“මඩෙන් පිපෙන නෙළුම් මලක් තරම් මම මගේ කඩයට ආදරෙයි.”
රූමස්සල කඳු වැටිය අතරින් පෙනෙන නිල්වන් මුහුදු තීරයකි. ගල්මල් පිපුණු යායක අහස උසට නැගි මාලිගා වන් හෝටල් සංකීර්ණය. තවත් පසෙක දුම මැදින් පියාඹන සුපිරි යාන වාහනය. ඒරොප්පෙ ඉඳන් ඇවිදින් සිටි සුදු නෝනාවරුන් සුදු මහත්වරුන් සීසීකඩය. එහෙව් උණවටුන සංචාරක කලාපයට ඇතුළු වූ මම කුඩා ප්‍රමාණයේ කැෆේ ඉදිරියෙන් ඇති කැට ගල් ඇතිරූ පටු මාර්ගයේ ඉදිරියට ගමන් කළෙමි. එහිදී පැරුණි මාදිලියේ අත් කරත්තයක රෝද හතරක් උඩ මාල ගොඩක් තිබෙනවා දුටුවෙමි. කරත්තයේ හිමිකරු වන ඒ මුදලාලි මාමා යන එන ඕනෑම කෙනකුට සිනාව බෙදන්නේ මුහුණෙන් එකක්ය. ඔහු සමගින් දොඩමළු වෙන්නට ගිය මට කරත්තයේ මාල ගොඩ මැද හීන ගොඩක් තිබෙනවා දැනුණෙමි. මේ දිගහරින්නේ අමාරුවෙන් හිතේ ගුලි කරගෙන සිටි ඒ දුක්බර කතාවයි.
ඔහු නමින් මද්දුමගේ ප්‍රේමලාල්ය. එහෙම නැතිනම් ලෝකයම දන්න විදිහට “උණවටුනේ මයික්ය”. මයික්ගේ මුල්ම රස්සාව වුණේ පළතුරු වෙළෙඳාමයි. පළතුරු කදක් අරගෙන උණවටුන වෙරළේ සංචාරකයන්ට පළතුරු විකුණන්න ගිය මයික් ටික කලක් රස්සාව කරගෙන ගියේ දේවකාරියටත් ඉහළින් රාජකාරිය තබාය. ටික කලක් යනවිට මාල විකිණීමට සිතක් පහළ වූ මයික් කතිර හැඩයට ලීයෙන් සකසා ගත් මාල ගසක් රැගෙන මාල විකුණන්නට කිලෝමීටර ගණන් කකුල් ගෙවෙනකල් ඇවිද්දේය. ඊට ටික කාලයකට පසු මහ මුහුද ගොඩගැලූ 2004 වසරේදී ඔහු දැනට සිටින කරත්තය තම කඩය කරගත්තේ කුලියට ඉල්ලාගෙනය. මහ මුහුද ගොඩගලා දැනට වසර 18කි. එහෙයින් මයික්ගේ මාල කරත්තයටත් වසර 18ක් වන්නේය. පොල්කටු මාල, සිප්පිකටු මාල, පන්වලින් හැදූ බෑග් ආදී ස්වභාවික අමුද්‍රව්‍යවලින් හැදූ ආභරණ සහ මැටියෙන් නිම කළ විසිතුරු භාණ්ඩ, සමරු භාණ්ඩ කරත්තයේ විකිණීමට ඇති අතර ඒවා සාදන්නට ඔහුටම වෙන්වූ බාස්ලා දෙදෙනෙක් සිටිති. මයික් තමන්ගේ හිතේ තියෙන අදහස ඔවුන්ට පවසා ඒ භාණ්ඩ සාදවා ගනී. අපේ රටේ බොහෝ දෙනා මයික් ගැන නොදන්නවා වුණත් පිටරට විදේශිකයෝ බොහෝදෙනා ලංකාවේ උණවටුනේ මයික් පිළිබඳ නව ඇසූ සැණින් දනිති.
“මගෙන් බඩු ගත්ත විදේශීය සංචාරකයෙක් තමයි මුලින්ම මං ගැන අන්තර්ජාලයට දාලා තිබුණේ. එදා ඉඳන් අදටත් මගෙන් බඩු ගන්න එන විදේශීය සංචාරකයන් අතර මම ගොඩක් ප්‍රසිද්ධයි. හැමෝම මට ආදරෙයි. මට අන්තර්ජාල පරිශීලක ජනප්‍රියභාවය (Google Ratings) 5.0 මට්ටමේ තියෙනවා කියලා ගොඩක් අය පෙන්නුවා. විදේශිකයන් මට ගොඩක් ආදරෙයි. එයාලාම තමයි මාව ගොඩක් ජනප්‍රිය කළේ. එයාලා ලංකාවට ආවාම මාව හොයාගෙන උණවටුනට එනවා. මා සමඟ ඡායාරූප ගන්නවා.”
මයික් මාමා තමන්ගේ ජනප්‍රිය භාවය ගැන කිව්වේ එහෙමය. ඒ කතාබහ අතරතුර ඈත අතීතයට දිව ගිය මයික් මාමා එදා උණවටුනේ අසිරිය සිහිකළේ මෙහෙමයි.
“සංචාරක කර්මාන්තය නිසා අද මෙහෙම දියුණුවෙලා තිබුණත් උණවටුන ගම්මානය ඈත අතීත ලංකාවේ ලාම්පු තෙල් ගම්මානයක්. ඒ කාලේ මේ ගම්මානයට එන්න තිබුණේ මැටි පාරක්. පාර දිගට බිම්මල් වැවිලා තිබුණා. ගම්මානයේ කිසිම තැනකට ලයිට් තිබුණේ නෑ. පාවිච්චි කළේ භූමිතෙල් ලාම්පු. උණවටුන ගම්මානයේ මුල් පදිංචිකරුවන් විදිහට හිටියේ විදේශීකයන් 6 දෙනකු විතරයි. ලෝක ප්‍රකට විද්‍යාඥයකු වන ආතර් සී. ක්ලාක් මහත්තයා ලංකාවට ඇවිත් නැවතී හිටියේ උණවටුනේ. උණවටුන ගැන මුල්ම පොත ලියූවේ ඔහු. ඉස්සර ක්ලාක් මහත්තයා අපිට ටොෆි බෙදනවා. ඒකෙන් උණවටුන මුළු ලෝකයේම ප්‍රසිද්ධ වුණා. ආතර් සී. ක්ලාක් මහත්තයා හරි ආසයි මුහුදෙ පනින්න. ඔහු දක්ෂ කිමිදුම්කරුවෙක්. ඔහුගේ දෙවැනියා හිටියේ ඒකනායක කියලා මහත්තයෙක්. ඔහු කොළඹ 07, බාන්ස් ප්ලේස්වල හිටියේ.”
දේවකාරියටත් ඉහළින් සලකන සිය රාජකාරිය පිළිබඳ මයික් මාමා මා සමඟ පැවසූ අවසාන ප්‍රාර්ථනය මෙයයි.
“මම සංචාරකයන්ට බොරු කරන්නේ නෑ. මම ලෝක ප්‍රසිද්ධ වුණේ මගේ අවංකකම නිසයි. හැමදාම විකුණන්නේ ඇත්ත බඩු. මම උණවටුනෙ කාමරයක් අරන් තමයි ජීවත්වෙන්නේ. මට මහලොකු දේවල් ඕනෑ නෑ. පොඩියට කඩයක් හදාගෙන මේ රස්සාව කරගෙන ඉන්න තිබුණානම් මට ඒ ඇති. මඩෙන් පිපෙන නෙළුම් මලක් තරම් මම මගේ කඩයට ආදරෙයි.''
ව්‍යාපාර ගනුදෙනු බැඳී ඇත්තේ ව්‍යාපාරිකයාගේ සහ පාරිභෝගිකයාගේ විශ්වාසය මතය. එහෙයින් උණවටුනේ මයික් වැනි පුංචි මිනිසකුගේ විශ්වාසයට ඔහුගෙන් භාණ්ඩ මිලදී ගැනීමට විදේශිකයන් මෙරටට පැමිණෙනවා නම් එය වෙනමම සිතාබැලිය යුතු කරුණක් වන්නේය. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම මහත් අභියෝගයක් වී ඇති අතර විදේශීය ආයෝජකයන්ට සේම සංචාරකයන්ට මෙරට සමහර මන්ත්‍රීලාගෙන් බේරීමටද දැන් දැන් සිදුවී ඇත්තේය. එවන් කාල වකවානුවක සංචාරක ව්‍යාපාරයට උරදෙන මහාපරිමාණ ව්‍යාපාරිකයන් වගේම උණවටුනේ මයික්ලාවද රුකගැනීම කාලීන අවශ්‍යතාවක් වන්නේය.
I සසංක චලන ගිම්හාන