2023.05.19 දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් එහි ප්‍රාදේශීය ගුවන් විදුලි ඉංජිනේරුවරු වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ ජාතික ගුවන් විදුලි සංස්ථාවේ සියලු ප්‍රාදේශීය සහ ප්‍රජා ගුවන්විදුලි මෙහෙයුම් කටයුතු මැයි 31 රාත්‍රියෙන් අවසන් කෙරෙන බවයි. ඒ අනුව රුහුණු, රජරට සහ කඳුරට සේවය සිංහල ස්වදේශීය සේවය සමඟ ඒකාබද්ධ කිරීමටත්, යාල් හා පිරෙයි එෆ්.එම්. දෙමළ ස්වදේශීය සේවය සමඟ ඒකාබද්ධ කිරීමටත් ඉංග්‍රීසි සේවය 94.4Fm/ 97.6Fm තරංග මාලා ඔස්සේ දීප ව්‍යාප්ත සේවයක් ලෙස තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත්ය. ඊට වැඩි යමක් එම චක්‍රලේඛයේ සඳහන් නොවුණු අතර එම සේවා වසා දැමීමෙන් පසු ඒවායේ සේවය කළ ස්ථීර සේවකයන් කොළඹ ප්‍රධාන කාර්යාලයට අනුයුක්ත කිරීමට හෝ කැමැත්ත මත වන්දි ලබා දී ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමකට රජය තීරණය කර තිබුණි.
කෙසේ නමුත් ප්‍රාදේශීය හා ප්‍රජා ගුවන්විදුලි සේවා සම්බන්ධයෙන් ගෙන තිබූ තීරණය පිළිබඳව රජරට හා කඳුරට සේවාවල සේවකයෝ විරෝධය පෑහ. විපක්ෂ නායකවරයාද සිය විරෝධය පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කළේය. කෙසේ නමුත් මැයි 31 වසා දැමීමට ගෙන තිබූ තීරණය දින කිහිපයකින් කල්දැමීමට සිදුවූයේ පොසොන් උත්සවයට සමගාමීව විශේෂ අනුග්‍රාහක වැඩසටහන් ප්‍රාදේශීය ගුවන්විදුලි ලබාගෙන තිබූ බැවිනි.
ආසියාව ප්‍රථමයෙන්ම ගුවන්විදුලි විකාශය ආරම්භ කිරීමේ ගෞරවය හිමිවන්නේ ශ්‍රී ලංකාවටයි. රේඩියෝ සිලෝන් නමින් 1925 දෙසැම්බර් 16දා කොළඹ සිට ගුවනට මුසු වූ හඬ අසල්වැසි රටවල් කිහිපයකින්ම ශ්‍රවණය කර ඇත. ඒ අනුව මහා බ්‍රිතාන්‍යයේ BBC සේවයේ ආකෘතියට අනුව ගුවන්විදුලි සේවයක් මෙරට ස්ථාපිත විය. ඉන් වසර 54කින් පසු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ මහජන ගුවන් විදුලි සේවාවක් ලෙස පළමු ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය රජරට සේවය නමින් අනුරාධපුර නගරයේ ආරම්භ වීමෙන් ග්‍රාමීය ජනයා ගුවන්විදුලියට වඩාත් සමීප විය. එනිසා ප්‍රාදේශීය සේවා තවදුරටත් පුළුල් කරමින් 1980 රුහුණු සේවයත් 1983 වසරේ කඳුරට සේවයත් ආරම්භ කෙරුණේ ප්‍රදේශීය ආගමික, සංස්කෘති හා කලාත්මක අංගයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණු සහිතවය. ඊට අමතරව 1981 වසරේ මහවැලි ගුවන්විදුලි සේවය මෙරට පළමු ප්‍රජා ගුවන්විදුලි සේවය ලෙස විකාශන කටයුතු ඇරඹීය. ඊට අමතරව ඌව, වයඹ, යාල්, දඹාන, පිරෙයි ආදී ප්‍රාදේශීය හා ප්‍රජා සේවා කිහිපයක්ද වරින්වර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ ආරම්භ කෙරුණේ සංවර්ධන ඉලක්කයන් සහිතවය.
එවක ප්‍රාදේශීය ගුවන්විදුලි හා ප්‍රජා ගුවන්විදුලි සේවා අපේක්ෂිත ඉලක්ක වෙත ගමන් කළ බවට එම සේවා තුළින් බිහි වූ සේනානායක වේරලියද්ද, කරුණාරත්න දිවුල්ගනේ වැන්නවුන් නිදර්ශන ය. එහෙත් 1990න් පසු පෞද්ගලික ගුවන්විදුලි සේවා ආරම්භය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තම ශ්‍රාවකත්වය රුකගැනීමේ තර්ජනයට ඇද දැමුවේ ය. එහි අග්‍රඵලය ලෙස වසර හතළිහක් පිරෙන මෙරට ප්‍රාදේශීය හා ප්‍රජා ගුවන් විදුලි සේවා සියල්ල අවසන් ගමන් යෑමට සැරිසරන්නේ ආදායම් උපයාගත නොහැකි තැනකට පත්වීමත් සමඟය. ප්‍රාදේශීය හා ප්‍රජා සේවා නවතා දැමීමට තීරණය වූයේ එබැවිනි.
ගුවන්විදුලිය සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය පිළිබඳව සාකච්ඡා කිරීමට විශ්වවිද්‍යාල ජනසන්නිවේන ආචාර්යවරුන්ගේ සංගමය හදිසි රුස්වීමක් කැලණිය විශ්වවිද්‍යාල ජනසන්නිවේදන අධ්‍යයනාංශ අංශ ප්‍රධාන විජයානන්ද රූපසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ගුවන්විදුලි සංස්ථාව තුළ පැන නැගී තිබෙන නවතම තත්ත්වය පිළිබඳව දීර්ඝව සාකච්ඡා විය. ගුවන්විදුලිය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටු සාකච්ඡාවලදී අනාවරණය වූ කරුණු කිහිපයක්ද මතු කෙරුණි. ගුවන්විදුලියේ සේවකයෝ 50%කින් අඩු කිරීමටත් ඒ යටතේ මැයි 31 සිට රුපියල් ලක්ෂ 18ක දීමනාවක් ගෙවා ස්වෙච්චා විශ්‍රාම ගැන්වීමේ වැඩපිළිවෙළ යටතේ සේවකයන් 300ක් පමණ විශ්‍රාම යාමටත් කැමැත්ත පළකර තිබේ.
ගුවන්විදුලි ප්‍රතිව්‍යූගත කිරීමේ විද්වත් කමිටු සාමාජිකාවක් වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කළණි ධර්මසිරි මහත්මිය පෙන්වා දුන්නේ, ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා සහ ප්‍රජා ගුවන්විදුලි සේවා ඇතුළුව ප්‍රධාන නාලිකාව පවත්වාගෙන යාමට මසකට ලක්ෂ 100ක් වැය වන බවයි. එම මුදලින් 50%ක් පමණක් ගුවන්විදුලි සංස්ථාව මාසිකව උපයන අතර ඉදිරියේදී ඉතිරි 50%ක මුදල භාණ්ඩාගාරයෙන් ලබානොදීමට තීරණය කර ඇති නිසා පළමු අදියර යටතේ සේවකයන් ඉවත් කිරීමට යෝජනා වී ඇති බවයි. එහෙත් ප්‍රාදේශීය හා ප්‍රජා ගුවන්විදුලි සේවා අහෝසි කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවේ දී ප්‍රකාශ නොවූ බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමිය අවධාරණය කළා ය. “විද්වත් කමිටුවේදී කියැවුණේ ගුවන්විදුලි සංස්ථාව, විකිණීමට තිබුණු රාජ්‍ය ආයතන 40ක ලැයිස්තුවේ තිබුණත් පසුව එය ජාතික ආයතනයක් වීම, එහි තිබෙන ඓතිහාසික කාරණා සහ මහජන සේවා සන්නිවේදන එළඹුම් සංකල්ප ආදිය සලකා ප්‍රතිව්‍යූහගත කරන රාජ්‍ය ආයතන 169ට ඇතුළත් කර තිබෙනවා කියලයි.''
ගුවන්විදුලි සංස්ථාව ආදායම් නොලබන තැනකට තල්ලු වීමට බාහිර සාධකවලට වඩා අභ්‍යන්තර සාධක හේතු වී ඇතැයිද වාර්තා වේ. එහි ක්‍රියාත්මක ඉංජිනේරු මාෆියාවක් නිසා ශ්‍රවණ කලාපය ඔවුන් විසින්ම බාධා කරගෙන ඇතැයි ගුවන් විදුලියේ ඇතැම් සේවකයෝ චෝදනා නගති. විකාශන මධ්‍යස්ථානවලින් විකාශන යන්ත්‍ර විවෘත කර තිබෙන්නේ අඩක් පමණක් යන්න ඔවුන්ගේ චෝදනාවයි.
ගුවන්විදුලි සංස්ථාව මුහුණ පා තිබෙන ගැටලු රුසකට ප්‍රධාන හේතුව එහි සිදුකර ඇති දේශපාලන පත්කිරීම් යැයි දීර්ඝ කාලයක් එහි සේවයේ නියුක්ත වූ අයෙක් පෙන්වා දුන්නේය. එක් එක් පක්ෂ බලයට පත් වූ පසු තම හිතවතුන් ගුවන්විදුලිය තුළට පිරවීම නිසා සේවක අතිරික්තයක් නිර්මාණය වීමෙන් වැටුප් ගෙවීමේ අර්බුදයත් හරවත් සංදේශ සමාජගත නොවීමේ අර්බුදයත් නිර්මාණය වී ඇතැයි යන්න ඔහුගේ මතයයි. එය ගුවන්විදුලි සංස්ථාවෙන් ග්‍රාහකයා ගිලිහී යාමටත් බලපා ඇත. ගුවන්විදුලි සංස්ථාව තුළ වෘත්තික ගුවන් විදුලි කාර්යමණ්ඩලයක් නොසිටීම, දැඩි නිලධාරිවාදයක් ක්‍රියාත්මක වීම, නුසුදුසු පුද්ගලයන් ඉහළ තනතුරුවලට පත්ව සිටීම හා දැඩි දේශපාලනීකරණය වූ ආයතනයක් වීම බරපතළ ගැටලුවක් යන්න ඔහුගේ විශ්වාසයයි. ඔහු යෝජනා කරන්නේ ''ගුවන්විදුලිය පූර්ණ ප්‍රතිසංස්කණයට ලක්කළ යුතු අවධියක තිබෙනවා'' යනුවෙනි.
ගුවන්විදුලිය ප්‍රතිව්‍යූහගත කිරීමේ වර්තමාන විද්වත් කමිටු සාමාජිකයෙකු මෙන්ම 1994 ගුවන්විදුලිය ප්‍රතිව්‍යූහගත කිරීමේ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කළ එම්.ජේ.ආර්. ඩේවිඩ් මහතා කියා සිටියේ, “ගිජුලිහිනියන් සේ මේවා ඩැහැගැනීමට පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් මේ නාලිකා බේරගන්න ඕන. මේවා වහලා දාලා අහෝසි කරන එක නෙවෙයි කළ යුත්තේ අලුත් තත්ත්වයන්ට ගැලපෙන පරිදි නිර්මාණාත්මකව ඉදිරියට ගෙන යා යුතුයි. සේවක පිරිස් ඉතාමත් වැඩියි. ඒ නිසා පාඩු ලබනවා කියල තර්ක මතුවෙනවා. මේ කාරණය සත්‍ය වුවත් ඊට එහා ගිය යථාර්ථයක් තියෙනවා. මේවායින් වන සේවය නිසා ඉතින් වහල දැම්මොත් ඇතිවෙන රික්තකය පුරවන්න බෑ. එනිසා වඩා ප්‍රජාතන්ත්‍රවාදි ගුවන්විදුලි ව්‍යූහයක් ගොඩනැගීමට ගුවන්විදුලි සංස්ථා පනතත් සංශෝධනය විය යුතුයි.''
ගුවන්විදුලිය සම්බන්ධයෙන් පර් ෙය්ෂණ කාර්යයන්හි නියුතු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික බණ්ඩාර මහතා යෝජනා කරන්නේ ප්‍රාදේශීය හා ප්‍රජාසේවා නූතන තාක්ෂණය භාවිත කිරීම, සමාජ මාධ්‍ය හා නව මාධ්‍යයට බද්ධ කිරීම, මහජන සේවයක් ලෙස රජය කිසියම් මූල්‍යමය දායකත්වයක් ලබාදීම හා ශ්‍රාවකයින්ගේ දායකත්වය ලබාගැනීමට ක්‍රමවේදයක් සැකසීම තුළින් ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවයි. නමුත් දිගුකාලීන විසඳුම් නිර්මාණාත්මක අන්තර්ගත සකස් කිරීමට අවධානය යොමුකිරීම යැයි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඇතැමුන් චෝදනා කරන්නේ මේ උත්සහ කරන්නේ ප්‍රදේශීය සේවා වසා දමා එම සංඛ්‍යාත වෙනත් පාර්ශ්වයකට පවරාදීමේ කූඨ උපක්‍රමයක් යනුවෙනි. ගුවන් තරංග මහජන දේපලය. එනිසා ගුවන්විදුලි සංඛ්‍යාත කිසිදු පාර්ශ්වයකට අවභාවිත කිරීමට ඉඩ නොදිය යුතු ය. ප්‍රතිව්‍යූහගත කිරීම නමින් ප්‍රාදේශීය සේව කොළඹට ගෙන ඒමෙන් පසු ඒවාට ස්වභාවික මරණයක් උරුම කරම දීමට අඳින පිඹුරු පතක් දැයි සිතීම සාධාරණය. එනිසා ප්‍රාදේශීය සේවා හා ප්‍රජා සේවා වසා දැමීම කිසිසේත්ම පිළිගත හැකි යෝජනාවක් නොවේ. එක් රුයකින් ඒවා වසා දැමීමට වඩා සාධනීය විකල්ප විසඳුම් වරින්වර ඉදිරිපත් වී ඇත. එවැනි සේවා පළාත් සභාවට පැවරීම හෝ ආසන්නයේ තිබෙන විශ්වවිද්‍යාලයකට පැවරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් වී ඇත.
එමෙන්ම දළදා මාලිගාව, රුවන්වැලි සෑය, මාතර බෝධ භාරකාර සංගමය ආදී ආගමික සංස්ථාද අදාළ ප්‍රදේශයේ තිබෙන සේවය පවත්වාගෙන යාමට ඉදිරිපත් වී ඇත. ඒවායේ ශක්‍යතා අධ්‍යයනය කර විද්වතුන්ගේ යෝජනාද සැලකිල්ලට ගනිමින් කටයුතු කිරීම යෝග්‍යය. නවතම වාර්තා අනුව ප්‍රාදේශීය ගුවන්විදුලි නැවැත්වීමට ගෙන තිබූ තීරණයට එල්ල වූ විරෝධය සහ ඉදිරිපත් වූ යෝජනා හේතුවෙන් එම තීරණය තාවකාලිකව නවතා දැමීමට විෂය භාර ආමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.
I සකීෆ් සාම්