මේ රටේ ඇත්තට වඩා පැවැත්ම ඇත්තේ බොරුවටය. ව්‍යාජව, බොරුවෙන් ජීවත් වන්නන් ඇති තරම්ය. ඒ නිසා කෙසේ හෝ බොරුවෙන් ජීවත් වීමට, බොරුවෙන් ජීවත් කිරීමට බහුතරයක් දෙනා ඉන්නේ සටනකය. එකී බොරුවේ හොඳම කෑල්ල වන්නේ නැති ගෞරවයක් ඇඟට දා ගැනීමය. ගෞරව නාම, බොරු අධ්‍යාපන සුදුසුකම්, විදෙස් අධ්‍යාපනයන් වැනි දෑ බහුතරයක් අද වනවිට සුදුසුකම් වලට වඩා ආභරණයක් කරගෙන අවසන්ව ඇත. මේ නිසාම ගෞරව නාම, ආචාර පට්ටම්, මහාචාර්ය පට්ටම් ලබාදෙන කළුකඩ දැන් ලංකාව පුරාම විහිදී ඇත. කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ එවන් කළුකඩ සඳහා ඉදිරියේ සිදුවන්නට යන වැට බැඳීමක් ගැනය.
පසුගිය දිනක විශ්වවිද්‍යාල කොමිෂන් සභාව, කෝප් කමිටුව හමුවේ ඉදිරිපත් වූ අවස්ථාවේ කෝප් කමිටු සාමාජිකයින් විසින් ඉස්මතු කළ ප්‍රශ්නයක් වන්නේ මෙම ආචාර්ය මහාචාර්ය පට්ටම් සුදුසුකම් ඇති අයවලුන් විසින් ලබා ගැනීම ගැනය. ඒ අනුව කමිටු සාමාජිකයින් විමසා සිටියේ මේ සඳහා ගතහැකි පියවර කුමක්ද යන්න කියාය. ඒ අනුව කොමිෂන් සභාව විසින් එළඹෙන කමිටු රුස්වීම සඳහා එවැනි ගෞරව නාම සම්බන්ධයෙන් සිදුකරන ක්‍රියාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට නියමිතව ඇත. අප ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගෙන් විමසීමක් කළෙමු.
''අද වෙනකල් එවැනි ගෞරව නාම තනතුරු ලබාදෙන ආයතන වාරණය කරන්න, හොයා බලන්න, නියාමනය කරන්න බලයලත් ආයතනයක් තිබ්බේ නෑ. ඒ බලය අපේ කොමිෂන් සභාවට තිබ්බෙත් නෑ. අපිට පුළුවන්කම තිබ්බේ යම් විශ්වවිද්‍යාල මට්ටමින් ලබාගත් සහතිකයක සත්‍යතාවය පරීක්ෂා කරන්න විතරයි. ඒත් පහුගියදා කෝප් කමිටුවේදී මෙම සුදුසුකම් නොලත් ලෙස අධ්‍යාපන සුදුසුකම් ලබාගන්න ආයතන සහ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලන ක්‍රමවේදයක් හදන්න අපිට යෝජනා කළා .දැන් අපි ඒක හදාගෙන යන්නේ.''
කෙසේ වෙතත් දැනටම අපේ රටේ එවැනි හොර ආචාර්ය මහාචාර්ය පට්‍ටම් ලබාගත් පිරිස සහ ලබාගන්නා ආයතන සම්බන්ධයෙන් සොයා බැලීමට හැකියාවක් නැති නිසා එම නීතිය කෙසේ සකස් වෙයිද යන්න අපි මෙහිදී විමසා බැලුවෙමු.
''විශ්වවිද්‍යාල කොමිසම අපි නියාමන ආයතනයක් බවට පත්කිරීමෙන් පසුව අපිට පුළුවන් ඒ ආයතන විසින් ලබාදෙන යම් සහතික සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන්න. එහෙම දෙන අය ඉන්නවා නම් ඒ අය අනිවාර්යයෙන් සුදුසුකම් සහිතව අපේ ආයතනයේ ලියාපදිංචි වෙන්න. එතකොට ඔය කියන ආකාරයේ අඩු ලුහුඬුකම් වෙන්නේ නෑ. විශේෂයෙන් අපේ රටේ අධ්‍යාපන සහතික සම්බන්ධයෙන් ලෝකයේ රටවල විශාල ගෞරවයක් තියෙනවා. ඒක අපේ රටට ගෞරවයක්. ඒ ගෞරවය අපිට නැතිකර ගන්න බෑ. සමහර රටවල්වල සමහර ආයතනවලට අඩුම තරමේ ලිපිනයක්වත් නෑ. අපේ රටේ මොනව වුණත් අපේ රටේ ආයතන සම්බන්ධයෙන් ලෝකයේ හොඳ පිළිගැනීමක් තිබෙනවා.
මේ අතර විදෙස් රටවල අධ්‍යාපනය ලබා පැමිණෙන පිරිස්ද විවිධ අධ්‍යාපන ගෞරව නාම භාවිතා කරන අයුරු අප දැක ඇත. කෙසේ වෙතත් එලෙස ලබාගත්තේ කුමන ආයතන වලින්ද යන්න කිසිදු අවබෝධයක් නැත. ව්‍යාජ ලෙස භාවිතා කරන්නන්ද විශාල වශයෙන් ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන්ද අප කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් විමසා බැලුවෙමු.
''ඔව් සමහර අය විදෙස් විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය හදාරා ලබාගත් බවට විවිධ නාමයන් පාවිච්චි කරනවා. ඒ සම්බන්ධයෙනුත් නව නීති ඔස්සේ අපිට පුළුවන් සොයා බලන්න. එම ආයතන ලියාපදිංචි ආයතනද, ලෝකයේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතර මොනවගේ තැනකද තියෙන්නේ, කින්ද මන්ද කියලා. කොහොම වුණත් එහෙම එන අයට වුණත් නව නීති සකසනවා මෙහෙට ඇවිත් අපේ නියාමනයන්ට අනුව පරීක්ෂා කරල බලලා ඊට අනුව ඒ සුදුසුකම් සපුරන්න පුළුවන් තත්ත්වයක් හදනවා.''
මේ ආකාරයෙන් යම් නියාමනයක් සිදුවනවා නම් සැබැවින්ම එය අගය කළ යුත්තකි. ඊට හේතුව වසර ගණනාවක් සිට මෙරට අධ්‍යාපනය හදාරා ඉතාම අමාරුවෙන් අධ්‍යාපන සුදුසුකම් ලබාගත් අයට පවා මේ හරහා සිදුවන අසාධාරණය සුළුපටු නැත. පසුගිය කාලය පුරා මේ රටේ හතු පිපෙන්නාක් මෙන් පිපුණු ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සුළුතරයක් විවිධ කළුකඩවලින් ලබාගත් ඒවාය. මේ නිසා ඇතැම් කාලවලට චණ්ඩි පාට් දැමූ ආචාර්ය දේශපාලනඥයෝද සිටියෝය. ඔවුන් පාතාලයේ ආචාර්ය පට්ටම් ලබාගත් අයද යන්න අපට සැක ඇත. කෙසේ වෙතත් නුදුරේදී විශ්වවිද්‍යාල කොමිසමට බලය ලැබීමෙන් අනතුරුව මෙවැනි හොර බොරු ආචාර්ය මහාචාර්යවරු බහුතරකට සිය පට්ටම් අහිමිවනු ඇත. එය මෙරට අධ්‍යාපනය ලබන විශාල ගෞරවයක් වනු ඇත.
I ගයාන් ගාල්ලගේ