2023 ජුනි 10 වන සෙනසුරාදා

කිරිබත් වෙනුවට වෙඩි කෑ සමූප රක්ෂණේ නව සභාපති

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 180

ශ්‍රී ලංකා සමූපකාර රක්ෂණ සමාගමේ හිටපු උප සභාපති දර්ශන ලලිත් සමරවික්‍රම මහතාට සිය වෘත්තීය දිවියේ ඉහළම උසස්වීම නිර්දේශ වී තිබුණේ මැයි 25 වැනිදා හෝ ඊට පසු දිනය. ඒ අනුව සමූපකාර රක්ෂණ සමාගමේ සභාපති පුටුවේ වැඩ බාරගැනීමට නියමිතව තිබුණේ ඉකුත් 5 වැනිදා පෙරවරුවේය. ඒ සඳහා සූදානමින් සිය මෝටර් රථයෙන් යමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ ඔහු ජීවිතය බේරාගෙන තිබුණේ අනූ නවයෙනි. වැරදුණු ඝාතන තැතට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනකු පිළිබඳ දැනටමත් පොලිස් විමර්ශන අරඹා තිබේ.

තම වෘත්තීය ගමනේ තවත් අඩියක් ඉහළට ගිය සතුට සමඟ නව තනතුරේ රාජකාරිය පිළිබඳ අප්‍රමාණ සතුටකින් පසුවූ සමරවික්‍රම මහතා මහත් සූදානමකින් නිවෙසින් පිටවූවේය. ඒ පසුගිය 5 වැනිදා උදෑසන 6.40 ට පමණය. පාදුක්ක වල්පිට පාර තිසර උයනේ පිහිටි නිවෙසින් පිටත් වූ ඒ මහතාට වැඩි දුරක් ගමන් කිරීමට ලැබුණේ නැත. ගැමුණු මාවත ප්‍රදේශය පසු කරනවාත් සමඟම මෝටර් රථය දෙසට විදුලි වේගයෙන් පැමිණි යතුරුපැදියකි. එහි දෙදෙනකු නැගී සිටි අතර පසුපැදිකරු අත වූ රිවෝල්වර වර්ගයේ ගිනිඅවියකින් උප සභාපතිවරයා දෙසට වෙඩි වරුසාවක් එල්ල කොට සැණෙකින් ඔවුහු පලා ගියහ.

වෙඩි ප්‍රහාරය හමුවේ සමූපකාර රක්ෂණ සමාගමේ හිටපු උප සභාපතිවරයා එලොව යන්නට ඇතැයි සිතා වෙඩික්කරුවන් පලා ගියද වාසනාවට සමරවික්‍රම මහතාගේ ජීවිතයට අනතුරක් සිදු වී නැත. එකදිගට එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරයෙන් එක වෙඩිල්ලක් වැදී තිබුණේ සමරවික්‍රම මහතාගේ අතකටය. තරමක භීතියකට පත්ව සිටි ඒ මහතා දුටු අසල්වැසියෝ ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගත්හ. ඒ අනුව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුට ශල්‍යකර්මයක් සිදු කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය කටයුතු කර තිබිණි. ඒ අතර සමරවික්‍රම මහතාගේ තත්ත්වය බරපතළ නොවන බවද දන්වා තිබේ.

සමූපකාර රක්ෂණ සමාගමේ හිටපු උප සභාපතිවරයාට වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඔහු තනිවම මෝටර් රථයේ ගමන් ගනිමින් සිට ඇතැයි කියති. ඔහු නිවෙසින් පිට වී යන අවස්ථාවේ ඇතැම් විටක යමකු විසින් ඔත්තු බලන්නට ඇති බවත්, ඔහු වෙඩික්කරුවන්ට තොරතුරු ලබාදෙන්නට ඇති බවත් පොලිසිය සැක කරයි.

වෙඩි ප්‍රහාරයට පසුව ඒ සම්බන්ධයෙන් තොරතුරු මීගොඩ පොලිසියට වාර්තා කොට තිබුණේ පැමිණිල්ලක් වශයෙනි. එසැණින් එහි පැමිණි පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ නිලධාරින් පිරිසක් කඩිනමින් විමර්ශන ආරම්භ කළහ. ඔවුන්ගේ දැනුම්දීම මත නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරින්ද පැමිණ පරීක්ෂණ ආරම්භ කොට තිබුණි. මෙහිදී වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ සමරවික්‍රම මහතාගේ ප්‍රකාශ හා ඔහුගේ බිරිය ලබාදුන් තොරතුරු අනුව සැක කටයුතු කරුණු කිහිපයක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් විය. එමෙන්ම වෙඩික්කරුවන් විසින් වෙඩි ප්‍රහාර 4ක් එල්ල කර ඇති බවද තහවුරු කරගෙන තිබේ.

රක්ෂණ සමාගමේ සභාපති තනතුර දර්ශන ලලිත් සමරවික්‍රම මහතාට ලැබී ඇතත් එම තනතුර අපේක්ෂාවෙන් තවත් පාර්ශ්වයක් එම ආයතනයේම සිට ඇති බවත් එය ඔවුනට නොලැබීම නිසා යම් විරසක බවක් මතුව ඇති බවත් පැවසේ.

මේ අතර කාලයක පටන් රක්ෂණ සමාගමේ අභ්‍යන්තර ගැටලු රැසක් පැවති බව කියැවේ. ඒ අනුව එම සමාගම තුළ රුපියල් මිලියන 100 ක පමණ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවද වාර්තා වී ඇත. ඊට විරෝධතාව පළ කරමින් සභාපතිවරයාට එරෙහිව සුබසාධක සංගමයේ සාමාජිකයන් නැගී සිට ඇතැයි කියති. ඉකුත් මැයි 22 වැනිදා කොළඹ ග්‍රෑන්ඩ්පාස් අංක 14 දරන කාර්යාල පරිශ්‍රයේ බිම් මහලට රැස්වූ එම සංගමයේ නිලධාරීන් 250 ක් පමණ විරෝධතාවකද නියැලී තිබිණ. මේ සාමාජිකයන් සමඟ වෙඩි ප්‍රහාරයට ලක්වූ හිටපු උප සභාපතිවරයා පෙරමුණේ සිට ඇති බවද කියැවේ.

එම ගැටලුව තිබියදී රක්ෂණ නියාමන කොමිෂන් සභාව ද ඊට මැදිහත්ව ඇත. ආයතනයේ සංස්ථාපිත ප්‍රකාශනයේ සඳහන් පරිදි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් නොකිරීම නිසා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර කටයුතු ජූනි 30 වැනිදා තෙක් අත්හිටුවීමට එම කොමිෂන් සභාව තීරණය කොට තිබිණ. පසුව මැයි 25 වැනිදා නැවතත් රක්ෂණ නියාමන කොමිසමේ සාමාජිකයන් එක්ව සිදු කළ සාකච්ඡාවට පසුව ඉහත තීරණය වෙනස් කර පසුදින සිටම සාමාන්‍ය රක්ෂණ කටයුතු සිදු කිරීමටත් අධ්‍යක්ෂක මණ්ඩලය හා තනතුරු වෙනස් කිරීමටත් තීරණය කර තිබේ.

ඒ අනුව පළමු පියවර වූයේ රක්ෂණ සමාගමේ සභාපතිවරයා ඉවත් කිරීමය. දෙවනුව ඒ සඳහා හිටපු උප සභාපතිවරයා පත් කිරීමට නිර්දේශ කෙරිණ. නමුත් තවත් පාර්ශ්වයක් සභාපති තනතුර අපේක්ෂාවෙන් පසුවී ඇතැයි කියති. එම අපේක්ෂාව ඉටු නොවුණු පසුබිමක වෙඩි ප්‍රහාරයට ලක්වූ උප සභාපතිවරයාට මරණීය තර්ජන එල්ල කර ඇතැයිද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කරුණු සෙවූ පොලිසිය අනාවරණය කරගෙන තිබුණේ මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු පිළිබඳ සැකයක් පවතින බවය. ඒ අනුව වෙඩි ප්‍රහාරය කොන්ත්‍රාතුවක් බවට පොලිසිය සැක කරයි.

සැකකරුවන් සොයා සී.සී.ටී.වී. දර්ශන හා වෙනත් විද්‍යාත්මක සාධක ඔස්සේද විමර්ශන සිදු කෙරේ. බස්නාහිර පළාත, දකුණ අපරාධ කොට්ඨාසය හා මීගොඩ පොලිසියේ අපරාධ අංශ නිලධාරීහු එක්ව වැඩිදුර විමර්ශන සිදු කරති.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02