2023 ජුනි 10 වන සෙනසුරාදා

ලෙඩ හදන කෑම දරුවන්ට දෙන්න එපා: සෞඛ්‍යයෙන් මාපියන්ට දැඩි අවවාද

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 321

දරුවන් රෝගීන් බවට පත් කරන, කරවන ආහාර මිලදී ගෙන දරුවාට ලබාදීමෙන් වළකින ලෙසත්, එබඳු සෞඛ්‍යයට අහිතකර ආහාරවලට ඔවුන් ඇබ්බැහිවීම නිසා, අනාගත පරම්පරාව රෝගීන් බවට පත් කිරීමට එය මූලික හේතුවක් වන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්මිණි මාගොඩරත්න මහත්මිය පසුගියදා දෙමාපියන් වෙත අනතුරු ඇඟවීමක් කළාය.

රට තුළ විවිධ අය අතර විවිධ ආහාර පුරුදු පවතින අතර සීමාව ඉක්මවා ඇතැම් ආහාරවලට  ඇදී යාමක් දක්නට ඇති බවත්, බොහෝ විට වැඩිහිටියන් පහසුව සහ රසය ගැන පමණක් සිතා මේ ආහාරවලට ඇදී යාමෙන් ඒ සඳහා සිය දරුවන්ද හුරු කරවන අතර බොහෝ විට පෝෂණය අතින් අහිතකර සෞඛ්‍ය සම්පන්න නොවන මේ ආහාර පුරුදු දරුවන් තුළ ඇබ්බැහියක් බවට පත්වන බවත් එය ඉතා අනතුරුදායක බවත් ඇය පෙන්වා දෙයි. 

මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය විසින් 2030 වන විට සියලු ආකාරයේ මන්දපෝෂණ අවසන් කිරීමේ අරමුණින් 2021-2030 සඳහා වූ ජාතික පෝෂණ ප්‍රතිපත්තිය සංශෝධනය කර සංවර්ධනය කර හඳුන්වා දී ඇති බවත්, 2020-2030 දශකය සඳහා යෝජිත ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි මේ වන විටත් ක්‍රියාත්මක කරමින් ඇති බවත් අධ්‍යක්ෂවරිය පෙන්වා දෙයි. මෙම ප්‍රතිපත්තිය සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශස්ත පෝෂණ තත්ත්වය පවත්වා ගැනීම, ආහාර සුරක්ෂිතතාව සුරක්ෂිත කිරීම, සුරක්ෂිත ආහාර සඳහා ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා නීතිමය රාමුව ශක්තිමත් කිරීම, සදාචාර විරෝධී අලෙවිකරණය වැළැක්වීම සහ සුරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය වන උපාය මාර්ගික සැලසුම් සහ හදිසි අවස්ථාවලදී පෝෂණය ප්‍රවර්ධනය ඇතුළු  ප්‍රතිපත්ති රාමුවකින් සමන්විත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්මිණි මාගොඩරත්න මහත්මිය පෙන්වා දෙයි.

ඒ අනුව ජූනි මාසය තුළ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට (5) අඩු දරුවන්ගේ මිටි බව, කෘෂ බව, ස්ථූල බව, බර අඩුවීම ආදිය ගැන සොයා බැලීමක් සිදුවෙයි. ඒ මගින් රටේ දරුවන්ගේ ඌණතා ආදිය හඳුනා ගනිමින් ඉදිරි පෝෂණ තත්ත්වය තීරණය කරන බව ඇය පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකාවේ ජනතාව අතර සෑම වයස් කාණ්ඩයකම ජනතාව කෘෂ බවින් පෙළෙන අතර එසේම අධි බර සහ ස්ථූල බවින්ද පෙළෙන බවත්, එබැවින් අවශ්‍ය උසට සරිලන බරක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් සඳහා වඩාත් සුදුසු ආහාර මාර්ගෝපදේශයක් මේ වනවිටද සකස් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්මිණි මාගොඩරත්න මහත්මිය පෙන්වා දෙයි.  

එම ආහාර මාර්ගෝපදේශය අනුව තමන්ගේ මෙන්ම විශේෂයෙන්ම දරුවන්ගේද පෝෂණ කටයුතු පවත්වාගෙන යාමෙන් නිරෝගි අනාගත පරපුරක් බිහිකර ගැනීමට ඉතා පහසුවෙන්ම ඔබට දායක විය හැකි බව ඇය පෙන්වා දෙයි

කාටත් පිළිපැදිය හැකි සේ සකස් කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්මිණි මාගොඩරත්න පෙන්වා දෙන එම පෝෂණ ආහාර මාර්ගෝපදේශයට අනුව සාමාන්‍ය ආහාර වේලක පිඟානෙන් අඩක් ධාන්‍ය වර්ග සහ පිෂ්ඨය සහිත ආහාර පැවැතිය යුතුය. ඒ සඳහා බත් මෙන්ම තැම්බූ හෝ වෑංජන ලෙස සැකසූ කොස්, දෙල් වැනි ආහාරද පියළි සහිත ඇට වර්ගද යොදාගත හැකිය. ඒ අන්දමට පිඟානෙන් අනෙක් අඩෙන් තුනෙන් දෙකකට අවම වශයෙන් එළවළු 2 ක් සහ පලා වර්ගයක් එක්කර ගත යුතුය. පිඟානේ ඉතිරි කොටස සඳහා සත්ත්ව සහ ශාක ප්‍රෝටීන යන දෙක අඩංගු විය යුතුය. 

තම්බන ලද හෝ නිවුඩු සහිත සහල් මෙන්ම කුරුට්ට සහිත ධාන්‍ය ද පෝෂ්‍යදායක ආහාර වේලක තිබීමට ගුණ දේය. එළවළු, පලා මෙන්ම පියළි ඇට වර්ගද අන්තර්ගත විය යුතුය. මුහුදු ආහාර ලෙස දැල්ලන්, ඉස්සන්, මාළු මෙන්ම කරවලද මස් හැටියට කුකුළු මස් සහ තෙල් කොටස් රහිත වෙනත් මස් වර්ග මෙයින් එක් වර්ගයක් හෝ දිනපතා ආහාරයට එක්කර ගත යුතුය. ඊට අමතරව නැවුම් කිරි හෝ මුදවන ලද කිරි ආහාරයක්ද ලබාගැනීම වැදගත්ය. එසේම ප්‍රධාන ආහාර වේල් අතර අවම වශයෙන් පැය 2-3 අතර කාල පරතරයක් සහිතව කෙටි ආහාර වේල් ලබාගැනීමත්, කලින් සැකසූ තෙල්, පිටි, සීනි අධිකව යෙදූ ක්ෂණික ආහාර ගැනීමෙන් වැළකී සිටීමත්, නිසි පෝෂණයක් පවත්වාගෙන යාමට වැදගත් වන බවට එය උපදෙස් ලබා දෙයි. මේ සෑම ආහාර වර්ගයකම විවිධ රස සහ විවිධ වර්ණ සහිතව පිළියෙළ කරගත් ආහාර සතිය පුරා ගැනීම වැදගත්ය. කෙටි ආහාර වේල් ගැනීමේදී ඒ සඳහා කැලරි ප්‍රමාණය අඩු, පෝෂණය වැඩි ආහාර තෝරා ගැනීමටද සැලකිලිමත් විය යුතුය.

I සුගත්