2023 මැයි 28 වන ඉරිදා

ඩිජිටල්කරණයේ අමතක කරන පාඩම්

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 84

ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම වසර ගණනක් තිස්සේ ආණ්ඩු ප‍්‍රකාශ කරන කරුණකි. ජනතාවට අවශ්‍ය සේවා පහසු කරන ඩිජිටල්කරණ ක‍්‍රියාවලියක් යෝජනා වන නමුත් ප‍්‍රායෝගික තත්ත්වය එය නොවේ. රජයේ කාර්යාලවල කාර්ය කරගැනීම පහසු නැත. ගුවන් ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීම හොඳම උදාහරණයකි. ශ‍්‍රී ලංකාවේ සියලුම දෙනා ගමන් බලපත‍්‍ර අයැදුම් කරන්නේ නැත. අවශ්‍ය කරන තොරතුරු ඉදිරිපත් කර මුදල් ගෙවූ පසු ගමන් බලපත‍්‍රයක් අනුමත කරන්නට ගතකරන කාලය සාධාරණීකරණය කළ නොහැක. හදිසි අවශ්‍යතාවයක් සඳහා ගමන් බලපත‍්‍රයක් ලබාගත යුතු හෝ එය යාවත්කාලීන කරගත යුතුව ඇති කිසියම් පුද්ගලයකුට පිළිසරණක් නැත. ගමන් බලපත‍්‍ර නිකුත් කරන නීත්‍යානුකූල ක‍්‍රමවේදයට එපිටින් විශාල වංචා සහගත ව්‍යාපාර ක‍්‍රියාවට නැගී ඇත. වැටලීම පහසුය. දඩ නියම කෙරේ. මාධ්‍ය මගින් අවවාද කරයි. ක‍්‍රමය නිවැරදි කිරීම වෙනුවට වැරදි ක‍්‍රමවේද වැටලීම ආණ්ඩුවක වගකීම නොවේ.

ඩිජිටල් ක‍්‍රමවේද ඇති කළහොත් ඕනෑම රජයේ කාර්යාලයකින් අවශ්‍ය කරන ලේඛන ඉදිරිපත් කර මුදල් ගෙවිය හැකි විය යුතුය. මුදල ගෙවන්නේ සංචාරක අමාත්‍යංයේ ඇති කවුළුවකින් විය හැකි නමුත් ගෙවන්නේ ගමන් බලපත‍්‍රයකට නම් එය අදාළ දෙපාර්තමේන්තුවට බැරකළ හැකි අතර දත්ත පරීක්ෂා කර බලා පෝලිම්වල කාලය ගත නොකර පහසුවෙන් කටයුතු කරගැනීමට හැකි පරිදි සේවා සැපයීම ආණ්ඩුවක වගකීමකි.

• ඩිජිටල් කාඩ් නොතිබුණා නම් වාණිජ බැංකුවල දවස

ශ‍්‍රී ලංකාවේ බැංකු ඩිජිටල්කරණයට හැරී ඇත. යාන්ත‍්‍රික කාඩ් පත‍්‍රයකින් තමන්ගේ ගිණුමේ මුදල් ලබාගැනීමේ ක‍්‍රමයක් රටට හඳුන්වා දෙන්නේ දේශමාන්‍ය එන්.යූ. ජයවර්ධන මහතා බව මතක් කළ යුතුය. 1986 වසරේදී සම්පත් බැංකුව ආරම්භ කරන ජයවර්ධන මහතා එවකට භාවිතයේ නොතිබුණ ස්වයංක‍්‍රීය ටෙලර් මැෂින් බැංකුවට හඳුන්වා දෙයි. එදා සිට අද දක්වා දශක හතරකට මඳක් අඩු කාලය තුළ තාක්ෂණික වශයෙන් විශාල පරිවර්තනයක් සිදු වී ඇත. ගනුදෙනුකරුවන් තමන්ගේ ගිණුමට ඇතුළු වී තමන්ම ගනුදෙනු කරන අතර දෙස් විදෙස් බිල්පත් ගෙවීම පමණක් නොව තමන්ගේම තොරතුරු යාවත්කාලීන කිරීමද කරගෙන යයි. එවැනි පහසුකමක් නොතිබුණා නම් අද වනවිට බැංකු ඉදිරිපිට විශාල පෝලිම් දැකගත හැකි වනු ඇත. මෙරට ඇතැම් බැංකු නිලධාරියකුගේ සහාය ගෙන මුදල් තැන්පත් කිරීම හෝ ආපසු ගැනීම කළහොත් ගාස්තු අයකරන තත්ත්වයට දියුණු වී තිබේ.

පෞද්ගලික අංශයේ බැංකු අනුගමනය කළ තාක්ෂණික ක‍්‍රමවලට අනුගතවීමට රාජ්‍ය බැංකුවලට ද සිදුවිය. මෙම කාලය තුළ ආණ්ඩුවේ කාර්යාලවල සිදුවූයේ කුමක්ද? සෑම රජයේ කාර්යාලයක්ම කාලය නාස්තිකරන තැන් බවට පත්ව ඇත. සේවාවක් ලබාගැනීමේදී පමණක් නොව රජයට ගාස්තුවක් ගෙවන්නට එන ජනතාව පවා අතෘප්තිමත්ය. වාහන ලියා පදිංචියක්, ඉඩමක පත්ඉරු ලබාගැනීමක්, නිවාස සැලැස්මක් අනුමත කරගැනීමක් සඳහා විශාල වෙහෙසක් දරන්නට සිදුවී ඇත. මෙහි ප‍්‍රතිඵලය අතරමැදියන් බිහිවීමය. සෑම කාර්යාලයකම ඇතුෙළන් කරගත යුතු යමක් මුදලක් ලබාගෙන පිටතින් කරදෙන පිරිස් ඇත. හැඳුනුම්පතක සිට වාහන පැදවීමේ බලපත‍්‍රයක් දක්වා ඕනෑම රජයේ සහතිකයක් අයිතිකරු පෙනී නොසිට ලබාගත හැකි ක‍්‍රම අතරමැදියෝ ප‍්‍රසිද්ධියේ දක්වති. 

• ඩිජිටල් උත්සාහයන් අකර්මණ්‍ය කිරීම

රාජ්‍ය සේවයේ පිරිස අඩුකර කාර්යය පරිගණකගත කිරීමට සෑහෙන වතාවක් උත්සාහ කර තිබේ. උප්පැන්න සහතිකය එහි එක සාර්ථක අංශයකි. බස් ගාස්තු සඳහා කාඩ්පතක් හඳුන්වා දෙන්නට සූදානම් කෙරිණ. එය ඉතා සුළු කාර්යයකි. මේ සඳහා දරන වියදම මිලෙනියම් චැලෙන්ජ් එනම් එම්.සී.සී. ආධාරවලින් ආවරණය කරගැනීමට තීරණය කර තිබුණි. එම ආධාරයද ප‍්‍රතික්ෂේප වූ අතර බස් ගාස්තු ඩිජිටල්කරණයත් අමතක වී ඇත. පෞද්ගලික බස් ධාවකයෝ තමන්ට කැමැති ගාස්තුවක් අය කරති. සුළු වටිනාකම්වල ඉතිරි මුදල් ද ආපසු දෙන්නේ නැත. බස් හෝ දුම්රිය ප‍්‍රවේශ පත‍්‍රයක් තාක්ෂණික කාඩ් පතකින් හදාගන්නට නොහැකි තරමට ක‍්‍රම සංකීර්ණ කරගෙන ඇති මෙරට රජයේ නිලධාරීන් පවා ශ‍්‍රී ලංකාවේ ගුවන් මගීන් තමන්ගේ කාඩ්පත්වලින් මුදල් ගෙවා ප‍්‍රවේශපත‍්‍ර මිල දී ගෙන, කැමැති ආසනයක්ද වෙන්කරගෙන නියමිත දිනට කෙලින්ම ගුවන් තොටුපොළට යන තරමට ජනතාව දියුණු වී ඇති බව දන්නේ නැත. 

2002 වසරේදී ලෝකයේ පළමු වතාවට තොරතුරු තාක්ෂණය සඳහා ලෝක බැංකු ආධාර ශ‍්‍රී ලංකාවට ලැබුණි. එම ආධාරවලින් තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය පිහිටුවා ප‍්‍රතිපත්ති සම්පාදනය කළ අතර තවත් කොටසක් රජයේ ආයතන, විශේෂයෙන් අමාත්‍යංශ සම්බන්ධීකරණයට යෙදැවීය. සෑම අමාත්‍යංශයකටම පරිගණකයක් යොදවා ඒ මගින් අන්තර් ආයතන සම්බන්ධීකරණයක් ඇති කළේය. වෙනම ඊමේල් ලිපිනයකින් නිලධාරීන් වහා දැනුම්වත් කළ හැකි පද්ධතියක් සැකසීය. දැන් එම සංකේත පවා අමාත්‍යංශවල නැත. අමාත්‍යංශ හෝ දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණයක්ද නැත. ශ‍්‍රී ලංකාව ඩිජිටල්කරණයක් කරා ගෙන යන ක්‍රියා පටිපාටියේ මෑත සිදුවීම්වල ශේෂයන් එබඳුය.

ලෝකයේ අනෙක් රටවල් සහ ප‍්‍රධාන ව්‍යාපාරික අංශ සිය දිනපතා හුවමාරුවන ලිපි ලේඛන පවා පරිසරය ආරක්ෂා කරන ක‍්‍රමවේදයක කොටසක් වශයෙන් ඒවා මුද්‍රණය කිරීමෙන් වැළකී සිටී. චක‍්‍රලේඛන හෝ අභ්‍යන්තර මෙමෝ හුවමාරු කරගන්නේ වට්ස්ඇප් හෝ ඊමේල් මගින්ය. ඡායාපිටපත් මැෂිමක් නැත්නම් එය ශ‍්‍රී ලංකාවේ රජයේ ආයතනයක් නොවේ. එපමණකට කඩදාසි භාවිත කරයි. පැරිස් සම්මුතියට අත්සන් තබා ගෝලීය උණුසුම ගැන විශාල දේශන පවත්වා එන මැති ඇමැතිවරුන් පවා ඔවුන්ගේ දේශන බෙදන්නේ මුද්‍රිත කඩදාසියේය. 

• අතට ලැබුණ අවස්ථා පසෙකට කරන ආණ්ඩු

දුප්පත් ජනතාව වෙන්කර ඔවුන්ට ආධාර කරන ‘අස්වැසුම’ හඳුන්වා දී ඇත. ආධාර ලබාගැනීමට සුදුසු පිරිස තෝරාගැනීමට රටපුරා සැලැස්මක් ක‍්‍රියාවට නැංවිණ. ඉන්දියාවේ ක‍්‍රියාත්මක ආධාර කාඩ් ක‍්‍රමය අනුව මෙරට දුප්පත් ජනතාව හඳුනාගෙන කෙළින්ම ඔවුන්ගේ ගිණුම්වලට ආධාර බැර කළ හැකි ක‍්‍රමයක් යෝජිතය. ඉන්දිය රජය එය ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාවට නැංවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක මුදලක්ද ලබා දී ඇත. මෙම ක‍්‍රමය අනුව අඩු ආදායම් ලබන සෑම පුද්ගලයකුම හඳුනාගෙන ස්මාට් කාඩ්පතක් නිකුත් කෙරේ. එය ඉදිරිපත් කළ පසු මිල දී ගන්නා භාණ්ඩවලට සහන ලැබෙන්නේ නම් එම මුදල කෙලින්ම ඔවුන්ගේ ගිණුමට යොමුකෙරේ. සාමාන්‍ය ජනතාව මිල දී ගන්නා මිලට වඩා අඩු මිලකට ගෑස් දුප්පත් ජනතාවට සැපයෙන විට ඔහු කළ යුතු කාඩ්පත ඉදිරිපත් කිරීම පමණකි. නමුත් මෙම පිරිවැය අඩු හා ජනතාවට සෘජු ප‍්‍රතිලාභ ලැබෙන ක‍්‍රමයට ශ‍්‍රී ලංකාව කැමැති නැත. ආධාර ලබන පිරිස් කැඳවා දේශපාලනඥයන්ගේ අතින් සහනාධාර ලබාගත යුතුය. ඊළඟ ඡන්දයේදී මතක තබාගැනීම පහසු එවැනි ක‍්‍රමයකින් පමණකි. ක‍්‍රම අකාර්යක්ෂමතාව සහ අධික වියදමක් නමුත් ආණ්ඩු කැමැති ජනතාව තමන්ගේ දෙපාමුලට පැමිණ ආධාර ඉල්ලන ක‍්‍රමයකටය. මෙවැනි හේතු හෙයින් රටට ලැබුණ විදේශ මුදල් තවමත් ප‍්‍රයෝජනයට ගෙන නැත.

ශ‍්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව ප‍්‍රශස්ථ මටට්මක පවතී. ස්මාට් දුරකතන භාවිත කරන්නෝ බහුලය. එම දුරකතනවලින් සමාජ මාධ්‍ය  ඕපාදූප හැර අනෙක් ප‍්‍රයෝජනයක් නොගැනේ. තමන්ගේ දුරකතනයෙන් පෝරම පුරවා රජයේ සේවයක් සඳහා ඉල්ලුම් කරන අතර එම සේවය ලබාගත හැකි වේලාව ගැන කල්තබා මතක් කරන මෘදුකාංගයක් හඳුන්වා දියහැකි නම් ජනතාවගේ කාලය කොපමණ ඉතිරිකරගත හැකිද? නිලධාරීන්ට කොපමණ පහසුවක්ද? 

රාජ්‍ය ආයතනවල ඇති විවිධාකාරයේ ඉල්ලුම්පත් විශාල ප‍්‍රමාණයක් මුද්‍රණය කිරීම අත්හැර දැමිය හැක. එය ආණ්ඩුවේ ඩිජිටල්කරණයේ කොටසකි. දශකයකට පමණ කලින් බැංකුවක වෙනම මේසයක් පුරා විවිධ බැංකු පෝරම සෑහෙන ප‍්‍රමාණයක් ගනුදෙනුකරුවන්ට හඳුනාගත හැකි විවිධ වර්ණවලින් අසුරා තිබුණි. දැන් ඒවා සීමිත ප‍්‍රමාණයකි. රජයේ ලිපි ලේඛනවලින් ද විශාල ඉතිරියකට යා හැකිය. 

• කොවිඩ් කාලයේ අවස්ථා මගහරවා ගැනීම

කොවිඩ් වසංගත කාලයේ රට ලොක්ඩවුන් වූ පසු ඩිජිටල් ආර්ථිකයේ වාසි ජනතාවට වටහා ගැනීමට අවස්ථාවකි. ප‍්‍රධාන පෙළේ ව්‍යාපාර පමණක් නොව නගරයේ සුළු වෙළඳුන් පවා දුරකතනයෙන් එන ඇණවුම අනුව පිළියෙළ කරන ලද භාණ්ඩ නිවෙස්වලට ප‍්‍රවාහනය කළහ. නිවෙසේ සිට රාජකාරි කරන ක‍්‍රමයක් හඳුන්වා දුන්නේය. ප‍්‍රවාහනය නතර වී සාමාන්‍ය සේවා අඩපණ වී තිබුණ නමුත් ආර්ථිකයේ යම් කොටසක් එලෙසම පවත්වාගෙන යන්නට සමත්විය. ලෝකයේ ප‍්‍රධාන පෙළේ සමාගම් අන්තර්ජාලයෙන් කරන වෙළෙඳාම සමස්තයෙන් සියයට විස්සක් පමණ බව මැකෙන්සි වාර්තා දක්වන අතර ශ‍්‍රී ලංකාවද එයට එකතු වී සිටියේය. 

අවදානම ඉවත් වූ වහා නැවත පුරුදු චක‍්‍රයට අවතීර්ණ විය. එය නිලධාරීන්ගේ රෙගුලාසි හා තදබල බලපෑම් පදනම් කරගෙන විය හැකිය. යම් ආකාරයකට අලුත් ව්‍යුහයක් ඇති කරගෙන ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් යුගය වේගවත් කරන්නට හැකියාව තිබුණ නමුත් එය මහ හැරිණ.

රාජ්‍ය සේවයේ සිටින විශාල පිරිසක් වෙනුවට ඩිජිටල් රාජකාරි ක‍්‍රම හඳුන්වා දිය හැකි අතර ඒ වෙනුවට රජයේ දැනට සිටින පිරිස වෙනත් නිෂ්පාදන කාර්යයන්ට වැටුප් සහිතව නිදහස් කිරීම පවා රටට ප‍්‍රයෝජනවත්ය. ශ‍්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් සියයට හැත්තෑවක පමණ ප‍්‍රතිශතයක් රාජ්‍ය සේවයේ වැටුප් හා විශ‍්‍රාම වැටුප් ගෙවන්නට යෙදවේ. මෙම කොටස සඳහා බදු ගෙවන්නේ පොදු ජනතාවය. මෙම රාමුව වෙනස් කළහොත් මහත් පරිවර්තනයක් ඇති කළ හැකිය. සාමාන්‍ය රාජකාරි තමන්ටම කරගත හැකි රාජ්‍ය ආයතන හා ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ම පෙළඹෙන ව්‍යුහයක් ගොඩනැගුවහොත් සේවය කාර්යක්ෂම හා වේගවත් කළ හැකිය. සුළු ප‍්‍රමාණයකින් හෝ අලුත් පියවරක් ගතහොත් ජනතාව මුහුණ පා ඇති පීඩනය යම් ප‍්‍රමාණයකින් අවම කළ හැකි බව ඩිජිටල්කරණයකින් ඉගෙනගත හැකි පාඩමකි.

I සාරා කන්දෙගොඩ