2023 මැයි 28 වන ඉරිදා

කුඩම්මාට ගිය මිහින්තලේ පොසොන් උත්සවේ

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 209

පොසොන් පුන් පොහෝ දිනය අත ළඟය. දැන් රටපුරා පොසොන් පිංකම් ගැන පෝස්ටර්, බැනර් දැකගත හැකිය. රටේ විශාල ආර්ථික අර්බුදයක් පැවතුණත් පොසොන් දන්සල්, කුඩු හා තොරණ, මිහිඳු පෙරහර ඇතුළු පිංකම් පවත්වමින් හැකි අයුරින් පොසොන් සැමරීමට බෞද්ධයෝ සූදානම් වෙති. ඒ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේට වැඩම කර බුදුදහම පිහිටුවීම සමරමිනි. දේවානම්පියතිස්ස රජුට ධර්මය දේශනා කරන ලද්දේද මහාවංශය ඇතුළු ධර්ම ග්‍රන්ථ ලියැවීමට මුල පිරීම සිදු වූයේද පොසොන් පුන් පොහොය දිනයකදීය.

පසුගිය 2019 අවුරුද්දේ සිට මේ අවුරුද්ද දක්වා පොසොන් උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට බාධක ඇති විය. 2019 පාස්කු ප්‍රහාරය නිසාත්, ඉන්පසු 2020, 2021 කොවිඩ් අවදානම නිසාත් පොසොන් උත්සව සිරිය වියැකී ගියේය. 2022දී පොසොන් අසිරිය අඩුවුණේ ආර්ථික අර්බුදය නිසා රජය පොසොන් පිංකමට දෙන ප්‍රතිපාදන අඩුකිරීම නිසාය. මෙවර මිහිඳු පෙරහර ඇතුළු පොසොන් පිංකම මිහින්තලේදී ඉතා ඉහළින් සැමරීමට මිහින්තලේ රජමහා විහාර කමිටුව සිතා සිටියත් ඒ සඳහා ප්‍රතිපාදන ලබාදීමට රජයට හැකියාවක් නැති බව ප්‍රකාශ විය. මිහින්තලේ පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය නොදීමට රජය තීරණය කළ නිසා පිණ්ඩපාත චාරිකාවක වැඩම කොට පොසොන් පින්කමට සැදැහැතියන්ගේ උපකාර ලබාගෙන පින්කම සිදුකරන බව මිහින්තලේ රජමහ විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසූහ.

මෙවර පසුගිය වසරවලටත් වඩා වැඩි පිරිසක් අනුරාධපුරයට සහ මිහින්තලේට පැමිණීමට නියමිත බවත් එය ලක්ෂ විස්සකට ආසන්න පිරිසක් බවත් වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති. ආර්ථික ප්‍රශ්න මැද වුවද බොහෝ දෙනා දැන් පටන්ම පොසොන්වලට මිහින්තලේ සහ අනුරාධපුර යාමට සූදානම් වෙති. ඒ අතර රාජ්‍ය පොසොන් උත්සවයට දෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් පරිදි නොලැබෙන බව ප්‍රකාශවීම නිසා අර්බුදයක් හටගෙන තිබේ. රට දුවන්නේ ඉතා අමාරුවෙන් බව නායකයෝ ප්‍රකාශ කරති. නමුත් එසේ අමාරුවෙන් යන බව ජනතාවට නොදැනෙන්නේ රජයේ අනවශ්‍ය වියදම් ගැන වාර්තාවන පුවත් නිසාය. ජනතාව නම් එදාවේල ගැටගහ ගන්නේ අමාරුවෙන් බව කවුරුත් දනිති.

මේ අවුරුද්දට මිහිඳු රහත් හිමියන් ඇතුළු දූත පිරිස පැමිණ අවුරුදු 2331කි. බුදුදහම ලැබී එතරම් කල් ගතවුවත් තවමත් රටේ බුදුදහමට අනුව ජීවිතය හැඩගස්වා ගැනීමක් හෝ දේශපාලන නායකයන් බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුව රට පාලනය කිරීමක් නම් දැකගැනීම අසීරුය. රට මෙසේ වළපල්ලට ගොස් ඇත්තේ හෙරකම වංචාවට තැන දීම නිසා බව හැමතින් ඇසේ. පොසොන් උළෙල වැදගත් වන්නේ බෞද්ධ ගුණධර්ම රකින සමාජයකටය. 

මේ ගැන අදහස් පළකරන මිහින්තලේ විහාරාධිපති හිමියෝ: 

''2019 අවුරුද්දේ මිහින්තලේ පොසොන් පිංකම ගැසට් කරලා තියෙනවා. ඒ වගේම විහාරය ජාතික උරුමයක් හැටියටත් ගැසට් කරලා තියෙනවා. දැන් ලේකම්වරයා පවසන්නේ බුද්ධශාසන අමාත්‍යංශය පෙරහැරට මිලියන පහක් දීලා තියෙනවා. ඒකෙ ප්‍රමාණය ගැසට් එකෙන් පල්ලෙහා බැහැලා දැන් මිලියන තුනයි දෙන්නේ කියලයි. ප්‍රාදේශීය ලේකම්තුමා දිස්ත්‍රික් ලේකම්තුමා ගණන් හදලා බලලා තියෙනවා අලි ඇත්තු නැතුව, පන්දම් කොප්පරා නැතුව නැටුම් කණ්ඩායම් ටිකට විතරක් ලක්ෂ පනස් හතක් යනවා. පෙරහරට සම්පූර්ණ වියදම් එකතුව ලක්ෂ එකසිය තිහක් යනවා. ඒවා අඩු කරලා ඒත් ලක්ෂ තිස් තුනක් වෙනවා. දැන් පෙරහැර කරන්න පුළුවන්ද එහෙම? ඒ හින්දා   පිණ්ඩපාතයේ ගිහිල්ලා මුදල් එකතු කරලා ඒ ආලෝක පූජාවත් මම කොහොමහරි කරනවා. ඒ වගේම පෙරහැරත් කොහොමහරි අලි ඇත්තු ටිකක් දාගෙන පවත්වනවා. 

මිහින්තලේ ආලෝක පූජාව මුල්වරට පැවැත්වූයේ 1963 දීය. එය ඉන්පසු සෑම වසරකම ඉතා අලංකාරව පැවැත්වීම සිදුවිය. අම්බස්තල චේතිය ඇතුළු දාගැබ් සහ ගස්වැල් විදුලි බුබුලුවලින් අලංකාර කිරීම නිසා මිහින්තලේට ලැබුණේ සුන්දර පෙනුමකි. මෙවර විදුලි ගාස්තු ඇතුළු අධික වියදම් දරාගත නොහැකි නිසා ආලෝක පූජාවද පැවැත්වීමට හැකියාවක් එම ආයතනයට නොහැකි බව දැනුම් දී ඇතැයි ධම්මරතන හිමියෝ පවසති. පොසොන් පෙරහර නැරඹීමටත් විශාල පිරිසක් මිහින්තලේට පැමිණෙති. එසේ පැමිණෙන බැතිමතුන්ට වැසිකිළි සහ ජල පහසුකම් සැපයීමටද පූජා භූමිය ආලෝකමත් කිරීමටද විශාල මුදලක් වැය වේ.

මිහින්තලේ පොසොන් කමිටුව පසුගිය 23දා රැස්වූ අවස්ථාවේ අනුරාධපුර විදුලි ඉංජිනේරුවරයා දැනුම් දුන්නේ පොසොන් උත්සවයට මිහින්තලේ පුදබිමට විදුලි ආලෝකය ලබාදීමට ප්‍රතිපාදන නොමැති බවය. නායක හිමියන් ඒ අවස්ථාවේ සඳහන් කළේ මෙවර පන්දම් පත්තු කරන්නට සිදුව ඇති බවයි.

මිහින්තලේ පොසොන් උත්සවය කෙසේ පවත්වාවිද යන පැනය බොහෝ දෙනා තුළ පවතින කුකුසකි. බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් ඒ සඳහා රු. මිලියන තුනක් දෙන බව පැවසුවද එය ප්‍රමාණවත් නොවන බව නායක හිමියන්ගේ සහ දායක සභාවේ අදහසයි. මේ ගැන නායක හිමියන් දේශය  සමඟ පැවසුවේ කෙසේ හෝ පෙරහර සහ වෙනත් පිංකම් පවත්වන බවයි: ''මේක ලංකාවේ පළමුවැනි පෙරහරයි. මිහිඳු හාමුදුරුවෝ පිරිනිවන් පෑමෙන් පසුව උන්වහන්සේගේ ධාතු වඩම්මවමින් උත්තිය රජ දවස තමයි පළමුවැනි පෙරහර කර තිබෙන්නේ.  ශ්‍රී ලංකාවේ සිටින සියලු භික්ෂූන් වහන්සේලා පුර අටවක පෝයට පෙර දවසේ වැඩමකර අටවක දවසේ මිහිඳු හිමි පිළිරුව මිහින්තලයේ සේල චෛත්‍යය අසල මළුවේ තැන්පත් කරනවා. තැන්පත් කර පුර අටවක දවසට රජ්ජුරුවෝ ඇවිත් ශ්‍රී ලංකාවේ සිටින සියලු භික්ෂුන් වහන්සේලා කැඳවා, අනුරාධපුරයේ සිටින නගර ආරක්ෂකයෝ මුර ආරක්ෂකයෝ හැරෙන්නට අනෙක් සියලුදෙනා මේ පින්කමට සහභාගිවෙලා පා ගමනින් අනුරාධපුරයට වඩිනවා. අපිත් මේ පෙරහර පවත්වන්නේ ඒ විදිහටයි.

නුවර කලාවියේ තිබෙන එකම සංස්කෘතික මංගල්ලය තමයි මේ පෙරහර. මම නායක පදවියට පත්වීමට පෙර පටන්ම පෙරහර වඩාත් අලංකාර කිරීමට උනන්දු වුණා. පසුව එයට අලි ඇතුන් වැඩි ප්‍රමාණයක් එක්කරගෙන දැනට අවුරුදු 20කට පෙර සිට ජාතික මට්ටමට පත්කිරීමට හැකිවුණා. විවිධ බාධක වරින්වර පැමිණියත් පෙරහර දර්ශනීය ලෙස පැවැත්වීමට අපට හැකියාව ලැබුණා. බෞද්ධයන්ගේ අවාසනාවට මෙවර අපිට රාජ්‍ය අනුග්‍රහය වෙනදා තරම් නොලැබෙන බවයි දක්නට තියෙන්නේ. මේ පෙරහර මෙවර නොකෙරුණොත් දිගටම ඒක පැවැත්වීමට නොහැකි වේවි. ඒකයි අපි උත්සාහ කරන්නේ සැදැහැවතුවන්ගෙන් මුදල් එකතුකර හෝ පෙරහර පවත්වන්න.  ජනතාවගෙන් යැපෙන හිමිනමක් වශයෙන් වසරකට පසුව එළැඹෙන පොසොන් පෝයට මෙහි එන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට පහසුකම් සැපයීම මගේ වගකීමක්. ඒ හින්දා පිණ්ඩපාත චාරිකාවක්  ගොස් හෝ අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට තීරණය කළා.

අනුරාධපුර අටමස්ථාන වන්දනාවේ පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මූලික පහසුකම් සැපයීම ඇතුළු මිහිඳු පෙරහර, මිහින්තලා ආලෝක පූජා පින්කම, වන්දනාකරුවන්ට අවශ්‍ය මූලික පහසුකම් අක්කර ගණනක් පුරා පැතිරුණු පූජා බිමට ආලෝකය සැපයීම, ශබ්ද විකාශන යන්ත්‍ර සවි කිරීම, ජල කරාම සවි කිරීම, ජංගම වැසිකිළි, දන්සල්, රථ ගාල් සැකසීම සිදුකළ යුතුව පවතී. මේ සියල්ල කරන්න මේ කාලය ප්‍රමාණවත් නැති බවයි නායක හිමියන් පවසන්නේ. දැනටමත් දන්සල් තිහක් ලියාපදිංචි වී තිබේ.

I කුසුම්සිරි විජයවර්ධන

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02