ඇන්ටාක්ටිකාවේ සාගරය පතුලෙන් ලොව මීළඟ මහා සුනාමිය සම්බන්ධ ඇඟ කිළිපොලා යන විද්‍යාත්මක හෝඩුවාව මතුව තිබේ. මිනිසා මේ යන ආකාරයටම පරිසරයට හානිදායී ලෙස කටයුතු කළහොත් ඊළඟ සුනාමිය සාගර පත්ල ඔස්සේ පැමිණ ගොඩබිම විශාල භූමි ප්‍රදේශයක් ගිල ගනිමින් මහා විනාශයක් සිදු කළ හැකි බව දැන් සනාථ වී හමාරය.
පරිසර උණුසුම ඉහළ යාම සමඟ සාගර පත්ලේ ඇතිවිය හැකි නාය යාමක් මගින් මෙවන් මහා සුනාමියක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත්තේ බ්‍රිතාන්‍යයේ ප්ලිමත් විශ්වවිද්‍යාලයේ පර් යේෂණ පිරිසකි.
ප්ලිමත් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් රාජකීය නාවික හමුදාව විසින් රුස් කරන ලද දත්ත භාවිත කර ඇන්ටාක්ටිකාව මායිමේ ඇති දිය යට ගිනි කඳු නිසා ඇතිවිය හැකි විනාශකාරී සුනාමි තර්ජනය තක්සේරු කිරීමට සමත්ව තිබේ. එම කලාපය වෙත මෑත ගවේෂණයකදී, සරසවියට අනුයුක්තව පරීක්ෂණවල යෙදෙන හිම කඩන යාත්‍රාවක් වන HMS Protector මගින් ලෝකයේ වඩාත්ම දුරස්ත බ්‍රිතාන්‍ය ප්‍රදේශවලින් එකක් වන දකුණු සැන්ඩ්විච් දූපත අසල දිය යට කඳු මුදුන් මාලාවක් පරිලෝකනය කිරීමට අති නවීන සංවේදක භාවිත කළේය.
හයිඩ්‍රොග්‍රුෆි සහ සාගර ගවේෂණ පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය ජෙනී ගේල්ස් සහ බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණයේ සගයන් ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල සහිත පින්තූර පරීක්ෂා කළ අතර වඩාත් භයානක අනාගත සුනාමියක් පිළිබඳ ඔත්තුව සැඟව තිබුණේ එහිය.
විශේෂයෙන්ම, ඔවුන් Zavodovski දූපතට ඔබ්බෙන් මුහුදු පත්ලේ සිට මීටර් සිය ගණනක් ඉහළට නැගෙන ක්‍රියාකාරී ගිනි කඳු දාමයක ස්ථාවරත්වය තක්සේරු කර තිබුණි.
මෙවන් ගිනි කන්දක් ආශ්‍රිතව විශාල දිය යට පිපිරීමක් සිදුවුවහොත්, ඉන් මහා විනාශකාරී නාය යාමක් ඇති කළ හැකි අතර, එයින් ප්‍රබල සුනාමියක් ඇතිවිය හැකිය. එවැන්නකින් ඉතා විනාශකාරී ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව ඔවුහු පෙන්වා දුන්හ.
සමීක්ෂණ මෙහෙයුම විසින් ප්‍රධාන පිපිරීමකින් පසු කඩාවැටුණු බිත්ති සහිත ගිනි කඳු කල්දේරමක් සොයාගෙන තිබුණි. මේ කඳු මුදුන් ඕනෑම මතුපිට නෞකාවක පතුලේ කීල් එකට වඩා බෙහෙවින් පහළින් පිහිටි නමුත් සබ්මැරීනවල ක්‍රියාකාරී ගැඹුර තුළ එනම් මතුපිට සිට මීටර් 90 (අඩි 295) ක් තරම් උසක් දක්වා විහිද ඇති අයුරු සොයාගන්නා ලදී. මේ නිසා ඕනෑම අවස්ථාවක සබ්මැරීන ගැටීමෙන් මේ කඳු මුදුන් කඩා වැටී පත්ලේ නාය යාම් ඇතිවිය හැකි බව ඔවුහු පෙන්වා දෙති. මේ නාය යාම් සුනාමි ප්‍රවාහයකට මඟ පාදයි. නිදසුනක් වශයෙන්, 1998 දී පැපුවා නිව්ගිනියාව අසල සබ්මැරීන නාය යාමක් හේතුවෙන් මිනිසුන් 2,200 ක් මියගිය සුනාමි රළ ඇති විය.
“සබ්මැරීන නාය යාම් විශාල ජීවිත හානියක් ඇතිකළ හැකි සුනාමි ඇති කිරීමේ හැකියාව ඇති ප්‍රධාන භූ උපද්‍රවයකි. නාය යාම් මගින් මුහුදු කේබල් ඇතුළු යටිතල පහසුකම් ද විනාශ විය හැක. එනම් අනාගතයේදී එවැනි සිදුවීම් පුළුල් පරාසයක ආර්ථික හා සමාජයීය බලපෑම් ඇති කරනු ඇත.* යැයි අධ්‍යයනයේ සම කර්තෘ ජෙනී ගේල්ස් පැවසීය.
මේ විද්වතුනට අනුව දිය යට නාය යාමක් යනු විශාල අවසාදිත ප්‍රමාණයක් විස්ථාපනය කර මාරක සුනාමි ජනනය කළ හැකි ගෝලීය අනතුරකි.
එක්සත් ජනපදයේ ප්ලිමත් විශ්වවිද්‍යාලයේ පර් යේෂණයන් සිය මෑත පර් යේෂණයේදී සොයාගන්නා ලද්දේ මීට වසර මිලියන 3ත් 15ත් අතර කාලයකට පෙර, පසුගිය ගෝලීය උණුසුම පැවැති කාලපරිච්ඡේදය තුළ, ඇන්ටාක්ටිකාව අසල මුහද යට වූ ලිහිල් අවසාදිත ස්ථර ලිස්සා ගොස්, ආසියාව, දකුණු ඇමෙරිකාව සහ ගිනිකොණදිග නවසීලන්තයේ වෙරළ තීරය විනාශ කළ යෝධ සුනාමියක් ඇති කළ බවයි.
නේචර් කොමියුනිකේෂන්ස් සඟරාවේ මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද මෙම නව අධ්‍යයනයට අනුව, ප්ලීමත් විද්‍යාඥයන් විසින් මුහුදු පතුලේ මීටර් සිය ගණනක් ගැඹුරින් දුර්වල, පොසිලීකරණය වූ සහ ජීව විද්‍යාත්මකව පොහොසත් අවසාදිත පුළුල් ස්ථර රුසක් සොයාගෙන තිබුණි.
මෙම ස්ථර නිර්මාණය වී ඇත්තේ ඇන්ටාක්ටිකාවේ උෂ්ණත්වය අදට වඩා සෙල්සියස් අංශක 3ක් දක්වා වැඩි වූ ගෝලීය උණුසුම ඉහළ මට්ටමක පැවැති පසුගිය කාලපරිච්ඡේදය තුළ අවස්ථාවක බව පර්යේෂණයෙන් පෙන්වා දී ඇත.
දැන් නැවතත් මිනිසා ගෝලීය උණුසුම ඉහළ මට්ටමක් කරා යන අයුරු කටයුතු කරමින් සිටියි. වර්තමාන මිනිසා විසින් මෙහෙයවනු ලබන මේ වේගවත් දේශගුණික විපර්යාස, මුහුදු මට්ටම ඉහළ යාමට සහ අයිස් තට්ටු හැකිලීමට තුඩු දෙන අතර, ඒ හේතුවෙන් ඇන්ටාක්ටිකාවේ දිය යට ඇතිවිය හැකි නාය යාමක් හේතුවෙන් නැවත වරක් දකුණු සාගරය හරහා විහිදෙන මහා සුනාමි රළ ප්‍රවාහයක් ජනනය කළ හැකි බවට විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.
I සුගත් පී. කුලතුංගආරච්චි
.