2023 ජුනි 04 වන ඉරිදා

ශල්‍ය ගෝස් ටෙන්ඩරය යට ගඳ ගසන අණ්ඩරයක්!

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 109

ශ්‍රී ලාංකික දේශීය ශල්‍ය ගෝස් නිෂ්පාදකයෝ වසර පනස් එකකට ආසන්න කාලයක් මුළුල්ලේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයට අවශ්‍ය ශල්‍ය ගෝස් සැපයුම්කරුවන් ලෙසින් කටයුතු කරති. මෙම දේශීය නිෂ්පාදකයන් බොහොමයක් රට තුළ සක්‍රියව කටයුතු කරද්දී පසුගිය දිනක වෙනත් ටෙන්ඩර් පටිපාටියක් ඔස්සේ ශල්‍ය ගෝස් ලබාගැනීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා විය.

මේ වනවිට ශල්‍ය ගෝස් දේශීය සැපයුම්කරුවන් 465 ක් පමණ මෙම නිෂ්පාදන කර්මාන්තයේ නියැලෙති. සේවකයෝ 6000 කට අධික පිරිසක් මෙම කර්මාන්තයෙන් ජීවිකාව පවත්වාගෙන යති. එමෙන්ම මේ සඳහා වක්‍රව සේවය ලබා දෙන 2000 කට අධික පිරිසක් වෙති. ඒ අනුව ඍජු හා වක්‍ර ලෙස ලක්ෂයකට ආසන්න පිරිසක් මෙම කර්මාන්තය මත යැපෙති. මෙවැනි සාර්ථක ලෙස පවත්වාගෙන යන දේශීය කර්මාන්තයක් මෙරට පවතිද්දී විදෙස් ටෙන්ඩර් සඳහා ඉඩ ලබා දීම අසාධාරණයකි.

''ආසියානු සංවර්ධන බැංකුව මගින් 2022 අවුරුද්දේ ජූනි මාසයේදී කොවිඩ් වසංගතය මූලික කරගෙන යම් ආකාරයක අපහසුතාවයට පත්වුණු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කර්මාන්ත වෙනුවෙන් මූල්‍යාධාරයක් ලබා දී තියෙනවා. ඒ අතරේ ''සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය'' හරහා මෙම ටෙන්ඩරය 2022 ජූලි මාසයේදී කරළියට පැමිණියා. සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගෝස් හිඟයක් පවතින බවත් ඒ ගෝස් හිඟයට ගෝස් අවශ්‍ය බවත් දක්වා මෙම ටෙන්ඩරය ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය නිෂ්පාදකයන්ගෙන් ගෝස් මිලදී ගනු ලබන්නේ ටෙන්ඩර් පටිපාටියකින් නෙමෙයි. මෙතෙක් මෙම නිෂ්පාදන මිලදී ගත්තේ සලාක ක්‍රමය මගින්. ලියාපදිංචිව ඇති නිෂ්පාදකවරුන්ට වාර්ෂිකව සලාකයක් ලබා දෙනවා. ඒ අනුව නිෂ්පාදකවරු කලට වේලාවට ඒ අවශ්‍ය නිෂ්පාදන ලබා දුන්නා. අදටත් එහෙමයි. රටේ පවතින යම් යම් වාතාවරණයන් හේතුවෙන් ඇතැම් කාලවලදී ශල්‍ය ගෝස් අවශ්‍යතාවය වැඩි වුණා. ඒ මොහොතේදීත් අපේ නිෂ්පාදකයන් අවශ්‍ය ප්‍රමාණය අඩුවක් නොකොට කලට වේලාවට ලබා දුන්නා. කොවිඩ් කාලෙදි දේශීය නිෂ්පාදකයන්ට මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමට බැරි වේවි යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරින් මත පළ කරමින් ටෙන්ඩර් පටිපාටියක් ලබාගැනීමට මාර්ගය සලස්වා ගන්න උත්සාහ කළත් කිසිම වෙලාවක දේශීය නිෂ්පාදකයන් මෙම නිෂ්පාදන ලබාදීම මඟහැරියෙවත්, කල් ගත්තෙවත් නැහැ. ඒ සෑම මොහොතකම අපි අවශ්‍ය නිෂ්පාදන කලට වේලාවට අවශ්‍ය ප්‍රමාණයටම ලබා දුන්නා.'' යැයි ශල්‍ය ගෝස් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අසේල පෙරේරා මහතා දේශයට පැවසීය.

ඔහු පවසන පරිදි ශල්‍ය ගෝස් නිෂ්පාදනයේදී අතිරික්තයක් පවතින විට මෙලෙස ටෙන්ඩර් කැඳවීමක් සිදු කර තිබේ. මේ අනුව මුල්ම ටෙන්ඩර් කැඳවීම සඳහා සූදානම් වී ඇත්තේ 2022 ජූලි මාසයේදී පමණය. එය ශල්‍ය ගෝස් මිලියන දොළහක ටෙන්ඩරයකි. මෙහිදී කිසිදු දේශීය නිෂ්පාදනයකට මෙම ටෙන්ඩර් පටිපාටියට ඇතුළත් විය නොහැකි ලෙස මෙම ටෙන්ඩරයේ කොන්දේසි පනවා තිබුණි. මේ නිසාම මෙය බොහෝ දුරට හොර රහසේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරෑ ටෙන්ඩර් පටිපාටියකි.

දේශීය නිෂ්පාදකයන්ට හොර රහසේ ක්‍රියාත්මක වෙමින් පැවැති ටෙන්ඩර් පටිපාටිය පිළිබඳව කෙසේ හෝ ඔවුන්ට තොරතුරු ලැබී තිබිණි. සෞඛ්‍ය අමාත්‍යංශයට වාර්ෂිකව ශල්‍ය ගෝස් මීටර් මිලියන තිහක් දළ වශයෙන් අවශ්‍ය බව කියැවේ. නමුත් සෑම වසරකම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මිලදී ගනු ලබන්නේ ශල්‍ය ගෝස් මිලියන විසි හතරක් පමණි. කොවිඩ් වසංගතය ඉතා දරුණුවට පැවැති සමයේදී කිසිදු අඩුවකින් තොරව අදාළ ප්‍රමිතියට අනුව එම නිෂ්පාදන ලබා දී තිබිණි. සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය මගින් රට තුළ හිඟව පවතින ඖෂධ හා වෛද්‍ය නිෂ්පාදන සම්බන්ධ දත්ත පද්ධතියට කිසිදු අවස්ථාවක ගෝස් ඇතුළත් කර නොමැති බවත් ගෝස් නිෂ්පාදන සංගමය පවසයි.

1972 වසරේ සිට ගෝස් කර්මාන්තය ග්‍රාමීය කර්මාන්තයක් ලෙසින් හැඳින්වූ අතර එය රුකී රක්ෂා උත්පාදනය කරන කර්මාන්තයක් ලෙස ද හැඳින්වේ. මෙය සෑම දිස්ත්‍රික්කයක් තුළ ව්‍යාප්තව පවතී. එමෙන්ම මෙය ග්‍රාමීය කර්මාන්තයක් ලෙසින් ද හැඳින්විය හැකිය. අත් යන්ත්‍රවලින් ආරම්භ වූ මෙය අද වනවිට බලවේග යන්ත්‍ර හරහා නවීන යන්ත්‍ර සූත්‍ර දක්වා කර්මාන්තයක් ලෙස දියුණුව පවතී. ඒ අනුව කිසිදු අඩුවකින් තොරව මේ හරහා සෞඛ්‍ය අමාත්‍යංශයට ගෝස් නිෂ්පාදන සැපයීම සිදු කරයි. එලෙස සිදුවන අතරතුර මෙරට නිෂ්පාදකයන්ට හොර රහසේ ටෙන්ඩරයක් කැඳවීම ශල්‍ය ගෝස් නිෂ්පාදන සංගමයට ගැටලුවක් වී තිබේ.

''2022 අවුරුද්දේ හොර රහසේ සිදු කරන්න උත්සාහ දැරෑ ටෙන්ඩරය ගැන ආරංචි වීමත් සමඟ අපි කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමා සමඟ කළ සාකච්ඡාවකින් පසුව එම ටෙන්ඩරය කැඳවීම නතර කරන්නට ඔවුන් තීරණය කළා. දේශීය නිෂ්පාදකයන්ගේ අතිරික්තයක් පවතිද්දී ඒ වෙනුවෙන් මුදල් වැයනොකොට  රට තුළ පවතින වෙනත් හිඟ බෙහෙත් වෙනුවෙන් එම ප්‍රතිපාදන යොමු කරන්නට හැකියාවක් තිබියදී අතිරික්ත නිෂ්පාදන වෙනුවෙන් මුදල් යෙදීම කෙතරම් වැරදිද?'' යැයි ශල්‍ය ගෝස් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අසේල පෙරේරා මහතා ප්‍රශ්න කරයි.

පසුගිය කාලයේ රට තුළ විශාල ඖෂධ හිඟයක් පැවතිණි. මේ වන විටද එහි වෙනසක් නැත. පිළිකා රෝගීන් බොහොමයක් අසරණ වී ඇත්තේ ඔවුන්ට අවශ්‍ය ඖෂධ හිඟයත් ඒවායේ මිල ඉහළ යාමත් හේතුවෙනි. එවැනි ඖෂධ වෙනුවෙන් මෙම ප්‍රතිපාදන වෙන් නොකර අතිරික්තව පවතින ගෝස් සඳහා කැඳවා ඇති ටෙන්ඩරයේ පිටුපස සිටින්නේ කවුද?

කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා සහ ගෝස් නිෂ්පාදකයන්ගේ සංගමය අතර පැවැති සාකච්ඡාවෙන් එම ටෙන්ඩර කැඳවීම නැවතුණද මාස කිහිපයකට පසුව දෙවැනි වරටත් 2022 නොවැම්බර් මාසයේදී එම ටෙන්ඩරය නැවත කැඳවීමට උත්සාහක් පැවතිණි. ඒ මිලියන තුනක් වටිනා ටෙන්ඩර කැඳවීමකි. ඒ සම්බන්ධව ඇමැති කෙහෙළිය රඹුක්වල්ල හා කළ සාකච්ඡාවකින් පසුව එය නැවත අත්හිටුවනු ලැබිණි. නමුත් සති කිහිපයකට පෙර නැවතත් එම ටෙන්ඩරය කැඳවීමේ පෙරනිමිති පහළ වෙමින් පැවතිණි. ඒ මිලියන තුනක ටෙන්ඩර කැඳවීමකි. මේ වනවිට ගෝස් නිෂ්පාදකයන්ට අතිරික්ත ගෝස් නිෂ්පාදන පවතිද්දී මෙලෙස ටෙන්ඩරය කැඳවීමට ඔවුන්ට සිදු කරන අසාධාරණයකි. 

සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය මගින් දේශීය ගෝස් නිෂ්පාදකයන්ගෙන් ගෝස් රෙදි මීටරයක් මිලදී ගනු ලබන්නේ රුපියල් 74.94 ක මිලකටය. නමුත් මෙම ටෙන්ඩරය සඳහා ගෝස් රෙදි මීටරයකට මිල ලබා දී ඇත්තේ රුපියල් 89.90 ක් ලෙසය. දේශීය නිෂ්පාදකයන් ඔවුන්ගේ මිල ලබා දී තිබුණේ විදුලි බිල වැඩිවීමට පෙරය. කෙසේ වෙතත් සියලු දෑ කළමනාකරණය කර ගනිමින් කලට වෙලාවට නිෂ්පාදන සපයන අතරතුර මෙලෙස ටෙන්ඩර කැඳවීම මගින් වාසි ලබාගන්නේ කවුරුන්ද? මෙය ඇතැම් විට කොමිස් මත සිදු කරන තවත් වංචාවක් විය හැකිය.

''මේ සම්බන්ධයෙන් අපි පසුගියදාක නිලධාරින් දෙදෙනකු මුණගැහුණා. ඔවුන්ද ටෙන්ඩරයක් කැඳවා ඇති බව වාචිකව සඳහන් කළා. අපි මේ වෙනුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමා මුණගැසීම සඳහා පොඩි වෙලාවක් ඉල්ලා සිටියා. නමුත් තවම ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ. මේක දේශීය නිෂ්පාදන කර්මාන්තයක්. විදෙස් නිෂ්පාදකයන්ට මේ නිෂ්පාදන ලබා දීමට ඉඩ දීමෙන් මේ රටේ දේශීය නිෂ්පාදකයන්ට සිදු කරන්නේ බලවත් අසාධාරණයක්.'' යැයි අසේල පෙරේරා මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.)

I දිශානි ජයමාලි කරුණාරත්න