එළුවන් කෑගසන්නේ බෑ.. බෑ.. කියාය. නමුත් බෑ නොකියා එළුවන් ඇති කළහොත් ගොවියන්ට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව දැනට එළු පාලනයේ නිරත ගොවීහු පවසති. එළුවන් ඇතිකිරීමේදී මතුවන ගොවීන්ගේ අවදානම අවම කිරීමේ අරමුණ ඇතිව රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබෙන බව එම මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර මහතා පසුගියදා පැවසීය. කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවල නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
දැනට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ අංශ ගණනාවක් සඳහා නව රක්ෂණාවරණ ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයිද සභාපතිවරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඒ අවස්ථාවේදී දැනුම් දුන්නේය.
පශු සම්පත් පාලනයේදී රජය විසින් ඉදිරි වසර පහ ඇතුළත එළුවන් 70,000ක් ගොවීන්ට ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ එළුවන් සඳහා ද රක්ෂණාවරණයක් ලබාදීම සඳහා කටයුතු යොදා ඇතැයි එහිදී සඳහන් කෙරිණි. සාමාන්‍යයෙන් එළුවකුගේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වේ. එවැනි එළුවකු සඳහා දායක විය යුතු රක්ෂණ වාරිකය රුපියල් 400 කි. හරක් හොරකම මෙන්ම එළු හොරකම ද අපේ ගම්වල අසන්නට ලැබේ. මහන්සි වී ලොකු මහත් කරන එළුවා හොරු රුගෙන ගොස් මරා මස් කළොත් ගොවියාට වන්නේ විශාල පාඩුවකි. එළුවන් සොරකම් කිරීමකදී හෝ හදිසියේ මරණයට පත් වූ විට උපරිම වන්දියක් ලබා දීමටත් යෝජිත රක්ෂණ ක්‍රමයෙන් කටයුතු යොදා තිබේ.
එමෙන්ම එළු පාලනය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය යටතේ එළුවන් නොමිලයේ ලබා දීමේ වැඩපිළිවෙළ සඳහා රජය මෙම වසරට රුපියල් මිලියන 150ක මුදලක් ලබා දී ඇත. එළු පාලනයට කැමති රැකියා නොමැති ග්‍රාමීය තරුණ ප්‍රජාව අතර එළුවන් බෙදා දීමට පියවර ගනු ලබන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙයට පෙර පවසා තිබේ. රැකියා විරහිත තරුණ තරුණියන් රුසක් ග්‍රාමීය අංශයේ සිටින අතර ඔවුන්ට අමතර ආදායම් මාර්ග ලබාගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ එළුවන් ලබා දීම හා එළු පාලනය සඳහා අවශ්‍ය තාක්ෂණය ලබා දීම මෙන්ම එළු පාලනය ආශ්‍රිත නිෂ්පාදන නැවත මිල දී ගැනීම සඳහා පුද්ගලික අංශයේ සහයෝගය සලසා දීමට ද නියමිතය.
මේ ගැන විමසීමට අපි එළු පාලනයේ යෙදෙන ගොවියෙක් වන දෙල්ගොඩ කඳුබොඩ එච්.ඒ.වයි. ප්‍රියන්තට කතා කළෙමු: ‘‘එළු පාලනයේදී විවිධ බාධක මතු වෙනවා. එළුවන්ට විවිධ ලෙඩ රෝග හැදෙනවා. බඩේ අමාරු, මදුරු රෝග හැදෙනවා. හිටිගමන් අංශබාගෙ වාගෙ හැදිලා වැටෙනවා. මේ නිසා ජමුනාපාරි, සානන් වැනි පිටරට එළු වර්ග පරිස්සමින් රැකබලාගත යුතුයි. වෙලාවට බේත්, විටමින් ලබාදිය යුතුයි. දේශීය එළුවන්ට නම් රෝග එතරම් වැළදෙන්නේ නෑ. නමුත් උන්ගේ කිරි පලදාව අඩුයි. මේ නිසා එළුවන් වෙනුවෙන් රක්ෂණයක් පටන් ගැනීම එළු ගොවීන්ට සැලසෙන යහපතක් විදිහටයි මම දකින්නේ. දැන් එළු පාලනය ඉස්සරට වඩා අමාරුයි. උන්ට දෙන බේත්, විටමින්, කෑම වර්ග මිල අධිකයි. මේ නිසා බොහෝ දෙනෙක් එළුවන් හැදීම අත්හැරලා.''
අප රටේ ගව පාලනය තරම් ප්‍රචලිත නැතත් එළු පාලනය වැඩි ලාබයක් ඉපයිය හැකි පශු ක්ෂේත්‍රයකි. එළු කිරි මෙන්ම එළු මස්ද මිල අධිකය. එළු කිරි රෝග රුසකට ගුණදායක බව ආයුර්වේද මතයයි.
ශ්‍රී ලංකාවේ එළු පාලනය ප්‍රධාන වශයෙන් මස් හා කිරි නිෂ්පාදනය සඳහා සිදු කෙරේ. එළු මස් සඳහා ද හොඳ වෙළෙඳපොළක් පවතී. එළුවන් ඇතිකිරීමේදී අවශ්‍ය මූලික පිරිවැය අඩුය. ගවයින් ඇතිකිරීමට නුසුදුසු භූමි එළුවන් ඇතිකිරීමට සුදුසු වීම තවත් වාසියකි. එක් එළදෙනක් ඇති කිරීමට වැය වන වියදමින් එළුවන් 6-8 ප්‍රමාණයක් ඇතිකළ හැකිය.
අප රටේ ප්‍රධාන වශයෙන්ම ජනප්‍රිය වී ඇත්තේ උතුරු ඉන්දීය සම්භවයකින් යුත් ජමුනාපාරි එළුවන් සහ ස්විට්සර්ලන්තයේ සානන් එළුවන්ය.
ජමුනාපාරි හොඳ පෙනුමක් ඇති විශාල එළු වර්ගයකි. දිගට එල්ලා වැටෙන දිගටි විශාල කන් පිහිටා ඇති අතර සුදු දුඹුරු පැහැයක් ගනී. ඊම අමතරව නුබියන්, ඇරිකන් (දේශීය එළුවන්) ආදී තවත් එළු වර්ග කිහිපයක් රටේ පැතිර පවතී. එළු පාලනයට වඩාත් සුදුසු ශුෂ්ක කලාප පළාත්ය. මේ නිසා අම්පාර, මන්නාරම, හම්බන්තොට වැනි දිස්ත්‍රික්ක ඒ සඳහා වඩාත් සුදුසුය. මේ පළාත්වල පසුගිය කාලයේ එළු පොකුරු ගම්මාන ක්‍රමයක් ද ක්‍රියාත්මක කෙරුණි.
ලොව බොහෝ රටවල එළු පාලනයේදී මේ සතුන් රක්ෂණය කිරීම ක්‍රියාත්මකය. ඉන්දියාවේ මාස 4 පැටවුන්ගේ පටන් අවුරුදු 7 සතුන් දක්වා වයස එළුවන්ට රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මකය. සතුන් 100 කට වැඩිය රක්ෂණය කරන්නේ නම් වාරිකයෙන් වට්ටම් අඩු කිරීමක්ද එරට සිදුවේ. දැන් අපි වාහන විකුණන විට හෝ මිලදී ගන්නා විට රක්ෂණ සහතිකය පරීක්ෂා කරන්නා සේ ඉදිරියේදී එළුවාටද රක්ෂණ සහතිකය පරීක්ෂා කිරීමට කාලයක් එනු ඇත.
‘‘මේකත් ආණ්ඩුවේ වෙනත් නමට පමණක් කියවෙන වැඩක් නොවී සැලසුම්සහගතව ක්‍රියාත්මක වෙනවා නම් තමයි හොඳ. නැත්නම් නටපු තොවිලෙකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ වගේ වේවි. මල්වානේ තවත් එළු ගොවි මහතෙක් අප සමඟ කීවේය.
I කුසුම්සිරි විජයවර්ධන