2023 ජුනි 04 වන ඉරිදා

යුරෝපයේ ලොකුම පන්සල හැදූ හාමුදුරුවෝ

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 291

- ආචාර්ය විතාරන්දෙණියේ කස්සප හිමි

මහා වනස්පතියක් සේ නැගී හිඳ ශාසනයේත් සමාජයේත් සුබසිද්ධිය උදෙසා උන්වහන්සේ කළ මෙහෙවරත් අද්‍යතනයේදී කරන මෙහෙවරත් වදන් වියමනකට පෙළගස්වනු පිණිස මම උන්වහන්සේ හමුවූයේ කොළඹ හුණුපිටිය ගංගාරාමයේදීය. කොළඹ හුණුපිටිය ගංගාරාමය යනු උන්වහන්සේගේ ජීවිතයේ සොඳුරු සංධිස්ථානයක් වන්නේ මීට අවුරුදු 55 කට ඉහත අතීතයේ දවසකදී ගංගාරාමයේදී ලද පැවිදි විවරණය උන්වහන්සේගේ ජීවිත පුස්තකයේ කේන්ද්‍රීය පරිච්ඡේදයක් වන නිසාමය. ඒ 1968 නවම් මස 28 වැනිදාය. දකුණු පළාතේ විතාරන්දෙණියේදී 1953 අවුරුද්දේ සැප්තැම්බර් 16 වැනිදා උපන් දරුවෙකු ගංගාරාමයේදී පොඩි හාමුදුරු නමක ලෙස පැවිදි දිවියට විවරණ ලද්දේ පැවිදි වීමට සුදුසු කුල දරුවන් හත්දෙනකු මහණ කළ පින්කමේදී මහණ දිවියට පත් එක් සාමණේර නමක් ලෙස විවරණ ලබමින්ය. ඒ විතාරන්දෙණියේ කස්සප හිමි යන නමිනි. දෙවුන්දර වාචිස්සර නායක ස්වාමින් වහන්සේගේත් ආචාර්ය ගලබොඩ ඥානිස්සර හිමියන්ගේත් සෙවණ මත හිඳිමින් මූලික අධ්‍යාපනය ලද විතාරන්දෙණියේ කස්සප හිමි 1977 වර්ෂයේදී කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට පිවිසෙන්නට වරම් ලදහ. 1980 සිට 1983 වර්ෂය දක්වා ගුරුවරයකු ලෙස ගුරු භූමිකාවේ නිබඳ සැරිසැරෑ උන්වහන්සේ අවිස්සාවේල්ලේ සුධර්මාරාම පිරිවෙණේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාටද උන්වහන්සේ උගත් සාර සිප් මහිමය බෙදාලූහ. 1983 වර්ෂයේදී ලෝක බෞද්ධ සම්මේලනයේ තීරණයට අනුව උන්වහන්සේ අප්‍රිකාවේ ටැන්සානියාවට වැඩම කරලූයේ එහි බෞද්ධ පුනරුදයක දුල රන් පහන් දල්වන පරමාර්ථයෙනි. 1983 මැදින් මස සිට 1986 මැදින් මස දක්වා වසර තුනක් උන්වහන්සේගේ ජීවිතයේ අලුත්ම පරිච්ඡේදයක ජීවන මතක සලකුණු වූයේ ටැන්සානියානු පුරවරයේදීය. 

''ඒ කාලෙ අප්‍රිකාවෙ ලාංකිකයන් හිටියෙ හරි අඩුවෙන්. එක්දහස් නමසිය හතළිස් ගණන්වල ශ්‍රී ලාංකිකයන් සිය දහස් ගාණක් අප්‍රිකාවෙ හිටියා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතේ ටැන්සානියාවත් යටත්විජිතයක් වූ හින්දා ඒ කාලෙ හුඟක් අය නොයෙකුත් රාජකාරි සඳහා එහි ගිහින් තියෙනවා. ගාල්ලෙන් හුඟක් අය ගිහින් තියෙන්නෙ රත්තරන් කර්මාන්තයේ රාජකාරි කරන්න. ඒ පොළොවේ රත්තරන් වගේම දියමන්ති බහුලයි. ඒ කාලෙ ගුවන් ගමන්වලට වඩා පහසුකම් තිබුණෙ මුහුදු මාර්ගයෙන් ගමන් යන්න. එහෙත් නිදහස ලැබීමෙන් පසු හුඟක් අය අප්‍රිකාව හැර ගියා. එහෙම වුණේ ජීවත් වීමේදී මතුවුණු දුෂ්කරතා සහ මංකොල්ලකෑම් බහුල වූ නිසා. මම වැඩහිටියෙ හුඟක් පහසුකම් නොතිබුණු කාමර දෙකක් සහිත ගෙයක. ඒ ගේ තමයි මගේ පන්සල. ඒ පන්සල තිබුණෙ අක්කර පහක ඉඩමක. විශාල ඉඩමක් තිබුණ භූමියෙන් තමයි ඒ අක්කර පහ ඉතුරුවෙලා තිබුණෙ. ඒ අක්කර පහ හරි බේරගන්න ඕන කියලා හිතලා මම ඒ වටේටම තාප්පයක් බැන්ඳෙව්වා.  සැම්බියාව, කෙන්යාව, දකුණු අප්‍රිකාව වැනි රටවල මම එහෙ ඉද්දි හරියට ඇවිද්දා. දකුණු අප්‍රිකාවෙ ලංකාවෙ ඉංජිනේරුවන් හුඟ දෙනෙක් හිටියා. විශේෂයෙන් ඒ රටවල්වල තියෙන තඹ ආකරවල ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් හුඟ දෙනෙක් වැඩ කළා. වෙසක් පොසොන් වැනි ජාතික උත්සව තියෙද්දි වගේම ඒ අයගෙ ජීවිතවලට සම්බන්ධ ආගමික, සංස්කෘතික සංසිද්ධීන්වලදිත් ඒ අයට මාව අවශ්‍ය වෙච්ච බොහෝ අවස්ථාවලදිත් ඒ රටවල්වල සංචාරය කළා.'' උන්වහන්සේ පැවසූහ.

උන්වහන්සේගේ ජීවිතයේ තුරුණු වියේදී සොබා සෞන්දර්ය රසවිඳිමින් නිස්කාංසු සුවයෙන් ගෙවන්නට තත්ත්පර උදා වී ඇති බව මට හැඟුණේ උන්වහන්සේ හා පිළිසඳරේදී උන්වහන්සේ නොකියන කතා කියන කතාවලින් ඔබ්බට කියවන්නට මා ගත් නිහඬ උත්සාහයේදීය. 

සිය දහස් ගණනක් සතුන් ගැවසුණ මහ වනාන්තර සදිසි උද්‍යානවල උන්වහන්සේ අප්‍රිකාවේ ගත කළ කාලයේදී සැරිසැරෑහ. භික්ෂූත්වයේ හිඳ තාරුණ්‍ය අත්විඳිමින් උන් සමයක සොබාදහම ඇසුරෙහි හදවතට දැනෙන ගැඹුරු හුස්මක් උන්වහන්සේ ගත්තේ අප්‍රිකාවේ ගත කළ ඒ කාලය ජීවිතයේ සදා සිහිවටනයක් බවට පත්කර ගනිමිනි. බෞද්ධ යන වචනය ගැනවත් නොදන්නා ඉංග්‍රීසි භාෂාවෙහි මුලකුරුවත් හරිහැටි නොදන්නා එකල අප්‍රිකානු වාසීන් සමඟ උන්වහන්සේගේ දිවිසැරිය සැබැවින්ම නීරස කටුක දුෂ්කර අත්දැකීමක් නොවුණේද හිතට දැනෙන යම් සරතැසක් වෙත්නම් ඒ සියල්ල සොබාදහම් සක්මනත් සමඟ නිවී ගිය හෙයින්මය.

''එහෙ ඉන්න කාලෙ ගොඩක් වෙලාවට මට අවශ්‍ය දානය මමම පිළියෙළ කර ගත්තා. ඇත්තටම මම දැනටත් බොහොම ප්‍රසිද්ධයි කෑම උයන්න. ලුණු ඇඹුල් ඇතුව රසට කන්න ඕනෙ නම් හාමුදුරුවන්ගෙන් වේලක් කන්න ඕනෙ කියලා මගේ කෑම හොයාගෙන එන අය තාම ඉන්නවා.'' එවැනි රස මතකද දිවියේ අඩුවක් නැත. 1986 මාර්තු මාසයේ උන්වහන්සේ එංගලන්තයට වැඩම කළහ.

උන්වහන්සේ මහා බ්‍රිතාන්‍යයට වැඩම කරන විට එහි තිබුණේ ලන්ඩන් මහා විහාරය පමණි. මහා බ්‍රිතාන්‍යයේ විසූ බෞද්ධයන් එකල බෞද්ධ සම්ප්‍රදායට අනුව කවර හෝ වත් පිළිවෙතක් කර ගැනීමට අවැසි වුවහොත් හැතැප්ම හාර පන්සීයක් ගෙවා ලන්ඩන් මහා විහාරයට යා යුතු විය. ''මම එහෙදි හැතැප්ම දෙතුන් දාහක් විතර දුර ඇවිදලා එහි විසූ සිංහල බෞද්ධ අය එකතු කරගෙන සංවිධාන කිහිපයක් ආරම්භ කළා. මගේ අරමුණ වුණේ බෞද්ධ පන්සල් ඇති කරන්න. සමහර අය මහා බ්‍රිතාන්‍යයට අයත් ස්කොට්ලන්තයේ ඉඳන් හැතැප්ම පන්සීයක් විතර දුර ගෙවාගෙන ලන්ඩන් විහාරයට ආවා.'' 

අද ඒ නගරවල බෞද්ධ පන්සල් එකක් හෝ දෙකක් දකින පින එහි වෙසෙන බෞද්ධයන්ට උදා වුණේ එදා උන්වහන්සේ කළ ඒ නොනිම් මෙහෙවර නිසාමය. 1988 දී උන්වහන්සේ මහා බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් නගරයේ බෞද්ධ පන්සලක් ආරම්භ කළහ. ඒ ඇතැම් පන්සල් වටා සාරසුබාවට උවැසි උවැසියන් පෙළගැසුණා නම් ඒ පෙළගැසුණේත් ඉන් එහා අමිහිරි යමක් වූවා නම් එය සිදුවූයේත් පුද්ගල ගති සොබා අනුවමය. වරක් උන්වහන්සේට ඉතාලියේ මිලානෝ නගරයට හැතැප්ම සිය දහසක් ගෙවා යාමට සිදුවූයේ රිය අනතුරක් නිසා ජීවිතක්ෂයට පත් වූ අයකුගේ පාංශකූලය වෙනුවෙන් ඒ ගිය ගමනේ අවසන් ප්‍රතිඵලය වූයේ ඉතාලියේ ඉදිවූ ලංකාරාමය නම් පන්සලයි. 

''ඉතාලියට ගියාට පස්සෙ එහෙ අය මට හාමුදුරුවන් ගණනාවකගෙ නම් කියලා කිව්වා ඒ අය මෙහෙට ආව වෙලාවෙ අපි වෙනුවෙන් පන්සලක් හදලා දෙන්න කියලා අපි හැමෝගෙන්ම ඉල්ලීමක් කළා. ඒත් උන්වහන්සේලා පොරොන්දුවෙලා ගියා. ඒ පොරොන්දුව ඉටු කළේ නෑ. ඔබවහන්සේවත් ඒ පොරොන්දුව ඉටු කරනවද කියලා ඒ අය ඇහුවා. මම ඇත්තටම ඒ පොරොන්දුව ඉෂ්ඨ කළා. ඒ කාලෙ ඉතාලියේ තිබුණෙ ශ්‍රී ලංකා මිත්‍ර සංගමය කියලා සංවිධානයක් විතරයි. 1988 වසරේදි මම මූලික වෙලා රුසියාවෙත් පන්සලක් හැදුවා. අපි රුසියාවට ගියේ මොංගෝලියන් ලාමාවරුන් එක්ක එකතු වෙලා. ලංකාවෙ යුද්ධය පවතින කාලෙ, මම කියන්නෙ 1980 ගණන්වල දුප්පත් දරුවන්ට මම ශිෂ්‍යත්ව ලබා දුන්නා ඉගෙන ගන්න. ඒ කාලෙ හැටියට රුපියල් පන්සීය දාහ වගේ ශිෂ්‍යත්ව ලබා දුන්නා. 2004 වසර දක්වා ළමයි එකසිය පනහකට ශිෂ්‍යත්ව දුන්නා. ඊට අමතරව ඇස් කණ්ණාඩි ලක්ෂ ගණනක්, කෘත්‍රිම අත් පා ලක්ෂ ගණනක් වැනි මට දිය හැකි ආධාර ඒ ඒ රටවල්වල සිටි පිරිසත් එකතු කරගෙන මෙහෙට එව්වා. ඒත් මෙහෙ රේගුවෙන් එක කණ්ණාඩියකට රුපියල් තිහ ගාණෙ බදු ගහන්න වුණාම මට ඒ කරපු දේවල් නතර කරන්න සිද්ධ වුණා. සුනාමි කාලෙ අඩි හතළිහෙ කන්ටේනර් දාහතරක බඩු එව්වා. සුනාමි කාලෙ මිලියන දෙසීයක් සල්ලි එකතු කරලා මෙහෙට එව්වා. සුනාමියෙන් අවතැන් වෙච්ච හැම කෙනකුටම ලක්ෂය, දෙක, ලක්ෂ පහ එව්වා.''

උන්වහන්සේගේ මෙහෙවර ශාසනික සහ සමාජයීය වශයෙන් දෙයාකාර වූහ. උන්වහන්සේ ලන්ඩනයේ ඇරඹූ විවිධ ජාති ආගම් සමූහයක් නියෝජනය කරන සංවිධානයේ සභාපතිත්වය උන්වහන්සේ දරද්දී එහි උප සභාපතිත්වය දරන්නේ යාපනයෙන් පැමිණි දමිළ බෞද්ධ වෛද්‍යවරයෙකි. සිවතම්බි සිවප්‍රකාශ් නම් වූ එම වෛද්‍යවරයා 1992 සිට මේ දක්වාම උන්වහන්සේ සමඟ සදා නොවෙනස් මිත්‍රත්වයකින් කටයුතු කළේය. සැබැවින්ම විවිධ ජාතීන්, ආගම්, සංස්කෘතීන් සම්මිශ්‍රණය වූ සඳ නැගෙන මානව ධර්මතාවයන් ගැඹුරුය. සොඳුරුය. ප්‍රේමය යනු කවදා, කොතැනක, කෙලෙසක ඇතිවුවද ප්‍රේමය මිස අන් කවරක්ද? මානව ප්‍රේමය ද සහකම්පනයෙන් යුතුව දැනෙන සියලු තැන් එපමණකටම සුන්දරය. 

එනයින් බැඳීම් ගැටගැසෙන විට විවිධ මානව දිශානතීන් විෂයෙහි හදවත් ස්පර්ශ වන තැන් සැබැවින්ම මනරම්ය. ''දකුණේ සිංහල බෞද්ධයන් විදිහට ආදරය, දයාව, කරුණාව, ජාති, ආගම්, කුල භේද නැතුව බෙදලා දෙන තැන හරි ලස්සනයි. බුදුන් වහන්සේ කීවේ සියලු සත්ත්වයන් නිදුක් වෙත්වා කියලා.'' ඒ උන්වහන්සේගේ හඬය.

සුවිශේෂීම කාරණාව වන්නේ යුරෝපයේ ඇති ලොකුම බෞද්ධ පන්සලේ විහාරාධිපති ධූරය දරන්නේ උන්වහන්සේ වීමය. තට්ටු හතරකින් සමන්විත සුවිශේෂී පහසුකම් සහිත එම පන්සලේ විවෘත කිරීමේ උත්සවය උන්වහන්සේගේ 70 වැනි ජන්ම දිනය යෙදෙන සැප්තැම්බර් 16 වැනිදාට යෙදී තිබේ. සැප්තැම්බර් 16, 17 දෙදිනම වෙන් වන්නේ ඒ මහා පින්කම වෙනුවෙනි. එක්සත් රාජධානියට යන ශ්‍රී ලාංකිකයන් ඇතැමුන් මුහුණදෙන ප්‍රශ්නයක් වන්නේ නවාතැනක් හමුවෙන තුරු කෑම බීම, නවාතැන් ආදී ප්‍රශ්නයි. විතාරන්දෙණියේ කස්සප හිමියන් එවැනි සරණක් නැති ප්‍රජාවට මාසයක පමණ කාලයක් නවාතැනක් සොයාගන්නා තුරු වතුර බිල, විදුලි බිල, ගෑස් මිල ආදියට පමණක් හැකි මුදලක් ගෙවන්න යන පදනම මත ඔවුන්ට නවාතැන් සපයයි. එහෙත් ශිෂ්‍ය වීසා මත එන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එවැනි සුළු අයකිරීමකින් පවා තොරව නවාතැන් සපයයි. එමෙන්ම එතෙර රටක සිට වැඩම කරන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්ද උන්වහන්සේගේ පන්සලේ ඉඩහසර විවෘතය.   

විතාරන්දෙණියේ කස්සප හිමියන් සිදු කළ ශාසනික සහ ආගමික මෙහෙවර වෙනුවෙන් සරසවි ආචාර්ය උපාධිවලින් පිදුම් ලද උන්වහන්සේ මහා බ්‍රිතාන්‍යයේ හිඳ කළ සමාජ සත්කාරමය සේවාව වෙනුවෙන් මෙන්ම ආගමික පුනරුදය ඇතිකිරීම විෂයෙහි කරන ලද සේවාව වෙනුවෙන් නොමඳ පැසසුමට ලක් විය. එංගලන්තයේ බකින්හැම් මාලිගයේ මහ රුජන වෙතින් පවා උන්වහන්සේ ගෞරවයටත් සම්මානයටත් පාත්‍ර වූයේ එහෙයිනි. බකින්හැම් මාලිගයේදී ඒ සමයෙහිදී චාල්ස් කුමරුන්ගේ පිළිගැනීමෙන් එංගලන්ත රජ පවුලේ සම්භාවනාවට පත් උන්වහන්සේ මෙවර ලංකාවට පැමිණියේද උන්වහන්සේව පුදනු ලබන සංඝ සම්මානයක් පිළිගනු පිණිසය. එනම් මහනුවර මල්වතු මහා පාර්ශ්වය විසින් පිරිනමනු ලබන උප ප්‍රධාන සංඝනායක පදවියක් පිළිගැනීම සඳහාය. එදා මෙදාතුර වගකීම් සම්භාරයක් දෙවුර දැරෑ උන්වහන්සේගේ අප්‍රමාණ සේවාවට එය ඇගයීම් සම්මානයක් පමණක්ම නොව, තවදුරටත් ශ්‍රී ලාංකික දේශය තුළ නවමු පුනරුදයකටත්, ශාසනික මෙහෙවරකටත් උන්වහන්සේගේ මෙහෙවරත් දායකත්වයත් අවැසි බවට සනිටුහන් කරන සලකුණක් වැනිය.        
         
I ජනාධිපති නිීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්