2023 මැයි 28 වන ඉරිදා

අලකලංචි මැදින් ආ අන්තරේ අලුත් කැඳවුම්කරු

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 41

ගතවුණු සතියේ වැඩි අවධානයක් යොමු වූ පුවත් අතර අන්තරේ නව කැඳවුම්කරු පත්වීම ප්‍රමුඛ විය. අන්තරය යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයයි. මෙරට දැවැන්තම ශිෂ්‍ය ව්‍යාපාරය අන්තරය වන අතර එය රටේ තීරණාත්මක අවස්ථාවන්හිදී ශිෂ්‍ය මතය වෙනුවෙන් පෙනී සිටියි. ලක්ෂයකට අධික විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ ගැටලු සඳහා පෙනී සිටින අන්තරය ජාතික වැදගත්කමක් සහිත සෑම සන්ධිස්ථානයකම මැදිහත් වෙයි. අන්තරය මැදිහත් වූ දැවැන්ත මහජන ව්‍යාපාර අතර රාගම වෛද්‍ය පීඨය ජනසතු කිරීම, සයිටම් විරෝධී සටන සහ 2022 ජනතා අරගලය ප්‍රමුඛ වෙයි. එනිසාම අන්තරය කාගෙත් අවධානයට ලක්වූ නිතර කතාබහට ලක්වන ව්‍යාපාරයකි.

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක මහා ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ගෙන් අන්තරය සැදුම්ලන අතර එහි ප්‍රධානියා වන්නේ කැඳවුම්කරුය. අන්තරේ කැඳවුම්කරු තෝරාගනු ලබන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ගේ පොදු එකඟතාවයකිනි. වර්ෂ දෙකෙන් දෙකට කැඳවුම්කරු තෝරාපත් කෙරෙන අතර අවසන් වරට අන්තරයේ කැඳවුම්කරු වූයේ වසන්ත මුදලිගේය. වසන්තගේ ධූර කාලය ඉකුත් මාර්තු මස අවසන් වීම නිසා වසන්ත කැඳවුම්කරු ධූරයෙන් ඉවත් වීමට තීරණය කළේය. ඒ අනුව නව කැඳවුම්කරු තෝරාගැනීමට අවස්ථාව එළඹිණි. රජරට විශ්වවිද්‍යාලයේදී නව කැඳවුම්කරු තෝරාගැනීම සිදුවූ අතර ඉකුත් 20 වැනි දින සිට වර්ෂ දෙක සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මධුෂාන් චන්ද්‍රජිත් කටයුතු කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නිල වශයෙන් නිවේදනය කළේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ අවසන් වසර සිසුවෙක් වන මධුෂාන් චන්ද්‍රජිත්ගේ උපන්ගම ඇඹිලිපිටිය තෝරකොළයාය ප්‍රදේශයයි. සිය පාසල් අධ්‍යාපනය සඳහා වීරකැටිය මහින්ද රාජපක්ෂ ජාතික පාසලට පිවිසෙන මධුෂාන් උසස් පෙළ හැදෑරීමට විද්‍යා අංශය තෝරාගත්තේය. 2015 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ඔහුට විශ්වවිද්‍යාල වරම් දිනාගැනීමට ප්‍රමාණවත් ප්‍රතිඵල නොලැබුණි. නැවත 2016 වසරේ ද උසස් පෙළ විභාගයට පෙනී සිටියත් ප්‍රතිඵලයේ වෙනසක් නොවීය. එහෙත් තම විශ්වවිද්‍යාල සිහිනය ළඟා කරගැනීමේ උත්සාහය අත් නොහල මධුෂාන් තෙවැනි වරත් උසස් පෙළට පෙනී සිටීමට තීරණය කළේය. එහිදී භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාව යන විෂයන් A සාමාර්ථ සහිතව ද ජීව විද්‍යාව C සාමාර්ථයක් සහිතව ද සමත් වීමට ඔහුට හැකි විය. එම ප්‍රතිඵල මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයට ඇතුළු වීමට මධුෂාන්ට අවස්ථාව උදා විය.

විශ්වවිද්‍යාලය තුළ මධුෂාන් ප්‍රසිද්ධ බීමා යන නමිනි. විශ්වවිද්‍යාලයට ඇතුළු වූ දා පටන් ශිෂ්‍ය සංගම් කටයුතුවලට පිවිසි ඔහු සම සෞඛ්‍ය පීඨ සභාපති ධූරයට තේරි පත්විය. එම කාලය තුළ උද්ඝෝෂණ අවස්ථාවකදී විශ්වවිද්‍යාල ආචාර්යවරයකු සමඟ ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් පන්ති තහනමකට ද ඔහු ලක් විය. වාමාංශික දේශපාලනයට ආකර්ෂණය වූ ඔහු විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ පූර්ණකාලීනයෙක් ලෙසත් කටයුතු කිරීමට තීරණය කළේ විශ්වවිද්‍යාලයට පිවිස් මුල් කාලය තුළයි.

පසුගිය අරගල සමයේ ගෝල්ෆේස් අරගලයට සක්‍රීයව සහභාගි වූ මධුෂාන් දැනට අත්අඩංගුවේ සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරගැනීම වෙනුවෙන් ද පෙනී සිටියි. වසන්ත මුදලිගේ සමඟ කරට කර සටන් පෙරමුණේ සිටි මධුෂාන් කියා සිටින්නේ ඉදිරියේදී අරගලයේ අභිලාෂයන් දිනාගැනීමට විශ්වවිද්‍යාල සිසුන් සංවිධානය කරන බවයි. “මීට අවුරුද්දකට කලින් ජනතාව මහපාරට බැහැලා දැවැන්ත අරගලයක් කළා. ඒකට හේතු වුණේ රටේ ජනතාවට තිබුණු ප්‍රශ්නවලට විසඳුම් දෙන්න කිසිදු හැකියාවක් ආණ්ඩුවට නොතිබීම. ඒ ශ්‍රේෂ්ඨ ජනතා නැගිටීමට පුළුවන් වුණා ගෝඨාභය රාජපක්ෂ පළවා හරින්නත්, අගමැති ගෙදර යවන්නත්, වාර කිහිපයකදී කැබිනට් මණ්ඩලය මාරු කරන්නත්. මේ අවස්ථාවලදී ව්‍යවස්ථාවේ හිල් පාවිච්චි කරල බලයට ආව රනිල් වික්‍රමසිංහ රට දැවැන්ත අඝාතයකට ඇදල දාලා ඉවරයි. පාලකයෝ මේ වෙද්දිවත් ජනතාවට තියෙන ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙලා නෑ. උදේ ආහාර ගන්නෙ නැතුව සිසුන් ලක්ෂ 14ක් පාසල් යනවා. බදු ප්‍රතිපත්ති නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරු රට දාලා යනවා. සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙනවා ආචාර්යවරුන්ගෙන් 27% ක් රට හැරදාලා ගිහින් කියලා. ආචාර්යවරුන්ගේ හිඟය නි‍සා විශේෂවේදී උපාධියට බඳවා ගැනීම් 50% කින් අඩු කරලා. ඒ වගේම විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ වාරිකය මාස ගාණකින් ලැබිලා නෑ. ලැබෙන වාරිකයත් ජීවන වියදමත් එක්ක ප්‍රමාණවත් නෑ. අනධ්‍යන සේවකයන්ටත් ප්‍රශ්න තියෙනවා. අධ්‍යයන සුබසාධනය ගැටලුව නිසා පාසල් අධ්‍යාපනයත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් දැවැන්ත අර්බුදයකට ගිහින් තියෙනවා.''

අධ්‍යාපනය සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන ගැටලු විසඳා ගැනීම සිය ප්‍රමුඛ කාර්යය වනු ඇතැයි මධුෂාන් කියා සිටියි. නව කැඳවුම්කරු ලෙස පත්වී දින කිහිපයක් ගතවීමට මත්තෙන් මහපොළ භාරකාර අරමුදලට පැමිණ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටත් හෙතෙම කටයුතු කළේය. එමෙන්ම මේ වනවිට සිරගතව සිටින කැලණිය විශ්විවද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් නිදහස් කරගැනීමට නීතීමය කටයුතු සම්බන්ධයෙන් වන සාකච්ඡාවන්ටද ඔහු සහභාගි වූවේය. විශ්වවිද්‍යාල සිසුන් මර්දනය කිරීම සඳහා පන්ති තහනම් කිරීම, සිරගත කිරීම ආදි ක්‍රමවේද ආණ්ඩුව අනුගමනය කරමින් සිටින බව මධුෂාන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“කලින් ජනතාව අරගල කරපු ප්‍රශ්නත් තවමත් තියෙනවා. ඒ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලට රනිල් වික්‍රමසිංහ එකඟවෙලා තියෙනවා. ඒ වැඩපිළිවෙළ නිසා ගැටලු තව තවත් තීව්‍ර වෙලා තියෙනවා. රාජ්‍ය ආයතන, රාජ්‍ය දේපළ හා සංස්ථා 430ක් විකුණන්න අණ පනත් සකස් කරලා ඉවරයි. ගෙවන වාට්ටු සංකල්ප, පෞද්ගලික විශ්වවිද්‍යාල, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු යන හැම එකක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිඵල. ලබන අවුරුද්දේ මුල් කාර්තුවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපිත කරන්න අනුමැතිය දීලා තියෙනවා. මේ විදිහේ දැවැන්ත ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙද්දි ආණ්ඩුව බයෙන් ඉන්නවා නැවත වටයකින් ජනතාව පාරට බැහැල විසඳුම් ඉල්ලයි කියලා. ඒ නිසා අතිශය තීව්‍ර විදිහට මර්දනය කැඳවලා තියෙනවා. මීට දින කිහිපයකට කලින් කොළඹ විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවකින් කෑම පැකට් 1000ක් ඕඩර් කළා කියලා මුළු කොළඹම වටලලා කොළඹ විශ්වවිද්‍යාලය දවස් තුනක් තිස්සේ හමුදා මුරකාවල් යොදලා තිබුණා. විශ්විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට අතීතයේ ඉඳන් කළා වගේ විශ්විද්‍යාල ප්‍රජාවගේ ගැටලු විසඳන්නත් රටේ ජනතාවගේ පොදු ගැටලු විසඳන්නත් ජනතාව සංවිධානය කරලා කටයුතු කරනවා.''

නව කැඳවුම්කරු ලෙස මධුෂාන් චන්ද්‍රජිත් පත්වීම සම්බන්ධයෙන් විවිධ මත වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය තුළ පළ වී තිබුණි. ඔහුගේ පත්වීම කුමන්ත්‍රණකාරීව සිදු වූ බවත් කැඳවුම්කරු තේරීම සඳහා කොළඹ, මොරටුව, පේරාදෙණිය, රුහුණ, යාපනය ආදී විශ්වවිද්‍යාල සම්බන්ධ නොවූ බවත් සඳහන් විය. කෙසේ නමුත් අන්තරේ හිටපු කැඳවුම්කරු කියා සිටියේ අන්තරේ කටයුතුවල අඛණ්ඩව සිටි ආයතන 11 ක පොදු එකඟතාව මත මෙම පත්වීම සිදු වූ බවයි. 

I සකීෆ් සාම්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02