2023 ජුනි 04 වන ඉරිදා

විභාගෙට හරස් වූ අනුරපුර සැණකෙළිය දුරස් වෙයි

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 54

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව යෙදී ඇත්තේ පොසොන් පොහොය මැදිවන ලෙසය. පොසොන් උදාවට සමගාමීව පවත්වන්නට නියමිත ''පුරවර උදානය'' විනෝද සැණකෙළිය මෙවරත් අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානයේදී පැවැත්වීමට අනුරාධපුර නගර සභාව කටයුතු කරමින් සිටියේය. මෙය ගැටලුවක් වී තිබුණේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය හා ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය තුළ ක්‍රියාත්මක විභාග මධ්‍යස්ථානවල පෙනී සිටීමට නියමිත සිසු දරු දැරියන්ටය.

''පුරවර උදානය'' විනෝද සැණකෙළිය ජූනි 4 වැනිදා සිට 11 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතව තිබූ අතර සෑම දිනකම සංගීත ප්‍රසංග පැවැත්වීමට සූදානම්ව පැවතිණ. සැණකෙළිය පැවැත්වෙන භූමිය අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය හා ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය යන පාසල් ආසන්නයේ පිහිටීමත් ඒ පාසල්වලින් දෙකක ශිෂ්‍ය නේවාසිකාගාර පැවතීමත් එහි දරුවන් විභාගයට මුහුණදීම සඳහා සූදානමින් සිටියදී ඔවුනට සංගීත ප්‍රසංග සහිත ''පුරවර උදානය'' සැණකෙළිය දැඩි හිරිහැරයක් බවත් ගුරු භවතුන් මෙන්ම මව්පියෝ කියා සිටියෝය. 

අනුරාධපුර නගර සභාව මෙහෙයවීමෙන් දින 7 ක් පුරා පැවැත්වීමට නියමිත සැණකෙළිය හේතුවෙන් එම ප්‍රදේශයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු දරු දැරියන් දැඩි අපහසුතාවකට පත්වන බව කියමින් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද මෙහිදී දැඩි විරෝධතාවක් එල්ල කළහ. මෙහිදී පල්ලේගම හිමියන් කියා සිටියේ පොසොන් පින්කම් උත්සවය සංදර්ශනයක් බවට පත්කර නොගත යුතු බවය. එවැනි කටයුතු සඳහා වසර 40 ක සිටම තමන්වහන්සේ විරෝධතාව දැක්වූ බවද ප්‍රකාශ කළහ. උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ විභාගයට පෙනී සිටින දරු දැරියන්ට හිරිහැරයක් නොවන පරිදි කටයුතු කිරීමට නගර සභාවේ අවධානය යොමුවිය යුතු බවකි.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ මෙවැනි සැණකෙළියක් පැවැත්වීම තුළ මානුෂීය වශයෙන් ගැටලුවක් පැන නැග තිබේ. මේ නිසා සැණකෙළිය පැවැත්වීමට නියමිත භූමිය වෙනස් කිරීම සඳහා හෝ නගර සභාව අවධානය යොමු කළ යුතුය. එහෙත් පැවසෙන්නේ මෙම වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය තරම් විශාල භූමියක් අනුරාධපුර නගර සීමාව තුළ නොමැති බවකි. එබැවින් සැණකෙළිය තුළ ක්‍රියාත්මක සංගීත ප්‍රසංග, මාරක ළිඳ, කතුරු ඔංචිල්ලා, වෙළෙඳසල් ඇතුළු විනෝදජනක අත්දැකීම් රුසක් එකම ස්ථානයකදී ලබා දීමට සුදුසු ස්ථානයක් නොමැති බව වාර්තා වේ.

''පුරවර උදානය'' සැණකෙළිය සඳහා අනුරාධපුර නගර සභාව වෙතින් අති විශාල මුදලක් වියදම් කරන අතර විවිධ අනුග්‍රාහක භවතුන් වෙතින් රුපියල් ලක්ෂ 200 ක් පමණ ලබාගෙන ඇති බව අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා පවසයි. සංගීත කණ්ඩායම් හා වෙනත් සැපයුම්කරුවන් සඳහා දැනටමත් මුදල් ගෙවා ඇති බවද ඒ මහතා කියයි. දින 7 ක් පුරා ක්‍රියාත්මක සැණකෙළි භූමිය වෙත ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 300 ක් බවද සැණකෙළිය අවසන් දිනයේ ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 400 ක් බවද නගර සභාව පවසයි.

නගරයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම, යන්ත්‍ර සූත්‍ර නඩත්තුවට අවශ්‍ය මුදල් සම්පාදනය, සේවක පඩි නඩි හා අතිකාල සඳහා මුදල් ඉපැයීම අරමුණෙන් මෙම ප්‍රසංගය වාර්ෂිකව පැවැත්වීම සිදු කරයි. ඒ සඳහා වෙනත් විකල්පයක් ඇත්නම් ''පුරවර උදානය'' සැණකෙළිය අතරතුර සිදු කළ හැකි බවද නාගරික කොමසාරිස්වරයා පැවසීය. මේ අතර රුවන් විජේසිංහ මහතා කියා සිටියේ අනුරාධපුර නගර සීමාවේ පදිංචි ජනතාව නගර සීමාවේ කැළි කසළ බැහැර නොකරන බවය. නමුත් පිටස්තරින් පැමිණෙන ජනතාව නගරයේ තැන තැන එවැනි අපද්‍රව්‍ය බැහැර කරන නිසා එම කසළ ඉවත් කිරීමට නගර සභාව සතු මුදල් වියදම් වන බවය.

මෙම ප්‍රසංග මාලාව හමුවේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරු දැරියන් අපහසුතාවට පත්වීමේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා, නාගරික කොමසාරිස්වරයා, පොලිසිය හා ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින් සම්බන්ධ වූ රුස්වීමක්ද ඉකුත්දා පැවැත්වීය. එහිදී කරුණු රැසක් සාකච්ඡාවට ගැනුණු අතර අපහසුවෙන් හෝ ''පුරවර උදානය'' කල් දැමීමේ තීරණයක් ගනු ලැබීය.

අනුරාධපුර නගර සභාව මගින් පොසොන් උත්සවයට සමාගාමීව පැවැත්වීමට සූදානම් වූ ''පුරවර උදානය'' සැණකෙළිය සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල කෙරිණ. ඒ සම්බන්ධයෙන් වූ මාධ්‍ය වාර්තා හා අදහස් දෙස අවධානය යොමු කළ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් පාලන කොමසාරිස් වෙත නියෝගයක් සිදු කර වහාම ''පුරවර උදානය'' සැණකෙළිය අත්හිටුවීමට නියෝග කළේය.

I සමන්ත විල්තෙර