2023 මැයි 28 වන ඉරිදා

මගෙන් සද්දයක් නැතිවුණොත් ඒජන්සියට ’’කෝල්’’ කරලා බලන්න

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 33

''අම්මේ මම වැඩ කරන ගෙදර මනුස්සයා යකෙක් වගේ නපුරුයි... වෙලාවකට බයයි. කියලා දුව කෝල් කරපු වෙලාවක කීවා. එතකොට අනේ පුතේ ඔයා එහෙනම් ගෙදර එන්න කියද්දි තව ටිකක් බලමුකො අම්මේ කියලා කීවා..''

සිංගප්පූරුවේ නිවෙසක ගෘහ සේවිකාවක වශයෙන් සේවය කරමින් සිටියදී මහල් 32 ක ගොඩනැගිල්ලක 8 වැනි මහලින් ඇද වැටී මියගිය නදීකාගේ මව හඬන කඳුළින් මෙසේ කීවාය. හදිසියේ මියගිය නදීකාගේ මරණය සැක සහිත බව ඇගේ සැමියා, මව හා ඥාතීන් පවසන අතර ඇය සියදිවි නසාගන්නට ඇතැයි සැක නිසා මරණය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බවට සිංගප්පූරුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ද පවසති. 

සිය බිරියට මහල් අටකින් පැන සියදිවි නසා ගැනීමට තරම් මානසික දුර්වලතාවයක් නොවූ බවට මියගිය නදීකාගේ සැමියා වන පතිරණගේ ප්‍රේමතුංග මහතා පැවසුවද ඇය ඉකුත් 16 වැනිදා තට්ටු නිවාසයකින් බිමට වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සිංගප්පූරුවේ සමාජ මාධ්‍යවල දක්නට ලැබෙන බව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ කියති.

එහි සඳහන් ආකාරයට මහල් 32 කින් යතු ගොඩනැගිල්ලක අටවැනි මහලේ ජනේලයකට පිටින් පිහිටි පටු කොන්ක්‍රීට් තීරුවක නදීකා රුඳී සිටින්නීය. අසල ජනේලය ඇතුළත සිටින කාන්තාවක නදීකා වළක්වන්නට මෙන් උත්සාහයක යෙදෙන්නීය. තත්ත්පර කිහිපයක දර්ශනය තුළ ඉහළ මහලින් ඇද වැටෙන නදීකා ජීවිතක්ෂයට පත්වන අතර සිදුවීම රූගත කර ඇත්තේ වෙනත් ගොඩනැගිල්ලක උඩු මහලක සිටි කාන්තාවක විසිනි. ඇයට හෝ වෙනත් පුද්ගලයකුට නදීකා බේරාගන්නට තරම් කාලයක් හෝ පහසුකමක් තිබී නැති බවද කියැවේ.

මෙසේ මරණයට පත්ව ඇති නදීකා දිල්හානි ප්‍රනාන්දු (41) නම් ඇය දංකොටුව යෝගියාන, ඉහළවෙලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. ප්‍රදේශයේම ඇඟලුම් හලක වැඩ පරීක්ෂකවරියක වශයෙන් සේවයට බැඳුණු ඇය විවාහයෙන් දෙමසක පමණ පසුව සයිප්‍රසය බලා ගොස් තිබුණේ ගෘහ සේවය සඳහාය. ඒ 2004 වසරේදී පමණ වන අතර පැවති නොගැලපීම් නිසා ඒ කාලයේදීම විවාහයෙන් නිත්‍යනුකූලව වෙන්වීමට ඇය කටයුතු කර තිබිණ. අනතුරුව වසර එකොළහක් පමණ එරට සේවයේ නිරතව සිට මෙරටට පැමිණ තිබුණේ 2019 වසර අගදීය.

එසේ නිවෙසට වී සිටි ඇය නැවත වරක් විවාහ වී තිබුණේ ඇයට ඥාතිකමක්ද ඇති පතිරණගේ ප්‍රේමතුංග සමඟය. ඔහු ත්‍රිරෝද රථ රියැදුරෙකි. කොවිඩ් වසංගතය හමුවේ පැවති ආර්ථික ගැටලු නිසා නැවත වරක් විදෙස් ගතවීමට තීරණය කළ නදීකා දෙමහල් නිවෙසක් ඉදිකිරීමට පටන් ගත්තද එහි වැඩ අවසන් කළේ පළමු මහලේ පමණි. නිවෙසේ ඉතිරි වැඩ ටිකත් නිම කරවා ගැනීමේ අදහසින් ඇය නැවත වරක් විදෙස් ගතවී තිබුණේ ගෘහ සේවය සඳහාය. මෙවර ඇය සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණේ පසුගිය ජනවාරි මස මුලදීය. එරට සේවයට ගිය ඇය එහි ගත කළ පළමු මාස හතර පුරාම එකම නිවෙසක සේවය කළාය. එහිදී වයසක ආච්චි හා සීයා කෙනකු බලාගත් බව පවසා තිබෙන අතර එම නිවෙසේ වැඩ අධික බවත් ආහාරපාන අප්‍රිය බවත් සැමියාට දුරකථනයෙන් පවසා තිබිණ. එබැවින් එම නිවෙසින් ඉවත් වන බව හා වෙනත් ස්ථානයක සේවයට යන බවද දන්වා ඇතැයි කියති. ඒ අනුව ඒ බව ඇය රුකියාවට යැවූ ඒජන්සියට ඒ බව දන්වා තිබුණාය. මේ අතර ඇය මාසයක පමණ කාලයක් රුකියා ස්ථානයක් නොමැතිව එරට රුඳී සිටි බවද සැමියා පවසයි. එසේ සිටියදී පසුගිය අප්‍රේල් 2 වැනිදා ඒජන්සිය වෙතින් ඇයට නව රුකියා ස්ථානයක් සොයා දී තිබුණි. එම නිවෙස ඉන්දීය පන්ජාබ් යුවළක් සමඟ දරුවන් දෙදෙනකු සිටින නිවෙසකි.

මෙම නව සේවා ස්ථානය ඇයට පෙර සේවය කළ නිවෙසටත් වඩා අසීරු තැනක් වී ඇතැයි පැවසේ. ඒ සඳහා ඇගේ හිතවතියන්ද සාක්ෂි දරන බව කියන්නේ ඇය සිදු කළ දැනුම්දීම් හේතුවෙනි. මේ සම්බන්ධයෙන් කතා කරන මියගිය නදීකාගේ සැමියා වන පතිරණගේ ප්‍රේමතුංග මෙසේ කීය.

''නදීකාට අලුත් ගෙයක් හොයලා දුන්නේ අප්‍රේල් 2 වැනිදා කීවා. ඊට කලින් මාස හතරම වයසක ආච්චි සීයා දෙන්නෙක් බලාගත්තේ. එතන වැඩ වැඩියි කෑම කන්න අමාරුයි කීවා. පස්සෙ දවස් තිහක් එතනින් අයින්වෙලා ඉඳලා තමයි ආයෙත් ගෙදරක් හොයා ගත්තෙ. ඒ ගෙදරට ගිය දවසේ ඉඳන් කෝල් කළේ අඩුවෙන්. එතන හිටියේ බයෙන්. හැමතිස්සෙම බණිනවා කීවා. අන්තිමට මට කතා කළේ පසුගිය 16. එදා හදිසියේම ෆෝන් එක තිබ්බා. ඒ නිසා මටත් බයක් ඇතිවුණා. පස්සෙ මම කෝල් 500 කට වැඩිය ගත්තා. බැරිම තැන ඒජන්සියට කතා කරලා මම නදීකා ගැන ඇහුවා. ඊට පැයකට විතර පස්සේ ඒජන්සියෙන් කතා කරලා කීවා නදීකා තට්ටු 32 ක ගොඩනැගිල්ලේ 8 වැනි තට්ටුවෙන් පැනලා දිවි හානි කරගෙන කියලා. නදීකා කලිනුත් අවුරුදු 11 ක් රට හිටියා. ඉතින් මෙයාට රට රස්සා පුරුදුයි. ඒ නිසා මරණය අපට සැකයි.''

නදීකා එරට සේවය කරන අතරතුර ඇයට පැවති දුෂ්කරතා පිළිබඳ එරට මිතුරියන්ට අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇති බව පැවසේ. මේ අනුව ඇගේ හිතවතුන් පවසන්නේ නදීකාට සේවා ස්ථානයේ නිවැසියන්ගෙන් එල්ල වූ හිරිහැර නිසා මානසික පීඩනයක පසුවන්නට ඇති බවය. ඒ බව උත්සන්න වීම නිසා සියදිවි නසා ගත්තේද ගැටලුවකි. 

මේ අතර නදීකා විසින් ඇයගේ මිතුරියකට වට්ස්ඇප් ඔස්සේ වීඩියෝ පණිවුඩයක් යොමු කර තිබුණේ මෙසේය.

''මගෙන් සද්දයක් නැතිවුණොත් ඒජන්සියට කෝල් එකක් දීලා බලන්න. අද මම කරන වැඩ ඔක්කොම අවුල්. මට මිනිහා මොනවා කරයිද දන්නෙ නෑ.''

කෙසේ වෙතත් සිංගප්පූරුවේදී මියගිය නදීකාගේ මළසිරුර පසුගිය 20 වැනිදා මෙරටට රුගෙන එනු ලැබීය. එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මළසිරුර ඥාතීන්ට බාර දී තිබිණ. එම මරණය සම්බන්ධයෙන් සිංගප්පූරු පොලිසිය විමර්ශනයක් සිදු කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් කඩිනම් විමර්ශනයක් අරඹා ඇත. ඒ අනුව අවශ්‍ය පියවර ගන්නා බව එම කාර්යාංශය දැනුම් දී තිබේ.

I සමන්ත ප්‍රදීප් විල්තෙර