බොර තෙල් පිරිපහදු කරන කම්හල් විසි තුනක් තිබේ. විසි හතර වැනි පිරිපහදුව රාජස්ථානයේ ඉදිවෙමින් පවතී. වසර 2025 වනවිට නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ඉලක්කයක් ඇති රාජස්ථාන් ප‍්‍රාන්තයේ දැවැන්ත තෙල් පිරිපහදුවක් ඉදිකරන පරිවැය වෙනුවෙන් ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් බිලියන 5.4 ක් ආයෝජනය කර ඇත. ලෝකයේ වැඩිම ජනගහනය සමඟ දැවැන්ත බලශක්ති පරිභෝජනයක්, අපනයන වෙළෙඳපොළක් අත්පත් කරගෙන ඇති ඉන්දියාව සමඟ ඛනිජ තෙල් කර්මාන්තයේ හවුල්කාර ආයෝජන ශ‍්‍රී ලංකාවට ඉතා වැදගත් විය හැකිය.

ඉන්දියාව හා රුසියාව සමඟ මිත‍්‍රශීලීභාවයක් ඇත. ජාත්‍යන්තර ප‍්‍රජාව සම්බාධක පනවන නමුත් ඉන්දියාව රුසියාවෙන් බොර තෙල් මිල දී ගනිමින් සිටී. 2022 වසරේ එකම තෙල් බැරලයක් හෝ මිල දී නොගෙන සිටි ඉන්දියාව දැන් අඩුම මිලකට තෙල් මිල දී ගැනීම සඳහා රුසියාව සමඟ ගිවිසුමකට එළැඹ ඇත. ඉන්දියාවේ දත්ත අනුව 2023 වසරේ අප්‍රේල් මාසයේදී බොර තෙල් බැරල් මිලියන දෙකක් රුසියාවෙන් මිල දී ගෙන ඇති අතර එය එරට සමස්ත ඛනිජ තෙල් ආනයනයෙන් 44% කි. 

චීනය, ඉන්දියාව හෝ ඇමෙරිකාව වැනි රටවලට හා සමාගම්වලට වෙළෙඳපොළ පාලනය කළ හැක. මාසයකට ඉන්ධන නැව් හතරක් ගෙන්වන ශ‍්‍රී ලංකාව ලෝක තෙල් වෙළෙඳාමේ කුඩා ඒකකයකි. බලවත් සමාගම්වලට අනුව හැසිරීම වෙනුවට සමාගම්වල ආයෝජන රටට කැඳවා නිෂ්පාදන අපනයනය ද අරමුණු කරගෙන ඛනිජ තෙල් ගෙන්වීම හා බෙදාහැරීමේ කර්මාන්තයේ විවිධාංගීකරණයක් ඇති කළහොත් අඩු මිලට පාරිභෝගිකයන්ට සපයන අතර විනිමය ඉපැයීමට ද අවස්ථාවක් තිබේ.

♦ සාරා කන්දෙගොඩ

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05