2023 මැයි 28 වන ඉරිදා

වෙරිටේ රිසර්ච් කියන ලංකාවට ඕනෑ අමාත්‍යංශ 15

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 45

ආණ්ඩුවක් කාර්යක්‍ෂමව සහ ඵලදායි ලෙස ක්‍රියාත්මක වීම සහතික කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ඉටුකරනු ලබන කාර්යභාරය ඉතා වැදගත් වේ. එහෙත් ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යාංශ සැලසුම් කර ඇති ආකාරය මත  රටට ඵලදායී  සේවාවක් සැලසීමට නොහැකි වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය මගින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ.

එක් අමාත්‍යංශයක් යටතේ පැවතිය යුතු විෂයන් විවිධ අමාත්‍යංශ අතර බෙදා තිබීම සහ එකිනෙකට නොගැළපෙන විෂයන් එක අමාත්‍යංශයක් යටතට පවරා තිබීම ප්‍රධාන ගැටලු ලෙස පෙන්වා දෙන එම ආයතනය මෙම ගැටලු හමුවේ තීරණ ගැනීම සහ තීරණ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීමෙන් ආණ්ඩුවේ වගවීම සහ සක්‍රීය ලෙස ක්‍රියාත්මක වීමට පවතින හැකියාව පහත වැටීම හා  සමස්තයක් ලෙස ආණ්ඩුවේ කටයුතුවලට වැඩි මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවීම වැනි තත්වයන්ට මුහුණදීමට සිදුවී ඇති බවත් එම ආයතනය පෙන්වා දෙයි.

2010-2020 කාලය තුළ අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල, අස්ථාවර කැබිනට් අමාත්‍යාංශ පිළිබඳ ගැටලුව, පැවැති ආණ්ඩු තුළ බහුලව දක්නට ඇතැයි එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. එබැවින් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ක්‍රියාත්මක වන ආණ්ඩුවක් ඇති කර ගැනීම සඳහා මෙම ගැටලු නිරාකරණය කිරීම ඉතා වැදගත් වේ. ඒ සඳහා පර් යේෂණ මත පදනම්ව, රටට ගැලපෙන අමාත්‍යාංශ 15 ක ආදර්ශ නියැදියක් වෙරිටේ රිසර්ච් ආයතනය ඉදිරිපත් කර තිබේ.

එම වාර්තාව අනුව රටට වැදගත් අමාත්‍යංශ 15 ලෙස ඔවුන් නම් කර ඇත්තේ මූල්‍ය හා සැලසුම්, අධිකරණ, කෘෂිකර්ම, ආරක්ෂක, අධ්‍යාපන සහ පර්යේෂණ, විදේශ කටයුතු, සෞඛ්‍ය, කම්කරු, මහජන උපයෝගිතා, වරාය නාවික හා සිවිල් ගුවන් සේවා, ආර්ථික කටයුතු,  ස්වදේශ කටයුතු හා රාජ්‍ය පරිපාලන, පවුල් හා ප්‍රජා සංවර්ධන, පරිසර, සහ සමාජ හා සංස්කෘතික යන අමාත්‍යංශ වේ. මෙම අමාත්‍යංශවලට පැවරෙන වගකීම් මෙලෙස දක්වා තිබේ.

මූල්‍ය හා සැලසුම් අමාත්‍යංශය

මූල්‍ය හා සැලසුම් අමාත්‍යංශයට ජාතික සැලසුම් සකස් කිරීම සහ ප්‍රතිපත්ති ප්‍රමුඛතා තීරණය කිරීම, රජයේ වාර්ෂික අයවැය සකස් කිරීම සහ රාජ්‍ය ආයතන සහ ව්‍යාපෘති සඳහා සම්පත් වෙන්කිරීම පැවරේ.

අධිකරණ අමාත්‍යංශය

අධිකරණ පද්ධතිය පරිපාලනය, උසාවි, බන්ධනාගාර පරිපාලනය සහ නීති ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම.

කෘෂිකර්ම අමාත්‍යංශය

භෝග පදනම් කරගත් කෘෂිකර්මාන්තය සංවර්ධනය, කෘෂිකාර්මික සේවා සැපයීම සහ ගොවීන්ට පොහොර සැපයීම, සත්ව පාලනය සංවර්ධනය සහ පශු සම්පත් නිෂ්පාදනය, වාරිමාර්ග ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය පැවරේ.

ආරක්ෂක අමාත්‍යංශය

අභ්‍යන්තර හා බාහිර වශයෙන් රාජ්‍යයට එල්ලවන තර්ජන සඳහා ප්‍රතික්‍රියා කිරීම, ස්වභාවික විපත් සම්බන්ධයෙන් ක්ෂණිව ප්‍රතිචාර දැක්වීම.

අධ්‍යාපන සහ පර්යේෂණ අමාත්‍යංශය

ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය පිළිබඳ ජාතික සැලසුම්කරණය සහ සම්බන්ධීකරණය, විශ්ව විද්‍යාල කළමනාකරණය සහ උසස් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම, තාරුණ්‍යයට සම්බන්ධ කරුණු කළමනාකරණය කිරීම සහ අනාගත රුකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම, වෘත්තීය පුහුණු ආයතන නියාමනය සහ වෘත්තීය පුහුණුව ලබාදීම, විද්‍යාත්මක පර් යේෂණ පැවැත්වීම සඳහා වෙනත් ආයතන හා විශ්වවිද්‍යාල අතර සම්බන්ධිකරණය පැවැත්වීම.

විදේශ කටයුතු අමාත්‍යංශය

ශ්‍රී ලංකාව හා විදේශ රාජ්‍ය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කළමනාකරණය කිරීම.

සෞඛ්‍ය අමාත්‍යංශය

සෞඛ්‍ය සේවා සැපයීම සහ රෝහල් සංවර්ධනය, ඖෂධ නිෂ්පාදනය සහ ඖෂධ නිෂ්පාදකයන් නියාමනය, වසංගත හෝ වෙනත් සෞඛ්‍ය ගැටලු සඳහා සූදානම් වීම සහ වැළැක්වීම.

කම්කරු අමාත්‍යංශය

කම්කරු රෙගුලාසි ක්‍රියාත්මක කිරීම, කම්කරු සුබසාධනය සහ රුකියා මට්ටම් කළමනාකරණය, විදේශ රුකියා නියාමනය සහ විදේශගත සේවක සුභසාධනය, කර්මාන්ත පිළිබඳව සොයාබැලීම සහ වෘත්තීය සමිති කළමනාකරණය.
මහජන උපයෝගිතා අමාත්‍යංශය

දුම්රිය සහ අධිවේගී මාර්ග ඇතුළුව ප්‍රවාහන, සන්නිවේදන, තැපැල් හා විදුලි සංදේශ සේවාවන්හි යටිතලපහසුකම් සංවර්ධනය සහ නියාමනය. බලශක්ති උත්පාදනය බෙදා හැරීම සහ සියලු බලශක්ති උත්පාදනය සඳහා යටිතල පහසුකම් ලබාදීම, නගර සංවර්ධන සැලසුම් සහ දැරිය හැකි මුදලට නිවාස ඉදිකිරීම.

වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය 

වරාය සංවර්ධනය, නාවික කටයුතු, ගුවන් සේවා කටයුතු සංවර්ධනය සහ නියාමනය.

ආර්ථික කටයුතු අමාත්‍යංශය

සංචාරක කර්මාන්තය ඇතුළු සියලු දේශීය ආර්ථික කටයුතු නියාමනය, වාණිජ හා අභ්‍යන්තර වෙළෙඳාම නියාමනය, සමාගම් ලියාපදිංචිය සහ නියාමනය, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසාය සඳහා සහය වීම, පාරිභෝගික ආරක්ෂාව සහ දැරිය හැකි මිලකට අවශ්‍යතා ලබාගැනීම සහතික කිරීම, අපනයන ප්‍රවර්ධනය සහ වෙළෙඳ සබඳතා කළමනාකරණය.

ස්වදේශ කටයුතු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය

සිවිල් සේවය, පොලිස් බලකාය සහ දේශසීමා ආරක්ෂාව කළමනාකරණය සහ සම්බන්ධීකරණය, පිරිස් කළමනාකරණය සහ පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට ප්‍රතිපාදන ලබාදීම, ඒවායේ පරිපාලන කටයුතු සම්බන්ධීකරණය කිරීම උපත්, මරණ සහ විවාහ ලියාපදිංචිය.

පවුල් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය

සමාජ සුබසාධන සේවා, කාන්තාවන්ගේ සමාජ තත්ත්වය ඉහළ නැංවීම, අවතැන් වූවන් වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් පුනරුත්ථාපනය කිරීම, ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ජාතික සැලසුම් ක්‍රියාත්මක කිරීම.

පරිසර අමාත්‍යංශය

පරිසරය ආරක්ෂා කිරීම සහ දේශීය ජෛව විවිධත්වය සංරක්ෂණය, ජාතික වනෝද්‍යාන සහ වනජීවී කලාප කළමනාකරණය සහ කාලගුණ නිරීක්ෂණ පැවැත්වීම, දේශගුණික විපර්යාස පිළිබඳ පර් යේෂණ පැවැත්වීම, සහ ඉන් ඇතිවිය හැකි බලපෑම් සීමා කිරීමට ගතයුතු පියවර යෝජනා කිරීම.

සමාජ හා සංස්කෘතික අමාත්‍යංශය

රාජ්‍ය මාධ්‍ය ආයතන සහ තොරතුරු විකාශනය කළමනාකරණය, ආගම් සම්බන්ධ ප්‍රතිපත්ති හා සංස්කෘතිය සම්බන්ධ ප්‍රතිපත්ති කළමනාකරණය, ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සහ නියාමනය කිරීම.

ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22කි. අපට කැබිනට් අමාත්‍යවරු 22ක් සහ රාජ්‍ය අමාත්‍යවරු 38 දෙනෙක් සිටිති. ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට එතරම් අමාත්‍ය මණ්ඩලයක් අවශ්‍ය වන්නේ මන්දැයි සිතෙන්නේ ලොව බලවත් රාජ්‍යවල පවා ඇත්තේ අමාත්‍යවරුන් සුළු පිරිසක් පමණක් වන බැවිනි. මිලියන 1426ක ජනගහනයක් සහිත චීනයේ සිටිනුයේ කැබිනට් අමාත්‍යවරු 26කි. මිලියන 1425ක් සිටින ඉන්දියාවේ සිටින්නේ කැබිනට් අමාත්‍යවරු 29 දෙනෙකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝ. බයිඩන්ගේ ආණ්ඩුවේ ඇත්තේ විධායක දෙපාර්තමේන්තු (ඇමැති ධුර) 15ක් පමණි. එසේ නම් මෙතරම් විශාල අමාත්‍ය මණ්ඩලයක් නඩත්තු කරනවා වෙනුවට ඔවුන් සඳහා වැය කරන මුදල් මහජන සුබසාධනය සඳහා වෙන්කොට වෙරිටේ රිසර්ච් ආයතනය මගින් හඳුන්වා දී ඇති පරිදි අමාත්‍යංශ 15 මගින් මේ කුඩා රට පාලනය කළ නොහැක්කේ මන්ද?

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02