2023 ජුනි 04 වන ඉරිදා

පොසොන් අසිරිය උතුරායන මිහින්තලේ

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 55

මිහින්තලේ පොසොන් උත්සවය මෙවර මතභේදයට ලක්වූ අවස්ථාවක් විය. එයට හේතුව රජයෙන් රාජ්‍ය පොසොන් උත්සවය සහ මිහිඳු පෙරහර සඳහා ලබාදෙන ප්‍රතිපාදන රුපියල් ලක්ෂ තිහකට සීමා කිරීමයි. මේ නිසා පෙරහර පැවැත්වීමට සහ පුදබිම පොසොන් උළෙලට ආලෝකමත් කිරීමට වියදම සොයාගැනීමට පිණ්ඩපාතයේ වඩින බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමි පසුගියදා පැවසූහ. එම පිණ්ඩපාතයේ වැඩීමේදී ජාති ආගම් භේදයකින් තොරව විශාල පිරිසක් පොසොන් උත්සවය සඳහා දායක වීමට එක්වූ බව උන්වහන්සේ පසුගියදා  මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළහ. 

''පූජා භූමිය ඉතිරෙන්න ජෙනරේටර් ගේන්න කතා කළා. ඒ අය බෞද්ධ මිනිස්සු නෙමේ. මවුලවිතුමන් හරහා කුරුක්කල්තුමන් හරහා කතෝලික පියතුමන් හරහා ආදිවාසීන් පවා මේකට දායකත්වය දක්වනවා. ආණ්ඩුවෙන් මම ඉල්ලීමක් කරනවා ඒ අයට බාධා කරන්න එපා. විවිධ ජාතින් විවිධ ආගමිකයන් සංස්කෘතිවලට අයත් අය මේ පාත්‍රයට මුදල් දෙනවා.''

තවත් පිරිසක් පවසන්නේ මිහින්තලේ පිංකම්වලට මේ අමාරු කාලේ විශාල ලෙස වියදම් කිරීම නොකළ යුතු බවයි. රටපුරා අපහසුකම් මැද වුවද විවිධ පොසොන් පිංකම්, පොසොන් කලාප සහ දන්සල් සංවිධානය කර ඇති බවට වාර්තාවේ. පොසොන් උළෙලේදී වැඩි වැදගත්කමක් ලැබෙන්නේ තොරණ සහ කූඩුවලට වඩා දන්සල් සහ සීල භාවනා ආදී පිංකම්වලටය. ඒ අතරම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දින කිහිපයක සිට  අනුරාධපුරයට සහ මිහින්තලේට පැමිණ සිටිති.  

මෙවර පොසොන් උත්සවයට දිවයිනේ නන්දෙසින් විශාල පිරිසක් මේ වනවිටත් පැමිණ සිටිති. නටබුන් පිරී පවතින සංස්කෘතියේ තොටිල්ල වශයෙන් සැලකෙන අඩි 1000ක් ඉහළට නැගී සිටින මිහින්තලේ කඳුවැටිය අම්බස්තල කන්ද, ඇත්වෙහෙර කන්ද, රාජගිරි කන්ද, අනායිකුට්ටි කන්ද යන කඳුගැටවලින් සමන්විතය. බැතිමතුන් වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවන කළුදිය පොකුණ පිහිටියේ ඇත්වෙහෙර කන්ද හා අනායිකුට්ටි කන්ද අතර පිහිටි නිම්න බිමකයි. මෙම ආරාමය අක්කර 150ක බිමක පැතිර පවතී. ඒ අවට ලෙන්ද දැකගත හැකිය. මේ පුදබිමට පිවිසීමට නම් මිහින්තලා නගර මධ්‍යයෙන් දකුණු දෙසට විහිදී ඇති යාපනය සිට මහනුවර දක්වා ගමන් කරන A 9 පාරේ මීටර් 900ක් ගමන් කළ යුතුවේ.

පොකුණක් මුල්කරගෙන තනා ඇති මෙය ඉතා රමණීය වනඅරණකි.  කඳුවලින් ගලාඑන ජල උල්පත් පොකුණට ස්වභාවිකවම යොමුව තිබේ. පොකුණෙහි ඊසාන සහ වයඹ කොන් සෘජු ලෙස පිහිටි අතර දකුණු සහ නිරිතදිග ඉවුරේ බැමිවලට යොදාගන තිබෙන්නේ පිහිටි ගල්පර්වතය. පොකුණේ උතුරු බැම්මේ දිග අඩි 280කි. නැගෙනහිර බැම්ම දිගින් අඩි 720කි. දකුණු බැම්ම අඩි 66ක්ද බස්නාහිර අඩි 890ක්ද වේ. වම් ආධාරක බැම්ම තනා තිබෙන්නේ සක්කගල්වලින් වන අතර නැගෙනහිර බැම්මට සක්කගල් වගේම කැපූ කළුගල්ද යොදාගෙන තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කළුදිය පොකුණ ආරාමය සංරක්ෂණය කර ඇත.

ජලය වැඩිවූ විට පිටකිරීම සඳහා සවිකර තිබුණු ශෛලමය නළයක්ද මෙහි කැණීම්වලදී හමුවිය. පොකුණට බැසීම සඳහා ප්‍රධාන සෝපාන පන්තිය තිබෙන්නේ බස්නාහිර පැත්තය. එය තට්ටු දෙකකින් හා අත්වැල්වලින් යුක්තව ඉදිකර තිබුණ බව කැණීම්වලදී හෙළි විය. එහි පියගැට 32ක් මතුකර ගෙන තිබේ. 

පාහියන් හිමිගේ දේශාටන වාර්තාවල සඳහන් වන්නේ මිහින්තලේ භික්ෂූන් 2000ක් වාසය කළ බවයි. මිහින්තලේ විහාරයේ වැඩසිටි භික්ෂූන් වහන්සේ  ස්නානය සඳහා මේ පොකුණ භාවිත කළ බව නිසැකය. අදත් අවට ගැමියන් මෙන්ම වන්දනාකරුවන්ද ස්නානය සඳහා මේ පොකුණට පැමිණෙනු දැකගත හැකිය. මිහින්තලේ අභය භුමියට අයත් මේ අවට වනසතුන් රැසක්ද වාසය කරති.

කළුදිය පොකුණ ආරාමය කරවූයේ කව්දැයි  නිශ්චිතව තොරතුරු හමු නොවේ. එච්.සී.පී. බෙල් සඳහන් කරන්නේ සිව්වැනි කාශ්‍යප රජුගේ (ක්‍රි.ව. 896-913) සෙන්පතියකු විසින් කරවන ලද හදයුන්හ පිරිවෙන මෙය බවයි. ඒ රජු මිහින්තලයේ (චේතිය පබ්බතයෙහි) හදයුන්හ නමින් පිරිවෙනක් කරවා, එය ධම්මරුචි භික්ෂූන්ට පූජා කළ බව මහාවංශයේ සඳහන් වේ.

අනුරාධපුර යුගයේ අවසන් කාලේදී නගරයෙන් පිටත නිසංසල ප්‍රදේශවල ආරණ්‍යවාසී භික්ෂුන් සඳහා පබ්බත විහාර සහ පධානඝර ආරාම තැනීම සිදුවිය. මෙම ආරාමයද බවුන් වඩන භික්ෂුන්ට කැපවූ පධානඝර ගොඩනැගිලි සහිත ආරාමයකි.
මේ පොකුණට කළුදිය පොකුණ යයි පවසන්නේ එහි ජලයේ ගැඹුරු බව නිසා මෙන්ම අවට පර්වත නිසා කළු පැහැයෙන් දිස්වන නිසා බව යි පේන්නේ. ඓතිහාසික මූලාශ්‍රවල එවැනි නමක් හමු නොවේ. ඉතිහාසඥයන් සඳහන් කරන්නේ සිව්වැනි මහින්ද රජුගේ (ක්‍රි. ව. 956-972) මිහින්තලා පුවරු ලිපිවල දැක්වෙන පොරොදෙනි පොකුණ මෙය විය යුතු බවයි. 

කළුදිය පොකුණ ආරාමයට පිවිසෙන  වාහල්කඩ ගඩොල් හා කළුගල් යොදාගෙන තනා තිබේ. ඒ අසල උස්බිමක දාගැබක් සහ සංඝාරාම ගොඩනැගිල්ලක් දැකගත හැකියි.

පොකුණ මැද්දේ දූපතක් වැනි ගල්පර්වතයක් මැද පිහිටි ගොඩනැගිල්ල මේ පුදබිමට අලංකාරයක් ගෙන එන්නකි. එය උස් වේදිකාවක් මත අඩි 8ක් උසට අණ්ඩාකාර මළුවක් තනා ඒ මත ගඩොල්වලින් ඉදිකර තිබේ. මේ දූපතට ගමන් කිරීමට පුරාණයේ පාලමක් තනා තිබුණත් එය පසුව විනාශව ගොසිනි.  මෙම ගොඩනැගිල්ලේ පොළොවට ගඩොල් අතුරා වහලයට උළු සෙවෙණි කොට තිබූ බව හෙළි වී ඇත. 

කළුදිය පොකුණට ඉදිරිපසින් පිහිටි රාජගිරි ලෙන කන්ද විශාල පර්වතවලින් පිරි කුඩා කඳුගැටයකි. ඒවා ඇසුරු කරගෙන ගල්ලෙන් කිහිපයක්ද කඳු පාමුල පොකුණක්ද දක්නට ලැබේ. කන්ද පාමුලත් පැරණි ලෙන් ආරාම කිහිපයකි. ලෙන් පූජා කළ බව සඳහන් ක්‍රි.පූ. යුගයට අයත් බ්‍රාහ්මී ලෙන්ලිපි කිහිපයක්ද මෙහි හමුව තිබේ. කන්දට පිවිසීමට තැනූ පියගැට පෙළ හා ලෙන්වල පැරණි නටබුන් හෙළි කරන්නේ මුලින්ම ඇතිවූ පුරාණ ලෙන් ආරාම පසුව ප්‍රතිමා මන්දිර බවට පත්ව ඇති බවයි. කළුගල් උළුවස්සක් සහිත බිත්තියකින් මෙම ලෙන් විහාරයට පිවිසිය යුතුය. එය ඉදිරිපිට කොරවක්ගල් සහ මුරගල් සහිත විහාර පිවිසුම පිහිටා තිබේ. විනාශ වී ගිය සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්ද රාජගිරි ලෙනේ දැකගත හැකිය. නවවැනි සියවසට අයත් සංස්කෘත අක්ෂරයෙන් ලියූ සෙල්ලිපියක් ද මෙහි තිබී හමුවූ අතර ඒ නිසා මහායානික බලපෑම මෙම ස්ථානයටත් ලැබෙන්නට ඇති බවට ඉතිහාසඥයෝ විශ්වාස කරති.

රාජගිරි ලෙන කන්දට නුදුරින් පිහිටා ඇත්තේ කළුගල් ප්‍රාකාරයකින් වටකළ නටබුන් ආරාම සංකීර්ණයක් වන ඉඳිකටු සෑය ආරාමයයි. දාගැබ් දෙකක්, කළුගලින් කළ පොකුණක්, හා සංඝාරාම ගොඩනැගිලි මෙහි දී හමුවේ. මෙහි පිහිටි පෙකුණ පසුගිය කාලයේ සංරක්ෂණය කර ඇති අතර ආරාම සංකීර්ණය තුළ පිහිටි දාගැබ ඉඳිකටු සෑය නමින් හඳුන්වයි. කළුගල් වේදිකාවක් මත ඉදිකළ දාගැබ් මලුවට පිවිසීමට පියගැට පෙළකි. චාම් කොරවක් ගල් සහ සඳකඩපහණක්ද එහි පිවිසුමේ දැකගත හැකිය. වේදිකාවක් මත ඉදිකළ දාගැබ මෙහි ප්‍රධාන ස්මාරකයයි.

I කුසුම්සිරි විජයවර්ධන

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02