2023 ජුනි 04 වන ඉරිදා

සල්ලි අච්චු ගැහිල්ල රටට දෙන ’’අච්චුව’’

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 48

මේ වනවිට ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියනක පමණ අලුත් මුදල් නෝට්ටු සංසරණයට එක්කර ඇති බව ප්‍රකාශ වෙයි. අභිනව මහ බැංකු අධිපතිවරයා පත්වීම භාරගත් දිනවල පැවසුවේ එයට පෙර සිටි මහ බැංකු අධිපතිවරුන් අසීමිත ලෙස මුදල් මුද්‍රණය කිරීම නිසා රටේ ආර්ථිකයට හානි සිදුව ඇති බවය. ඒ නිසා තමා මුදල් මුද්‍රණය නොකර ජාතික ආදායම වර්ධනය කර ගැනීම මගින් ආර්ථිකය ගොඩනැගීමට අපේක්ෂා කරන බව පැවසීය. එහෙත් බොහෝ අයගේ චෝදනාව වන්නේ එසේ පැවසූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පෙර සිටි මහ බැංකු අධිපතිවරුන් ගත් මඟ යමින් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මුදල් මුද්‍රණය ආරම්භ කර ඇති බවය.

ඔහු පැවසූ පරිදි හිඟ රාජ්‍ය ආදායම එකතු කර ගැනීමට පියවර ගෙන නොමැති අතර පසුගියදා රාජ්‍ය ගිණුම්කාරක සභාවේදී අනාවරණය වූයේ 2022.12.31ට ලැබිය යුතු හිඟ බදු රුපියල් බිලියන 904ක් හෙවත් කෝටි 90434ක් අයකර ගැනීමට පියවර ගෙන නොමැති බවය. මෙම හිඟ මුදල කිසිදු නීතිමය බාධාවකින් තොරව අයකර ගත හැකිව තිබූ මුදලකි. එසේම විශාල සමාගම්වලට වසරකට රුපියල් මිලියන 500ක බදු සහන ලබාදී ඇති බව පවසමින් වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළ බවද හෙළි වී තිබේ. එසේම රටට ලැබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 1000ක පමණ විදේශ විනිමය සිංගප්පූරුවේ නාමික සමාගමකට බැර කර ඇති බවද දැනගන්නට ඇත. මේ ආදී වශයෙන් අපට ලැබිය යුතු විශාල ආදායමක් ලබා ගැනීමට අපොහොසත්ව ඇති පසුබිමක එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා මුදල් මුද්‍රණය කිරීමට සිදුවීම කොතරම් ඛේදවාචකයක්ද යන්න සලකා බැලීම වැදගත් ය.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්ණායක අනුව මුදල් නෝට්ටු අලුතෙන් මුද්‍රණය කිරීම හේතු දෙකක් අනුව සිදුවේ. එකක් නම් පළුදු වූ මුදල් නෝට්ටු සංසරණයෙන් ඉවත් කිරීම සඳහා ඒ ප්‍රමාණයට සමානව මුදල් නෝට්ටු මුද්‍රණය කර පැරුණි මුදල් නෝට්ටු විනාශ කර දැමීමය. අනිත් හේතුව වන්නේ රටේ ආර්ථික වර්ධනය සහ මුදල් සංසරණය ගැන සමීක්ෂණයක් කර එයට අනුරූප ලෙස නෝට්ටු මුද්‍රණය කිරීම සිදු කිරීමය. මෙම නිර්ණායක දෙකට පරිබාහිරව නෝට්ටු මුද්‍රණය කර මුදල් වෙළෙඳපොළට නිකුත් කිරීම නිසා උද්ධමනය ඉහළ යාම, බඩු මිල වැඩිවීම, ජනතාවගේ දිළිඳු බව ඉහළ යාම ආදී දුර්විපාකවලට මුහුණදීමට සිදුවේ.

මහ බැංකුව ගන්නා තීරණවලට රජය ඇඟිලි නොගසන බව ජනාධිපතිවරයා පවසයි. ඒ නිසා තමා ගන්නා තීරණ පිළිබඳව රටට තනිව වගකියන්නට මහ බැංකු අධිපතිවරයාට සිදුව තිබේ. අපේ රටේ මෙතෙක් සිදුවූවාක් මෙන් බැංකු අධිපතිවරුන් තනතුරුවලින් ඉවත්වූ පසු තවදුරටත් ඔවුන්ගෙන් සිදුවූ වැරදි පිළිබඳ විවේචන එල්ල කිරීම කොතරම් දුරට යථාර්ථවාදී වේද යන්න සලකා බැලිය යුතුය.

රජය මේ වනවිට උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව පවසයි. එවැනි පසුබිමක උද්ධමනය ඉහළ යන කිසිදු පියවරකට මහ බැංකුව අවතීර්ණ නොවන බව සිතන්නට හැකිය. ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 17දා රුපියල් බිලියන 180ක් තරමේ සුවිශාල භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකළ අතර ඉහළ පොලී අනුපාතිකයක් පවතින නිසා එම බිල්පත් සියල්ලම අලෙවි වූ බවටද වාර්තා විය.

කෙසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුවේ ගමන් මාර්ගය පිළිබඳ අපි ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන් දෙදෙනකුගේ අදහස් විමසීමු.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසන්නේ මුදල් මුද්‍රණය කිරීම යනු මහ බැංකුව මුදල් මුද්‍රණය කිරීම පමණක් නොවන බවය. රටේ මුදල් වැඩිවීම සිදුවන්නේ මහ බැංකුව මුදල් නෝට්ටු මුද්‍රණය කරන නිසාම නොවන බව ඔහු පෙන්වා දෙයි.

''ජනතාව පරිහරණය කරන මුදල් මෙයට ඇතුළත් වෙනවා. ජනතාව හරපත්වලින් මුදල් ගෙවනවා. වෙනත් කාඩ්පත් මගින් මුදල් ගෙවනවා. විදේශ විනිමය ව්‍යවහාර මුදල්වලින් සියයට 50ක් මෙයට ඇතුළත් වෙනවා. QR කේතය යටතේ ජනතාව මුදල් ගෙවනවා. තැන්පතු ආපසු අරගෙන වියදම් කරනවා. රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලින් සංසරණයට එන මුදල්ද මෙය අඩංගුයි. ඒ නිසා මුදල් නෝට්ටු මුද්‍රණය වගේම ඉහත කාරණාද බලපානවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා සිටින සමයේ විශේෂයෙන් 2019 දෙසැම්බර් මස සිට 2023 මාර්තු දක්වා රටේ මුදල් තොගය රුපියල් බිලියන 4600කින් වැඩිවුණා. එයට පෙර වර්ෂ හා සසඳා බලන විට මෙය සියයට 68ක ඉහළ යාමක්. මෙම අවිධිමත් මුදල් ප්‍රවාහය නිසා රටේ ආර්ථිකයට විශාල අහිතකර තත්ත්වයක් ඇතිවී තිබෙනවා. 2021.22.23 වර්ෂවල රටේ මූර්ත ආර්ථික වර්ධනය ඍණ අගයක් වුණා. වැඩිපුර මුදල් සැපයීම නිසා උද්ධමනය හෙවත් භාණ්ඩ හා සේවා මිල වැඩිවීමේ වේගය ඉහළ ගොස් අධි උද්ධමනකාරී තත්ත්වයක් උද්ගත වුණා. ජීවන වියදම ඉහළ යාම නිසා ජනතාව අතර දරිද්‍රතාව වැඩිවී තිබෙනවා. රටේ ජනතාවට ජීවත්වීම සඳහා මුදල් අවශ්‍ය බව ඇත්ත. එහෙත් එය දරාගත නොහැකි තරමට අසීමාන්තිකව වැඩිවීම යහපතට වඩා අයහපත් ප්‍රතිඵල ගෙන දෙන බව කිව යුතුයි.

මෙය හරියට මෝටර් රථයකට එන්ජින් තෙල් දමනවා වැනි වැඩක්. එය වැඩියෙන් දැමීමත් අඩුවෙන් දැමීමත් එකසේම අයහපත් වෙනවා. අවශ්‍ය ප්‍රමාණය පමණක් සැපයීමට වගබලා ගත යුතුයි. ඒ නිසා සෑම දෙයක්ම කළයුත්තේ ආර්ථිකයට ගැලපෙන විදියට බව කිවයුතු වෙනවා.

අනිත් අතට මුදල් මුද්‍රණය කිරීම වර්තමාන මහ බැංකු අධිපතිවරයා පමණක් කළ දෙයක් නොවෙයි. මෙයට පෙර සිටි මහ බැංකු අධිපතිවරුන් වන ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල් යන අයගේ සමයේදී ද විශාල ලෙස මුදල් මුද්‍රණය කළා. වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද සුළු වශයෙන් හෝ මුදල් මුද්‍රණය කරනවා. මුදල් මුද්‍රණය කිරීමේ එක්තරා සමීකරණයක් තිබෙනවා. රටේ ආර්ථික තත්ත්වය අනුව මුද්‍රණය කළ යුතු අපේක්ෂිත ඉලක්කය සියයට 6ක්ද උද්ධමනය සියයට 4ක්ද වූ විට සියයට 12ක් මුද්‍රණය කළ හැකි වෙනවා. එහෙත් එලෙස නෝට්ටු මුද්‍රණය කළාය කියලා උද්ධමනය වැඩි වන්නේ නැහැ. පසුගිය සමයේ උද්ධමනය විශාල ලෙස වැඩිවූයේ මෙම තත්ත්වය නොසලකා මුදල් මුද්‍රණය කිරීම නිසායි. එසේම පොලී අනුපාතිකය පහළ මට්ටමක තිබීම නිසා ජනතාව මුදල් බැංකුවල තැන්පත් නොකර පරිහරණයට පාවිච්චි කළා. මේ දෙකම එකතු වූ විට සංසරණය වූ මුදල් ප්‍රමාණය වැඩිවුණා. ඒ නිසා තමයි අධි උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවූයේ දැන් ඒ වරද වටහාගෙන යම් සීමා කිරීම්වලට යටත්ව සිදුකරනවා. එහි වරදක් දැකිය නොහැකියි.

දියවැඩියා රෝගියකුට එක දොස්තරවරයෙක් සීනි ගැනීම සීමා කරනවා. එහෙත් නව වෛද්‍යවරයෙක් පැමිණ එම නියමය ඉවත් කළවිට දියවැඩියාව උත්සන්න වෙනවා. දියවැඩියාව පමණක් නොව එයට සමාන්තරව වෙනත් රෝගාබාධ ද වැඩිවෙනවා. ඒ වගේ මුදල් සැපයීම වැඩිකළ විට ජීවන වියදම වැඩිවුණා. විනිමය අනුපාතිකය අඩුවුණා. රටේ දරිද්‍රතාව වැඩිවුණා. උද්ධමනය ඉහළ ගියා. වර්තමාන මහ බැංකු අධිපතිට ඒ සියලු රෝගවලට පිළියම් කරන්නට සිදුව තියෙනවා. මෙම ආර්ථික රෝගියා සුවපත් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. අමාරුවෙන් හෝ එය කළයුතුව තිබෙනවා. ඍණ ආර්ථිකයක තිබුණු රටක් ක්‍රමයෙන් සුවපත් කරමින් පවතින බව දක්නට ලැබෙනවා.''

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා:

සාමාන්‍යයෙන් අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කරනුයේ රටේ ඉදිරි සංවර්ධන වේගය ගණනය කරලා එයින් සියයට පහක් පමණ ප්‍රමාණයකට අනුකූල වන ලෙසයි. එයට වඩා අසීමිත ලෙස මුදල් මුද්‍රණය කළහොත් එහි ප්‍රතිඵලයක් වශයෙන් භාණ්ඩ මිල ඉහළ ගොස් උද්ධමන වේගය වැඩි වෙනවා. මේ වනවිට උද්ධමනය තනි ඉලක්කමකට ගෙන එන්නට බලාපොරොත්තු වන බව කියන නිසා මුදල් මුද්‍රණය කරලා අධි උද්ධමනකාරී තත්ත්වයක් නිර්මාණය කරන්නේ නැති බව විශ්වාස කළ හැකියි. අද වනවිට පවතින්නේ ඍණ ආර්ථික වර්ධන තත්ත්වයක්. උද්ධමන ඉහළ ගියහොත් එම ස්වභාවය යළිත් වනෙස් විය හැකියි.

රජයට මුදල් අවශ්‍ය බව ඇත්ත. එහෙත් අවිධිමත් ලෙස මුදල් මුද්‍රණය කිරීමෙන් අපට බලාපොරොත්තු වන ඉලක්ක කරා ළඟාවෙන්නට ලැබෙන්නේ නැහැ. මෙහිදී කළ යුත්තේ මුදල් මුද්‍රණය කිරීම හෝ දේශීය හා විදේශ වශයෙන් ණය ලබාගැනීමට නොගොස් ආදායම් උත්පාදන ක්‍රියාවලියකට යාමයි.

මෙයට පෙර යුගයේ විශාල ලෙස මුදල් අච්චු ගසා වාර්තාවක් පිහිටුවා ඇත්තේ හිටපු මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතායි. ඔහු නූතන මූල්‍ය න්‍යාය (Modern Money Theory) යන සංකල්පයක් හඳුන්වා දෙමින් දිගටම මුදල් මුද්‍රණය කිරීම නිසා රටේ උද්ධමනය ඉහළ ගියා. ජීවන වියදම වැඩිවුණා. මෙම න්‍යාය නිවැරදි නමුත් එය අප රටට යොදාගැනීමේදී විවිධ ගැටලු මතුවූ බව කිවයුතුයි. මම නම් මෙම න්‍යාය අපේ රටට ගැලපෙන බව කියන්නේ නැහැ.

අපේ රටේ ණයවලට පොලිය ගෙවීමට පමණක් ආදායමෙන් සියයට 70ක් පමණ වැය කරනවා. මේ තත්ත්වය අපට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රතිශතය 44ක් විය යුතුයි. පොලී වැඩිවීමට හේතුව 2019 දී මුහුණදීමට සිදුවූ ආර්ථික කඩා වැටීමයි. 2019 පෙර පොලී සඳහා ගෙව්වේ ආදායමෙන් සියයට 50 පමණ ප්‍රමාණයක්. එයටත් අතීතයේ ගෙව්වේ සියයට 40ක ප්‍රමාණයක්. අපේ ආදායමෙන් බිලියන 600ක පමණ බදු කැපීම නිසා අහිමි කර ගත්තා. ඒ හේතුවෙන් පොලී ගෙවීම ආදායමෙන් සියයට 74 දක්වා ඉහළ ගියා. අද ඇතිවී ඇති ගැටලුව ණය ගැනීම නොව ගත් ණය ගෙවීමට ආදායමක් නැතිවීමයි. මෙහිදී ණය ගෙවීමට නම් ආදායම උත්පාදනය කළ යුතුයි. නැතිව ණය ගෙවීමට තවත් ණය ගැනීම හෝ මුදල් මුද්‍රණය කිරීම නොවෙයි. 

පද්ධති ප්‍රවේශය යනු තීරණ අතර ඇතිවිය යුතු සම්බන්ධතාවයි. එක් තීරණයක් නිසා අනෙකට සිදුවන හානිය සොයාබැලිය යුතු වෙනවා. දීර්ඝ කාලයක සිට පවතින වාහන ආනයන තහනම නිසා විශාල ආදායමක් අහිමිවෙලා තියෙනවා. ඇතැම් වාහනවල බද්ද වාහනයේ වටිනාකම මෙන් 3-4 ගුණයක්. වැඩියෙන් ඇත්තේ බදුයි. මත්පැන්වලටත් එහෙමයි. මත්පැන් බදු ඉහළ දමා මිල වැඩිකිරීම නිසා අලෙවිය 40%කින් පහළ වැටුණා. මෙම තත්ත්වය නිසා ණය සහ පොලී ගෙවීමට නොහැකිවීමෙන් අපේ රට බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කරන්න සිදුවුණා. දුරදිග සිතා නොබලා හදිසියේ ගත් මෙවැනි තීරණ නිසා අපට සිදුවූ හානිය සුළුපටු නැහැ.

මේ දිනවල මුදල් අච්චු ගැසීම ඉතා වැඩි බවට මහ බැංකුවට චෝදනා කරනවා. මුදල් මුද්‍රණය කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය නොසලකා අසීමාන්විත ලෙස මුද්‍රණය කරනවා යැයි වර්තමාන පාලනයටද දෝෂාරෝපණ එල්ල කරනවා. ඇත්තටම මෙහිදී සිදුවන්නේ කුමක්ද යන්න වටහාගත යුතුයි. සෑම මාසයකම ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙන්දේසි කරනවා. මෙම බැඳුම්කරවල දැන් පොලිය ඉහළ මට්ටමක තිබෙන නිසා ඒවා අලෙවි කරගන්න අමාරු නැහැ. වාණිජ බැංකු සහ පෞද්ගලික අංශ මේවා මිලයට ගන්නවා. එයින් භාණ්ඩාගාරයට මුදල් ලැබෙනවා. එහෙත් මෙම භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර බලාපොරොත්තු වූ පරිදි අලෙවි වන්නේ නැහැ. එවිට සිදුවන්නේ කුමක්ද? එම ඉතුරු වූ ප්‍රමාණය මධ්‍යම බැංකුව මිලයට ගන්නවා. මෙලෙස මහ බැංකුව මිලට ගන්නා විට එයට අවශ්‍ය සල්ලි මුද්‍රණය කළ යුතු වෙනවා. එහෙත් මෙහිදී එකවරම මුදල් මුද්‍රණය කර එළියට දමනවා නොවෙයි. නිතරම මුද්‍රණය කළ මුදල් නෝට්ටු මහ බැංකුවේ තැන්පත් කර තිබෙනවා. ඒවා සංසරණයට ගන්නේ නැහැ. මෙහිදී බිල්පත් හා බැඳුම්කර මිලදී ගැනීමට එම මුදල් යොදවනවා. ඒ නිසා සිදුවන්නේ රටේ මුදල් සැපයුම වැඩිවීම නිසා භාණ්ඩ මිල ඉහළ යාම, උද්ධමනය වැඩිවීම ආදී නරක ප්‍රතිවිපාක වලට මුහුණදීමට සිදුවීමයි.
මේ දිනවල භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල පොලී ප්‍රතිශතය ඉතාම ඉහළයි. එසේම මේවායේ ආයෝජන කිරීම අනතුරු නැති විශ්වාසනීය ආයෝජනයක් ලෙස සලකනවා. ඒ නිසා බොහෝ අංශ ඒවායේ නිර්භයව ආයෝජනය කිරිමට පෙළඹෙනවා. මේ කාලයේ වානිජ බැංකුවල තැන්පතුවලට ගෙවන්නේ සියයට 3-4 ආදී වශයෙන් අඩු පොලියක්. ඒ නිසා එම බැංකු මහජනතාවගෙන් ලබාගන්නා තැන්පතු භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ඉහළ පොලී අනුපාතවලට ආයෝජනය කර, විශාල මුදලක් උපයනවා. බැංකුවල ආදායම ඉහළ යන්නේ මේ ක්‍රමය නිසයි.

භාණ්ඩාගාරය ගන්නා බිල්පත් හා බැඳුම්කරවල කල්පිරුණු විට මුදල හා පොලිය ගෙවිය යුතු නමුත් ඒවා ලැබෙන්නේ නැහැ. ඒ පොලිය කපා හරිනවා. නැත්නම් බොල් ණයවලට හරවනවා. ඒ නිසා භාණ්ඩාගාරය මිලට ගන්නා බැඳුම්කර නිසා සිදුවන්නේ රටේ මුදල් සැපයුම ඉහළ යාම මිස ආර්ථිකයට වෙන කිසිදු ලාභයක් ලැබෙන්නේ නැහැ.''

I යසවර්ධන රුද්රිගු