බිත්තිය පුරා සවිකර තිබුණේ විවිධ හැඩයේ තුවක්කුය. තවත් පසෙකින් පතුරම් බහාලු කුඩා පෙට්ටි කිහිපයකි. එයට යාබද කොටස වෙන්කර තිබුණේ මෙවැනි තුවක්කු නිෂ්පාදනය කරන අංශයටය. ''ඩබ්ලිව්. තෝමස් සහ පුත්‍රයෝ සමාගම'' ලෙසින් ඉහළින් සවිකර තිබූ විශාල නාම පුවරුව මුළු ආයතනයටම ගෙන ආවේ අපූරු ගාම්භීරකමකි.
කඩවත ප්‍රදේශයේ ජීවත්වන රොයිස්ටන් තෝමස් වායු රයිෆල් අලුත්වැඩියාව පමණක් නොව නිෂ්පාදනය කරන ආයතනයේ වාර්තමාන හිමිකරුවා වන්නේය. කුඩා කල සිටම නිවෙසේ තිබූ නිෂ්පාදන අංශයට යනෙන රොයිස්ටන් තම පියා අලුත්වැඩියා කරන තුවක්කු අත පත ගා බැලීය.
විල්ෆ්‍රඩ් තෝමස් රොයිස්ටන් තෝමස්ගේ පියාය. එංගලන්තයෙන් ලද දැනුමත් සමඟ විල්ෆ්‍රඩ් තම නිවෙසේ එක් කොටසක 1950 දශකයේදී වායු රයිෆල් අලුත්වැඩියාව සහ නිෂ්පාදන කටයුතු ආරම්භ කළේය. එවකට තුවක්කු නිෂ්පාදනයේ ඉතා දැවැන්ත සමාගමක් වූ හන්ටර් සමාගමෙන් ලබාගත් දැනුම විල්ෆ්‍රඩ්ට තම නිෂ්පාදන කටයුතු සඳහා මනා රුකුලක් විය. පළමුව ඔහු කොටහේන ප්‍රදේශයේ තිබූ තම නිවසේ කුඩාවට තුවක්කු අලුත්වැඩියා කරන කම්හලක් ආරම්භ කළේය.
''මේ සමාගමේ අප මුලින්ම පතුරම් තුවක්කුවෙන් තමයි ආරම්භ කළේ. මම වයස අවුරුදු දහඅටේදී පමණ විදෙස් ගත වුණා. අවුරුදු ගාණකට පසුව 2004 අවුරුද්දේදී මම නැවතත් ලංකාවට පැමිණියා. එතැන් සිට මෙම ආයතනය කරගෙන යන්නේ මමයි. මම පුංචි කාලේ ඉඳන් වැඩිපුරම වායු රයිෆල් තමයි දැක්කේ. මගේ තාත්තා මුලින්ම පතුරම් තුවක්කු ගෙදරදී අලුත්වැඩියා කළා. පසුව ඔහු ඒ විෂය ඉගෙනගෙන, පතුරම් තුවක්කු අලුත්වැඩියා කර ලබපු අත්දැකීම් එක්ක නිෂ්පාදනය කරන්නත් පටන් ගත්තා. ඉතින් තාත්තා ගෙදර එක කොටසක වෙන්කරපු තුවක්කු නිෂ්පාදන කම්හලේ තුවක්කු හදද්දී මාත් ඒවා දිහා බලාගෙන හිටියා. මාත් ඒ තුවක්කු අත පත ගෑවා. මට තාම මතකයි ටිකක් උස බංකුවක නැගලා තමයි මම තාත්තා ඒවා හදන දිහා බලාගෙන හිටියෙ. ඒ තරමටම පුංචි කාලේ ඉඳන්ම මේ තුවක්කු හදන දිහා බලාගෙන ඉන්න මම ආස කළා.''
යැයි තෝමස් මහතා ඒ අතීතය දේශය පිටු අතරට එක්කරමින් පැවසීය.
පියා සාදා දුන් කුඩා බංකුවේ නැග මහ රූ වනතුරු රොයිස්ටන් තුවක්කුවක් අලුත්වැඩියා කරන, නිෂ්පාදනය කරන අන්දම බලා සිටියේය. ඇතැම් දිනවලදී රූ දෙක තුන වනතුරු ඔහු පියා සමඟ කම්හලේ සිටියේය. නැවත පසුවදා උදෑසන ඔහු පාසල් ගියේය. ටිකින් ටික රොයිස්ටන් ලොකු වෙද්දී ඔහු පියාට උදව් කරමින් තුවක්කු අලුත්වැඩියාව සහ නිෂ්පාදන කටයුතුවල නිරත විය. වර්තමානයේදී ඩබ්ලිව්. තෝමස් පුත්‍රයෝ සහ සමාගමේ විශාල නව පන්නයේ යන්ත්‍ර සූත්‍ර තිබුණද එකල තුවක්කු කම්හලට පැවැතියේ එකම එක යන්ත්‍රයක් පමණි. බොහෝ සියුම් තැන් ඔවුන් අලුත්වැඩියා සහ නිෂ්පාදනය කරන ලද්දේ බොහෝ විට අතිනි. ෙතා්මස් මෙන්ම ඔහුගේ වැඩිමහල් සහෝදරයාද මෙම කාර්යයන්වලට සහය දැක්වීමට කුඩාකළ සිටම ඇල්මක් දැක්විය. රොයිස්ටන්ගේ පවුලේ පිරිමි දරුවන් තිදෙනෙකි. බාලයා සහෝදරියකි.
මේ දිනවල දිවයින පුරා විසිරී සිටින ගොවීන්ට වගා හානි කරනා සතුන්ගෙන් ඇතිවී ඇත්තේ විශාල හිරිහැරයකි. වෙහෙස මහන්සි වී වගා කරනූ ලබන වගාවන් එක මොහොතකින් වනසතුන් විනාශ කර දමති. මේ නිසාම ඇතැම් ගොවීහු තම ගොවිතැන් කටයුතුවලින් ඈත් වෙති. මේ වනවිට ගොවීන් වෙනුවෙන් රයිෆල් කිහිපයක් නිෂ්පාදනය කිරීමට රොයිස්ටන් තෝමස්ට හැකිවී ඇත. ඒ මගින් වගාවන්වලට හානිකරන සතුන් පලවා හැරීමට හැකියාව ගොවීන්ට ලැබී ඇත. අද වනවිට එම තුවක්කු සඳහා විශාල ඉල්ලුමක් පවතී.
''මුලින්ම මම මෙම තුවක්කු මගේ නියෝජිතයන්ට විකිණීමට ලබා දුන්නා. ඔවුන් මගෙන් ලබාගන්න තුවක්කු දෙගුණයකට ගොවීන්ට විකුණලා තියෙනවා. ඒ ගැන මම මුලදී දැනගෙන හිටියේ නැහැ. ඒකෙන් ගොවීන්ට විශාල අසාධාරණයක් සිදුවුණා. ගොවි මහතකු තම වගාවන්ට හානිකරන සතුන් පළවා හැරීමට තුවක්කුවක් මිලදී ගන්නේ අතේ සල්ලි තියෙනවාට නොවෙයි. ඔවුන් හරි මහන්සියෙන් කරන වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කරන්නටයි. සමහරු අතේ සල්ලි නැතිකමින් තුවක්කුවක් මිලදී ගන්නේ රත්තරන් ආභරණත් උගස් තියලා. එහෙමත් නැත්නම් තමන්ගේ ට්‍රුක්ටරය, ත්‍රීවීල් එක උගස් තියලයි. සමහරු වැඩි පොලියට මුදල් ගෙන තුවක්කුවක් මිලදී ගන්නා අවස්ථා තිබුණා. මේ ගොවි මහතුන්ගෙන් අසාධාරණ විදිහට සල්ලි හම්බකරපු අතරමැදියන් ගැන අපිට ආරංචි වුණා. මේ අතරේ පිටරටින් ගෙනාපු තුවක්කු අරගෙන අපේ තුවක්කු කියල ගොවි මහතුන්ට වැඩිමුදලකට ආලෙවි කරපු අතරමැදියන් සිටිනවා.
ඒ පිටරට නිෂ්පාදන ඉතා අඩු කාලයකින් කැඩිලා යනවා. ඒවාට රුවටෙන්න එපා. අපේ හැම තුවක්කුවක් සඳහාම අපි අවුරුදු පහක වගකීම් සහතිකයක් ලබලා දෙනවා. ඒ නිසා යම් ගොවිමහතකුට වායු රායිෆලයක් ගැනීමට අවශ්‍ය නම් අපිව සම්බන්ධ කරගෙන අපේ ආයතනයට පැමිණීම අවශ්‍ය යැයි මම කියනවා. දුෂ්කර පළාතක ඉන්නා ගොවි මහතකුට වුවත් මෙතනට පැමිණ සහනදායී මුදලකට තුවක්කුවක් ගෙන වගාවන් ආරක්ෂා කර ගැනීමේ හැකියාව තිබෙනවා. ගොවීන්ට අපි අලුතින්ම තුවක්කුවක් නිෂ්පාදනය කරල තිබෙනවා. ඒක යම් නියෝජිතයකුට දුන්න නම් ඔහු විශාල මුදලකට තුවක්කුව විකුණාවි. ඒත්, අපි එහෙම නොකරන්නේ ගොවීන් වෙනුවෙන්මයි. එංගලන්තය, ඇමෙරිකාවේ වැනි රටවල්වල ගොවීන් මේ දේ කරනවා. මේ දිනවල පවතින වඳුරු ගැටලුවට මෙය හොඳ විසඳුමක්. මෙම තුවක්කු නිෂ්පාදනය කරනු ලබන්නේ ගිනි අවි බලපත්‍රයන් යටතේය. ආරක්ෂක ලේකම්තුමාගේ අනුමැතිය යටතේ මෙය ලබාදෙනවා. ආරක්ෂක අමාත්‍යංශයෙන් බලපත්‍ර අංකයක් මෙයට ලබාදේ. එය ගිනි අවියේ සලකුණු කරනවා. මේ වනවිට ගොවීන් බොහෝමයක් මෙතැනට පැමිණ සහනදායී මුදලකට මෙම වායු රයිෆල් රුගෙන යනවා.'' යැයි තෝමස් මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම ආයතනයේ නිෂ්පාදිත තුවක්කු සඳහා අවශ්‍ය කුඩා පතුරම් නිෂ්පාදනය කිරීමට තෝමස් බලාපොරොත්තු වේ. එවාද ඉතා සහන මිලකට ලබාදීම ඔවුන්ගේ අපේක්ෂාවයි. අද වනවිට තෝමස් නිෂ්පාදනාගාරය ඉතා විශාල යන්ත්‍ර සූත්‍රවලින් සමන්විත වේ. සේවක මහතුන් කිහිප දෙනකුගෙන් සිදුකළ යුතු සේවාවන් මේ එක් යන්ත්‍රයකින් ඉටුවේ. මේ වනවිට සේවකයෝ කිහිප දෙනෙක් මෙම සමාගමේ සේවය කරති. මේ සඳහා අමුද්‍රව්‍ය සපයනු ලබන්නේ විදෙස් රටවලිනි. ඒ සඳහා විශාල බදු මුදලක් මොවුහු ගෙවති. එවැනි ආයතනයක වටිනාකමක් රජයට නැත. දේශීය නිෂ්පාදකයන් මෙරට සිටිද්දීම එම නිෂ්පාදනයන් විදෙස් රටවලින් ගෙන එන්නට අනුමැතිය ලබාදීමෙන් මෙරට නිෂ්පාදකයන්ට සිදුවන්නේ බලවත් අසාධාරණයකි. අද වනවිට විදෙස් රටවලින් ගෙන්වනු ලබන වායු රයිෆල් හේතුවෙන් තෝමස් වැනි මෙරට නිෂ්පාදකයන්ගේ නිෂ්පාදනවලට සිදුව ඇත්තේ අසාධාරණයකි.
රොයිස්ටන් තෝමස් මෙම ආයතනයේ වත්මන් හිමිකරුවාය. නමුත් අදටත් ඔහු මෙම ආයතනයේ සේවකයෙකි. අදටත් ඔහු තුවක්කු අලුත්වැඩියා කරයි. නිෂ්පාදනය කරයි. අලුත් ගිනි අවියක් නිෂ්පාදනය කිරීමට අත්හදා බලයි. ඇතැම් විට තම සේවාදායකයකු අලුත්වැඩියා කිරීමට ලබාදුන් වායු රයිෆලයක් නැවත අලුත්වැඩියා කර අවසන් වනතුරු ඔහුට නින්ද යන්නේ නැත. තම නිෂ්පාදනාගාරයේ සේවකයන් වැඩ අවසන් වීත් ඔහු යන්ත්‍ර සූත්‍ර අයිනේ හිඳ අලුත් රයිෆලයක් නිෂ්පාදනය කරයි. ඇතැම් දිනවලදී රාත්‍රී නින්දට ගොස් මඳ වේලාවකින් පාන්දර දෙක තුනටත් ඔහු නැගිට තනිවම නිවසේ යාබදව පිහිටා තිබෙන නිෂ්පාදනාගාරයට ගොස් සේවය කරයි. මෙය ඔහුගේ ආයතනය මෙන්ම මෙය අදටත් ඔහුගේ විනෝදාංශයයි. දුරකථනය - 0114 361961 – 0777 319250
I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ