පසුගිය කාලයේ ගන්නා ලද අමනෝඥ දේශපාලන ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සහමුලින්ම කඩා වැටිණි. එම අර්බුදයෙන් තවමත් ගොඩ ඒමට නොහැකි වී ඇති අතර එහි ප්‍රතිඵලය වූයේ ආහාර ද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යෑමය. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති කෘෂි අර්බුදයට විසඳුමක් ලෙස මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 250ක ප්‍රදානයක් ලබාදීමට ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු බිල් ගේට්ස්ගේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම ඉදිරිපත් වී සිටී. අග්නිදිග ආසියාවේ ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා සඳහා වන ප්‍රධානියා වන හරි මෙනන් සහ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ නියෝජිතයන් පිරිසක් පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීම සඳහා අවශ්‍ය සහය ලබාදෙන බවට ඔවුන් ප්‍රකාශ කර තිබේ.
කෘෂි ක්ෂේත්‍රයේ ඵලදාව හා පෝෂණය වැඩි කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය මෘදුකාංගයක් හඳුන්වා දීමට නියමිතය. ඒ සඳහා වන මූලික සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
එමගින් කෘෂි ක්ෂේත්‍රයේ දත්ත එකතු කිරීම, සහල් සහ අනෙකුත් බෝගයන්ගේ පෝෂණය වැඩිකිරීම මූලික අරමුණ වී තිබේ. නවීකරණය, පෝෂණය, දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සහ මූල්‍ය සුරක්ෂිතතාව වර්ධනය කිරීම මෙන්ම කෘෂිකාර්මික අංශයේ දත්ත පදනම් කරගත් තීරණ ගැනීම හරහා කෘෂිකාර්මික අංශය ඩිජිටල්කරණය කිරීමට එමඟින් සැලසුම් සකස් කෙරේ.
නව මෘදුකාංගයෙන් සෘජුවම පොහොර භාවිතයේ සිට ඵලදාව ලබා ගැනීම දක්වාත්, ලබාගන්නා ඵලදාව සංරක්ෂණය කිරීම උදෙසාත් අවශ්‍ය මඟපෙන්වීම ලබාදෙන බව අනාවරණ වී තිබේ. මීට අමතරව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ හා මෙරට මූල්‍ය පද්ධතිය මෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධ කටයුතුද මෙම මෘදුකාංගය ඔස්සේ ඩිජිටල්කරණයට ලක් කරනු ඇත.
ඩිජිටල් ශ්‍රී ලංකාවක් උදෙසා වන සංකල්පය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනම අතර සාකච්ඡා ආරම්භ වූයේ 2021 වසරේ සිටය.
තාක්ෂණ අමාත්‍යාංශය විසින් 2021 අප්‍රේල් මාසයේදී මේ සම්බන්ධයෙන් සහය දක්වන ලෙසට බිල් ගේට්ස් වෙත ලිපියක් යොමු කර තිබූ අතර ඒ වන විටත්, ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා ගෝලීය තාක්‍ෂණ ආයතනික සමාජ සත්කාර වැඩසටහන් මෙරටට ගෙන ඒම සඳහා අමාත්‍යාංශය කමිටුවක් ද පිහිටුවා තිබිණි.. මේ සම්බන්ධයෙන් බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනම සමඟ අවස්ථා කිහිපයකදීම සාකච්ඡා පැවැත්වූ අතර එහිදී කෘෂිකර්මය, පෝෂණය, දේශගුණික විපර්යාස, මූල්‍ය තත්ත්වය, හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යන අංශ පහක් පිළිබඳව වැඩි අවධානයක් යොමු විය.
ඒ අනුව ඔවුන් කෘෂිකර්මය පිළිබඳ ඩිජිටල් කෘෂිකර්ම පරිවර්තන සැලැස්මක් සැකසීමට සහය දක්වන අතර පෝෂණය සම්බන්ධයෙන් ලෝක ආහාර වැඩසටහන සමඟ එක්ව තෝරාගත් දිස්ත්‍රික්කවල සහල් සුරක්ෂිතතාව තහවුරු කිරීමට පියවර ගනු ඇත. මෙම නියමු ව්‍යාපෘතිය යටතේ පාසල් 1500කට වැඩි ප්‍රමාණයක සිසුන් 265,000ක් පමණ ආවරණය කිරීමට නියමිත බවද පැවසේ.
මෙහිදී ලෝක බැංකුවේ ID4D Group, Modular Open Source Identity Platform සහ ඇලන් ටියුරින් ආයතනයේ ඩිජිටල් අනන්‍යතා ක්‍රියාවට නැංවීමේ අංශයේ සහයද ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය. එමෙන්ම දේශගුණික විපර්යාස න්‍යාය පත්‍රයට සහ ප්‍රතිපත්ති උපදේශන මුලපිරීම්වලට සහාය වීම සඳහා රජය සමඟ හවුල් විය හැකි ආකාරය පිළිබඳවද එම පදනම සාකච්ඡා කිරීමට නියමිතය.
බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනමේ සහයෝගය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, &බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනම ශ්‍රී ලංකාව සඳහා සිදුකරන දිගුකාලීන කැපවීම සහ සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් ලබා දීමට අප සමඟ ඍජුව ක්‍රියා කරන බව දැකීම ප්‍රසංශනීයයි. කෘෂිකර්මාන්තය, පෝෂණය සහ අනෙකුත් තීරණාත්මක අංශ. ශක්තිමත් ඩිජිටල්කරණ රාමුවක් හරහා පහසු කිරීම සහතික කිරීමට රජයක් ලෙස අපි සෑම අතින්ම කටයුතු කරමින් සිටිමු. තවද, රට පුරා ප්‍රතිපත්ති මත පදනම් වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්යාලය ක්‍රියාකාරීව ඉදිරිපත්ව සිටී. එවැනි පසුබිමක එම උත්සාහයන් ශක්තිමත් කිරීමට පදනමෙන් අපට ලැබෙන සහයෝගය ප්‍රශංසනීයයි.” යනුවෙන් සඳහන් කර තිබේ.
මූල්‍ය ආධාර සහ නවීන තාක්ෂණය සම්බන්ධයෙන් පවතින රජයේ ප්‍රතිපත්ති සහ රෙගුලාසි යටතේ මැදිහත්වීම් සිදුකරන බවට බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ නිලධාරීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහතික වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනයක දැක්වේ.
එම අවස්ථාවේදී ජනාධිපති වික්‍රමසිංහ මහතා බිල් ගේට්ස් මහතාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනාවක්ද කර ඇත. නව වැඩපිළිවෙළ තුළින් රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමට ද සහාය හිමිවනු ඇතැයි මූලික සාකච්ඡාවේ දී අනාවරණ වී තිබේ. මෙම කටයුතු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටත් සිදුකෙරෙනු ඇත.
පසුගිය නොවැම්බරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශයකට අනුව, පුහුණු සහ නුපුහුණු ශ්‍රමිකයන්ගේ සංක්‍රමණය තියුනු ලෙස ඉහළ යාම මධ්‍යයේ රටේ ඇතිවන ශ්‍රම හිඟයට විභව විසඳුම් ලෙස ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයකරණය සහ රොබෝ තාක්ෂණය වෙත යොමු වීමට අදහස් කරන බව පෙන්වා දී තිබේ.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා