රජයට ලැබෙන දේශීය ආදායම් නංවා ගැනීමේ පියවරක් වශයෙන් ස්වේච්ඡා බදු ගෙවන්නන් ලියා පදිංචි කර ගැනීමේ උපායක් යෝජනා කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇති පරිදි රජයේ ආදායම ප‍්‍රමාණවත් නැත. සරල කරන ලද එකතු කරන ලද බද්ද අහෝසි කෙරේ. වෘත්තිකයන්, ව්‍යාපාරයක් ලියාපදිංචි කර ඇති පිරිස පමණක් නොව වාහනයක් මිල දී ගෙන ඇති අය ද පෞද්ගලික බදු ලිපිගොනු ඇරඹිය යුතුය. 2018 වසරට පසු දේපළක් මිල දී ගත් අය පමණක් නොව පළාත් පාලන ආයතනයකින් නිවාස සැලසුමක් අනුමත කරගත් ඕනෑම අයකු, ස්වේච්ඡාවෙන් බදු ලිපිගොනු ආරම්භ කළ යුතු වේ. 2024 වසරේ ජනවාරි පළමුවැනිදා වයස දහඅට සම්පූර්ණ වන දරුවන් ද බදු ලිපිගොනු ඇරඹිය යුතු පිරිස බව නිකුත් කරන ලද ගැසට් නිවේදනය දක්වයි.
ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය අනුව දහඅට සම්පූර්ණ වූ පසුව ද ඉගෙනුම ලබන දරුවෙකි. විශ්ව විද්‍යාලයේ මහපොළ ආධාරය ලබයි. මහපොළ ප‍්‍රමාද වූ පසුබිමක අරගල කරන ශිෂ්‍යන්ට බදු ලිපිගොනුවක් අරඹන ලෙස නියම කිරීම හාස්‍යෝත්පාදකය. ලෝක බැංකුව දක්වන පරිදි පවතින ආර්ථික අර්බුදය තුළ ලක්ෂ පහකට රැකියා අහිමි වී ඇත. ජනගහනයෙන් 65% ක් අධික ජීවන වියදමින් පීඩා විඳිති. මිලියන ගණනකගේ ආදායම් පහත වැටී ඇත. ආණ්ඩුව සුරුට්ටුව පත්තු කර ගන්නට උත්සාහ කරන්නේ රුවුල ගිනිගෙන ඇති පුරවැසියන්ගෙනි. එය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගයක් අනුවය.
අයවැයෙන් නොකියැවුණු දේ
මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරන අයවැය ලේඛනය රජයේ මූල්‍ය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයකි. එම ලේඛනය වෙනස් කළ නොහැකි සදාකාලික ලියැවිල්ලක් නොවන බව පිළිගත හැක. මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා 2024 අයවැය ඉදිරිපත් කරමින් සෑම පුද්ගලයකුටම බදු ලේඛනයක් ආරම්භ කරන වැඩපිළිවෙළ ප‍්‍රායෝගික අදහසක් නොවන බව ප‍්‍රකාශ කළේය. ජනාධිපතිවරයාගේ අදහස සරලය. ලක්ෂ පහ හමාරකට වැඩි පිරිසක් වාර්ෂිකව වැඩිහිටි ජනගහනයට එකතු වෙති. දින 365 රාජකාරි කරන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දිනපතා අලුත් ලිපිගොනු 1,600 ක් අලුතින් ආරම්භ කරන්නට සිදු වේ.
අයවැය ප‍්‍රතිපත්තිවලටත් වඩා ඉදිරියට යන දේශීය ආදායම් නිලධාරින් ආණ්ඩුව පත්ව ඇති දුර්වල ආර්ථික තත්ත්වය සලකා තවත් අසීරුවට පත් කරන්නට උත්සාහ කරන බව පෙනේ. ජීවන වියදමෙන් බැට කා, තද කනස්සල්ලකින් පසුවන ජනතා විරෝධතා පාලනය කර ගන්නට නොහැකි තැනක පසුවන ආණ්ඩුවට තවත් කඩතොලු හදා දෙන මෙවැනි තීරණ බලධාරීන්ගේ අවධානයට ලක්විය යුතුය.
පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී ප‍්‍රකාශ කළ පරිදි ගෘහ ඒකක මිලියන 5.8 ක් ඇති අතර 2020 වසරේ පවත්වාගෙන ගිය ලිපිගොනු ගණන 293,305 කි. මෙයින් ලිපිගොනු 120,000 ක් 2021 වසරේදී ප‍්‍රතික්ෂේප වී තිබේ. ලිපිගොනු 28,621 ක් ගෙවන බද්ද රුපියල් 10,000 කට අඩුය. අවුරුද්දකට අඩුම තරමින් රුපියල් ලක්ෂයක්වත් බදු ගෙවන පුද්ගලයන්ගේ ගණන 5,493 කි. රුපියල් ලක්ෂ පහත් මිලියනයත් අතර ගෙවන පිරිස 1,593 කි. බදු අය කරගත හැකි තරම ගැන චිත‍්‍රයක් මෙහි අන්තර්ගතව ඇත.
ඉලක්කම් පමණක් ආදායම් ලබන ලිපිගොනු
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉලක්ක තිබේ. ඉලක්කම් ද ඇත. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කෝපා රැස්වීමේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තවමත් අය කරගත නොහැකි රුපියල් බිලියන 773.96 ක මුදලක් ගැන සඳහන් කළේ පසුගිය වසරේ දෙසැම්බර් මුල් සතියේදීය. අය කරගත යුතු බදු, දඩ මුදල් හා පොලිය මෙම විශාල මුදලට ඇතුළත්ය.
ශ‍්‍රී ලංකා ආණ්ඩුව දුප්පත් ජනතාව සඳහා අලුතින් ආරම්භ කර ඇති අවුරුදු හතරක සහනන වැඩපිළිවෙළ අනුව එක වසරකට වියදම් කරන මුදල රුපියල් බිලියන 260 කි. දුප්පතුන්ට සහන සැපයීම සඳහා අය කරගත නොහැකි බදු සම්පූර්ණයෙන්ම යෙදවිය හැකිව තිබියදී ඒවා උපයා ගත නොහැකි දෙපාර්තමේන්තුවට තවත් ඉලක්කම් පැවරීම හුදෙක් අභාග්‍යයක් පමණකි. කෝපා වාර්තාවේදී ප‍්‍රකාශ වී ඇති පරිදි රුපියල් බිලියන 201.4 ක් නඩු පැවරීමකින් තොරව අය කරගත හැකිව තිබේ. රුපියල් බිලියන 527.56 ක් නොයෙක් හේතු දක්වා අයකර ගැනීම අත්හිටුවා ඇති බව සඳහන්ය. දෙපාර්තමේන්තුවට ලැබුණු චෙක්පත් 4,831 ක් අගරු වීමෙන් අහිමි වී ඇති මුදල රුපියල් බිලියන 2.48 කි. මෙම චෙක්වලින් අයවිය යුතු බිලියන 1.3 ක් අවුරුදු තුනකට වඩා අගරු වී පවතින බවද විශේෂයෙන් පෙන්වා දිය යුතුය. සාමාන්‍ය පුරවැසියකුගේ චෙක්පතක් අගරු වුවහොත් කුදලාගෙන රිමාන්ඩ් කර නඩු පවරන පොලිසියට මෙම තොරතුරු නොලැබෙන හේතුව කුමක්ද? රජයේ බැංකුවලින් ණය ලබාගෙන ඒවා නොගෙවන ව්‍යාපාරිකයන් පසුව බොල් ණය වශයෙන් අත්හරින පසු වාසි ලබාගන්නා ආකාරයට බදු ගෙවන පිරිස දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී අයකර ගැනීම අත්හිටුවා ඇති ධනය ගැන නොසොයන්නේ ඇයි?
මැති ඇමැතිවරුන්ට හා නිලධාරීන්ට ද බදු ලිපිගොනු අරඹන බව ප‍්‍රකාශ වී ඇත. මැති ඇමැතිවරුන් 225 දෙනා ස්වේච්ජාවෙන් ලිපිගොනු ඇරඹුවහොත් එය ආදර්ශයට ගෙන මෙරට දරු දැරියන් වයස අවුරුදු දහඅට සම්පූර්ණ වූ වහා සිය කැමැත්තෙන් බදු අංකයක් ලබාගන්නා බව සැකයක් නැත.
ආදායම හා වියදම අතර දරුණු පරතරය
රජයේ ආදායම හා වියදම අතර පරතරය ඉහළ නැග ඇති බව අයවැය වාර්තා පෙන්වයි. එය පියැවීම සඳහා මුදල් අච්චු ගසමින් සිටියි. උද්ධමනය දරුණු ලෙස ඉහළ යන තරමට මුදල් ණයට ගැනීම ආර්ථිකය කඩා වැටෙන තත්ත්වයක් හෙයින් මූල්‍ය අරමුදල සීමා පනවා ඇත. වියදම පාලනය කර ගන්නට උත්සාහ නොකරන ආණ්ඩුව එයට සරිලන අන්දමට ආදායම වැඩිකර ගැනීමට පියවර ගන්නට සූදානම් අතර මහජනතාව උගුලකට හසු කරන බව පෙනේ. මැති ඇමැතිවරුන්ගේ යාන වාහන, ගෙවල් කුලී. දුරකථන හා සන්නිවේදන මෙවලම් සැපයීම, පරිවාර නිලධාරීන් වැටුප් හා දීමනා යනාදියෙන් කිසිවක් අඩු කර නැත. ආර්ථිකය බිඳ වැටී ඇති අවස්ථාවක පවා විදේශ සංචාර පුරුදු පරිදි සිදු වේ. ඇමැතිවරුන්ට කුඩයක්, විදුලිය පන්දමක් මිල දී ගැනීම සඳහා පවා මහජන මුදල් ලබාගන්නා රටක ආර්ථිකයක් අද පවතින තත්ත්වයේ හෝ තිබීම පුදුමයකි. දුප්පත් ජනතාවට බදු අංකයක් දෙන්නට කලින් රජයේ වියදම පාලනය කළ නොහැකි හේතුව කුමක්ද? දුෂ්කර අවස්ථාවකදී ගොඩනැගිලිවල අලංකරණය හා වායු සමීකරණය අඩු කරන අතර සාමාන්‍ය වාහන භාවිත කිරීම මහජන වෛරය පාලනය කරගත හැකි වැඩපිළිවෙළකි.
2023 අයවැය මගින් වැඩ කරන ජනතාවගේ උපයන විට ගෙවන බද්ද අති විශාල ප‍්‍රතිශතයකින් නංවා ඇති ආණ්ඩුව බැංකු ගිණුමක මුදල් ඉතිරි කරන ප‍්‍රමාණය සලකා බලා ඒවායෙන් ද බදු අය කරමින් සිටියි. වැට් බද්ද වැඩි කර ඇත. අපනයන අංශවලට ද වැට් පැනවීම වෙන කිසිදු රටක නොකෙරේ. විදුලිය බිලට ද තවත් බද්දක් ඇත. ක්‍රෙඩිට් කාඩ්, ඉඩම් හෝ දේපළ විකිණීම, වාහන මිල දී ගැනීම යනාදී සෑම අංශයකින්ම බදු අය කෙරේ. පළාත් පාලන ආයතන පවා බදු නියම කර ඇත. එම සියලු බදු ගෙවන ජනතාවගේ අත ඉතිරි වන කොටස සලකා අලුතින් බදු ලිපිගොනු ආරම්භ කිරීම අනුමත කළ හැකි කරුණක්ද?
1995 වසරේදී බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් 20.4% ක ප‍්‍රතිශතයක් බව මහ බැංකු වාර්තා පෙන්වයි. 2015 වන විට රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් 10.85% දක්වා පහතට වැටී තිබේ. එම බදු ප‍්‍රතිශතය 15% - 16% අතර ගණනක් දක්වා වැඩිකර ගන්නට රජයට උපදෙස් ලැබී ඇත. ආර්ථිකය පිට පිට වසර ගණනක් ඍණ අගයක් ගෙන ඇති අතර 2022-23 වසරවල තත්ත්වය අනුව පමණක් සලකන විට සියයට දහයක පමණ ඍණ අගයක් බව දැක්වේ. රජයේ ආදායම හා සමානව ජනතාවගේ සාක්කුව ද පිරිහී ඇත. අතිශය දුෂ්කර ජීවිත ගත කරන පහළ හා මැදි ආදායම් ලබන ජන කොටසට බදු ලිපිගොනු ආරම්භ කිරීමට බල කිරීම ආදායම ලබාගැනීමේදී ඉතාම පහසු පැත්තක් යැයි කල්පනා කිරීම වරදකි.
ආර්ථිකයෙන් කොටසක් ගැනීම
රජයට අයත් ව්‍යාපාර හා කර්මාන්ත විශාල ප‍්‍රමාණයකි. මෙරට විශාලතම ව්‍යාපාරය ආණ්ඩුවේ පාලනය යටතේ පවතී. එය ඛනිජ තෙල් සංස්ථාවයි. විදුලිබල මණ්ඩලය, ජල සම්පාදනය, ගමනාගමන, ගුවන් සේවය වැනි ආයතන විශාල පාඩු සහිත ඒවාය. එම ආයතන ඉතාම දුර්වල තැනක පවතී. අසාර්ථක ව්‍යාපාර අත්හරින ලෙස හා පෞද්ගලීකරණය කරන ලෙස මූල්‍ය අරමුදල බල කර තිබේ. ආණ්ඩුව එය තකන්නේ නැත. දූෂණ මර්දන පනතක් ඉදිරිපත් කරන ලෙස හෝ රජයට දන්වා ඇත. රජයේ අලාභ අඩු කරගත හැකි ආයතන ගැන හෝ දූෂණ අඩු කරන පනත් ගැන හෝ උන්නදුවක් නැති පසුබිම තුළ මහජනතාව තව තවත් බදු බරින් තෙරපීම යුක්ති සහගත නැත.
බදු අය කරගත යුත්තේ බලහත්කාරයෙන් නොවන බව කෞටිල්‍යගේ මතයයි. ඉන්දියාවේ දකුණු බිහාරයේ මගධ රාජ්‍යයේ විසූ කෞටිල්‍ය එවකට විසූ මයුරන් අධිරාජ්‍යයාට ආර්ථික උපදෙස් දී ඇති බව ඉතිහාසය අනාවරණය කරයි. බදු අය කරගත යුත්තේ ජනතාවට නොදැනෙන සේ ක‍්‍රමයෙන් බව ඔහු කියා සිටියේය. වැදගත්ම කාරණය වෙළෙඳාම වැඩි කිරීම බව කෞටිල්‍ය එදා ප්‍රකාශ කර තිබේ. ශ‍්‍රී ලංකාවේ ජනතාව අසීමිතව පනවන බදුවලින් පීඩාවට පත්ව සිටින අතර මෙම ඍජු බදුවලට අමතරව එදිනෙදා මිල දී ගන්නා බඩු භාණ්ඩ හා සේවාවලටද අධික බද්දක් මහජනතාව ගෙවති. මෙය කිසිසේත් සාධාරණ තත්ත්වයක් නොවේ. ආර්ථිකය වර්ධනය කරන පියවර ගෙන එහි ප‍්‍රසාරණය මගින් රජයේ ආදායම වැඩි කරගත යුතුව තිබේ. පවතින වාතාවරණය අනුව අලුත් කර්මාන්ත හෝ ව්‍යාපාර ආරම්භ කිරීම පහසු නැත. බදු, ණය පොලිය, ඉදිකිරීම් පිරිවැය, අධික වැටුප් ගෙවන්නට සිදුවීම හේතු කොටගෙන සමහර කර්මාන්ත වැසී යන කාලයකි. මෙම පසුබිම ගැන අලුතින් හිතන්නට ආණ්ඩුවට පමණක් නොව බලයට එන්නට සූදානමින් සිටින විපක්ෂයට ද වගකීමක් ඇත.
♦ සාරා කන්දෙගොඩ