2023 ජුනි 10 වන සෙනසුරාදා

ළඟදීම එන ඊ පාස්පෝට්

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 225

වංචනික ක්‍රියා මැඬලීමේ අරමුණින් ඊ පාස්පෝට් හෙවත් විද්‍යුත් ගමන් බලපත්‍රයක් හඳුන්වා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.  ඊට අවශ්‍ය සියලු කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින අතර මේ වසර අවසානයට පෙර එය නිකුත් කිරීමට පියවර ගන්නා බවත් ඒ සඳහා කැබිනට් මණ්ඩලය මගින් කමිටුවක්ද පත්කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. නව විදේශ ගමන් බලපත්‍රය සඳහා ජීවදත්ත තොරතුරු ඇතුළත් විද්‍යුත් කාඩ්පතක් (චිප් එකක්) ඇතුළත් වන අතර මෙම ක්‍රමවේදය ලොව බොහෝ රටවල් අනුගමනය කරන බවද ඔහු සඳහන් කළේය. ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාට අනුව විද්‍යුත් ගමන් බලපත්‍රය සඳහා ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ සඳහා විදෙස් රටවල් කිහිපයක් පහසුකම් සැපයීම සඳහා ඉදිරිපත්ව සිටී.

ඊ-පාස්පෝට්, ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය හෝ ජෛවමිතික ගමන් බලපත්‍රය යනු විදේශ ගමන් බලපත්‍ර හිමියාගේ අනන්‍යතාවය තහවුරු කළ හැකි ජෛවමිතික තොරතුරු අඩංගු ඉලෙක්ට්‍රොනික මයික්‍රොප්‍රොසෙසර් චිපයක් සහිත විදේශ ගමන් බලපත්‍රයකි. එම මයික්‍රොප්‍රොසෙසර් චිපය විදේශ ගමන් බලපත්‍රයේ ඉදිරිපස හෝ පසුපස කවරයේ හෝ මැද පිටුවේ තැන්පත් කර ඇති අතර වඩාත් ආරක්ෂා සහිත සහ නිවැරදි ක්‍රමවේදයකි. බොහෝ රටවල් මේ වනවිට තම පුරවැසියන්ට විද්‍යුත් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගනිමින් සිටී. 1998දී විද්‍යුත් ගමන් බලපත්‍රයක් නිකුත් කළ පළමු රට මැලේසියාවය. 2008 දෙසැම්බර් මාසයේදී රටවල් 60ක් එවැනි ගමන් බලපත්‍ර නිකුත් කළ අතර 2019 වනවිට රටවල් 150කට වඩා අධික සංඛාවක් විද්‍යුත් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි.

හඳුනා ගැනීමේ පද්ධති සඳහා දැනට භාවිතා වන ප්‍රමිතිගත ජෛවමිතික වන්නේ මුහුණ හඳුනා ගැනීම, ඇඟිලි සලකුණු හඳුනා ගැනීම සහ ඇසේ කළුඉංගිරියාව හඳුනා ගැනීමයි. එක් එක් ජෛවමිතික විශේෂාංගයේ ඩිජිටල් රෑපය චිපය තුළ ගබඩා කර ඇත. ජෛවමිතික ලක්ෂණ සංසන්දනය කිරීම පරිගණකයක් මගින් සිදු කෙරේ. ව්‍යාජ ගුවන්ගමන් බලපත්‍ර යොදාගනිමින් වංචනික ක්‍රියාවල නිරතවන පුද්ගලයන් මැඬලීම සඳහා ශ්‍රී ලංකාවද ඊ පාස්පෝට් ක්‍රමවේදය වෙත යොමු වී තිබේ.

ගමන් බලපත්‍ර ලබාදීමේදී සිදුවන අක්‍රමිකතා පිළිබඳවද පසුගිය දිනවල වාර්තා විය. මෙරට නිර්මාණය වූ ආර්ථික අර්බුදයත් සමඟ බොහෝ පිරිස් විදෙස්ගත වීමේ අරමුණින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට බත්තරමුල්ල විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය වෙත පැමිණීම පසුගිය කාලයේ සුලබ දසුනක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස එහි දිගු පෝලිම් දක්නට ලැබුණු අතර ඇතැමුනට දින ගණන් පෝලිම්වල සිටීමට සිදුවිය. එවැනි පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන විශාල වංචාවන් පිළිබඳවද දින කිහිපයකට පෙර අනාවරණ විය. දිනකට 500ක පමණ පිරිසකට පමණක් ගමන් බලපත්‍ර ලබාදෙන බැවින් ආගමන විගමන කාර්යාලයේ ඇතැම් නිලධාරින් හා ජාවාරම්කරුවන් පිරිසක් එක්ව වංචනික ලෙස මුදල් ලබාගෙන ගමන් බලපත්‍ර ලබාදීමේ ව්‍යාපාරයක් ක්‍රියාවට නංවා තිබිණි. සාමාන්‍ය ක්‍රමයට ගමන් බලපත්‍ර අයැදුම් කළ පුද්ගලයන්ට පෝලිම්වල රුඳී නොසිට මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්දින සේවාව මගින් බලපත්‍රයක් ලබා දීමට මෙම පිරිස කටයුතු කර තිබිණි. ඔවුන් ඒ සඳහා රුපියල් 25,000ක් පමණ අය කළ අතර ආගමන විගමන කාර්යාලයේ නිලධාරියාට රුපියල් 20,000ක් ද තැරුව්කරුට 5000ක්ද එම මුදලින් හිමිවූ බව පැවසේ. විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයේ වැඩකටයුතු සම්බන්ධයෙන් ජනතාව අතර පැවතියේ විශාල අප්‍රසාදයකි. මෙම වංචනික ක්‍රියා මාධ්‍ය ඔස්සේ අනාවරණ වීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් එම පරිශ්‍රයට යෙදවීමට බලධාරින් කටයුතු කළ අතර විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයද වෙනස් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු කළේය. සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධරීන් යොදා සිදුකරන ලද විමර්ශනවලදී ජාවාරම්කරුවන් 16 දෙනකු සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකද අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

මහජනයාට රස්තියාදුවකින් තොරව ගමන් බලපත්‍රය ලබා ගැනීමට සඳහා ජූනි 1 දා සිට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය ''මාර්ගගත ක්‍රමය ඔස්සේ ජනතාවට තම නිවෙසේ සිටම විදේශ ගමන් බලපත්‍රය සඳහා අයැදුම් කළ හැකි වන අතර ප්‍රදේශීය ලේකම්කාර්යාලවලට ගොස් ඡායාරෑපය ගෙන ඇඟිලි සලකුණු ලබා දී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේම මුදල් ගෙවීමෙන් පසු දින තුනක් තුළ විදේශ ගමන් බලපත්‍රය ලබා දීමටත්, සාමාන්‍ය ක්‍රමවේදය ඔස්සේ සති දෙකකට පසු නිවෙසටම ගමන් බලපත්‍රය ලබා දීමටත් කටයුතු සූදානම් කර තිබෙනවා'' යනුවෙන් සඳහන් කරයි. වංචනික පුද්ගලයන්ට මුදල් දීමෙන් වළකින ලෙසට අවවාද කරන ඔහු අල්ලස් දෙපාර්තමේන්තු නිලධාරීන් හා පොලිසි නිලධාරින් එවැනි පුද්ගලයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින බවද සඳහන් කළේය.

මෙම තත්ත්වය මැඬ පැවැත්වීම සඳහා ලබන මාසයේ සිට දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් ඔස්සේ දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය ලබා දීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය. එම ස්ථානයේදීම ඡායාරෑප ගැනීම ඇතුළු අනෙකුත් සියලු අවශ්‍යතා ඉටු කරගත හැකි වන අතර විදේශ ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කළ පසු දින තුනක් වැනි කාලයක් තුළ එය ඉල්ලුම්කරුගේ නිවෙසටම ලබාදීමට හැකිවනු ඇතැයිද ඒ අනුව දැනට ක්‍රියාත්මකව පවතින කාර්යාල 4ට අමතරව නව කාර්යාල 50ක් ඇතිකිරීමෙන් දැනට පවතින තදබදය සම්පූර්ණයෙන්ම නැතිවන බවද ඔහු සඳහන් කළේය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02