2023 ජුනි 10 වන සෙනසුරාදා

මියගිය දරුවා බේරාගන්න කි.මී. 196 ක් ගිය තාත්තා

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 82

පාස්කු ඉරිදා කොළඹ ශැංග්‍රිලා හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු අත් කකුල්වලින් ලේ ගලන අතරේ පියෙක් සිය දරුවා දෑතින් වඩාගෙන හෝටලයෙන් ඉවතට දිවගියේය. දරුවා ඒ වනවිටත් මියගොස් සිටි අතර බෝම්බ ප්‍රහාරයෙන් ඔහුගේ දරු තිදෙනාම ඔහුට අහිමි විය. ඒ තාත්තා ඩෙන්මාර්කයේ වැඩිම ඉඩම් හිමි ධනවත්ම පුද්ගලයා වූ ඇන්ඩර්ස් හෝල්ච් පොව්ල්සන්ය. ලංකාවේ සංචාරයකට පැමිණ සිටි අතරේදී ඔහු ඇතුළු පවුල මෙම ඉරණමට ගොදුරු විය. මියගිය දරුවා දෝතින් බදාගෙන රක්ත පැහැ ගැන්වුණු ඇඳුමින් යුතුව ඔහු දිවගිය අයුරු එකල මාධ්‍ය වාර්තා කළේය. ඒ එක් තාත්තෙකි. 

මියගිය දරුවා රැගෙන යාමට අවමංගල රථයට ලබාදීමට මුදල් අඟහිඟකම් හේතුවෙන් පියෙක් සිය දරුවා අසනීප දරුවකු ලෙස අඟවා බස් රථයක ගෙන ගියේය. එම පුවතද එකල මාධ්‍ය වාර්තා කළේය. ඒ තවත් තාත්තෙකි. 

දාරක ස්නේහයට උපමා නොමැති බව යළි යළිත් සපථ කරමින් එවන් තාත්තලා සිහිපත් කළ සිදුවීමක් යළි සිදුවූයේ ඉකුත් 27 වැනිදාය. එය වාර්තා වන්නේ නුවරඑළිය මහ රෝහලෙන්ය.  

විනෝද චාරිකාවක් සඳහා බස් රථයකින් නුවරඑළියට පැමිණි පිරිසක් අතර සිටි වයස අවුරුදු 15ක දරුවෙක් හදිසියේ අසනීප වූයේ ඉකුත් 27 වැනිදා රාත්‍රියේය. සිහිසුන් වී සිටි දරුවා වහාම ඔවුන් පැමිණි බස් රථයෙන්ම නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට ඔහුගේ පියා කටයුතු කළේය. රෝගියකු රෝහලට රැගෙන ආ විට පළමු කාර්යය රෝගියා ලියාපදිංචි කරවීම වුවත් දරුවා රෝහලට රැගෙන පැමිණි අවස්ථාවේ දරුවාගේ ජීවිතය බේරාගැනීම හදිසි මෙන්ම ප්‍රථම රාජකාරිය කරගත් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දරුවා පරීක්ෂාවට මුල් තැන දුන්නේ ලියාපදිංචියට දෙවැනි තැන දෙමිනි. රෝහලේ වෛද්‍යවරුන් දරුවා පරීක්ෂා කර බලා දරුවාගේ පියා යැයි පැමිණි තැනැත්තාට වෛද්‍යවරුන් පවසා ඇත්තේ දරුවා මියගොස් සිටින බවයි. 
“මීට කලිනුත් දරුවා ඔය වගේ අසනීප වෙලා තියෙනවා. ඒ වෙලාවට දොස්තරලා දරුවා මැරිලා කියලා මට බොරු කළා. ඒත් ටික වෙලාවකින් දරුවාට සිහිය එනවා. මම පෞද්ගලික රෝහලකට ගෙනිහින් මගේ දරුවා බේරාගන්නම්.''

වෛද්‍යවරුන්ගේ ප්‍රතිචාරයෙන් උරණ වූ පියා එසේ පවසා ඔවුන් පැමිණි බසයෙන්ම සිය දරුවා රෝහලෙන් රැගෙන ගොස් ඇත්තේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට සිතන්නටවත් ඉඩක් ඉතිරි නොකරමිනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල නුවරඑළිය පොලිසීයට පැමිණිල්ලක් සිදු කළේය. එම පැමිණිල්ලට අනුව නුවරඑළිය මහ රෝහලේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කර බලා දරුවා රෝහලට රැගෙන පැමිණි බස් රථයේ අංකය ඔස්සේ පුළුල් විමර්ශනයක් ආරම්භ කළේ නුවරඑළිය මූලස්ථාන පොලීසියයි. එම බස් රථයේ අංකය ඔස්සේ බස් රථය බේරුවල ප්‍රදේශයේ බස් රථයක් බවට හඳුනාගෙන බේරුවල පොලීසියේ සහයෝගයෙන් දරුවාගේ පියා සහ පවුලේ සාමාජිකයන් නුවරඑළිය මූලස්ථාන පොලීසියට ගෙන්වා ගැනීමට කටයුතු කළේය.

මියගිය දරුවාගේ පියා ඇතුළු පවුලේ සියලු දෙනා නුවරඑළිය පොලිසියට පැමිණි සිටියේ මියගිය දරුවාගේ මරණ සහතිකය සහ වෛද්‍ය වාර්තාද සමඟිනි. 

“දරුවා පෙර අවස්ථා ගණනාවක මෙම අත්දැකීමට මුහුණ දුන්නා. එම අවස්ථාවලදී දරුවාට නැවත හුස්ම ආවා. මෙදා පාරත් එසේ වේ යැයි සිතා දරුවා කුඩා කල සිට ප්‍රතිකාර ගන්නා පෞද්ගලික රෝහලේ පවුලේ වෛද්‍යවරයා වෙත ගෙනයාමට කටයුතු කළා. ඒත් මෙදා පාර ඒ රෝහලේ වෛද්‍යවරුන් දරුවා මියගොස් ඇති බවට සනාථ කළා.''

සිය චාරිකාව ගිය බස් රථයෙන්ම පියා පවසන ආකාරයට සිය අසනීප දරුවා දෙවැනිවරට රැගෙන ගොස් ඇත්තේ නුවරඑළියේ සිට කිලෝමීටර 196 ක් දුරින් පිහිටි කළුතර බේරුවල පෞද්ගලික රෝහලකටය. පොලිස් විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ දරුවා දෙවැනි වරට ඇතුළත් කළ මෙම පෞද්ගලික රෝහලෙන් දරුවාගේ සිරුර නිසි ක්‍රමවේදයට අනුව රෝහලෙන් බැහැර කර ඇති බවත් මියගිය දරුවාගේ අවසන් කටයුතු නිසි පරිදි සිදුකර ඇති බවත්ය.

දාරක ප්‍රේමය යනු එකකි. රටක නීතිය යනු තවත් එකකි. එහෙත් අනතුර සහ අවදානම යනු වැදගත්ම දෙයකි. එහෙයින් මෙය එකකට එකක් සම්බන්ධ වන ප්‍රශ්න පත්‍රයක් බඳු සිද්ධියකි. 

මෙහි ඉදිරි නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් පොලිසියෙන් කළ විමසීමේදී පැවසූයේ  නුවරඑළිය රෝහලට දරුවා රැගෙන ගිය අවස්ථාවේදී ඇතුළත් කර ගැනීමේ ලේඛනයට තොරතුරු ඇතුළත් කර නොමැති හෙයින් දරුවා රැගෙන ගිය පියාට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපහසු බවයි.

දරුවා මියගොස් ඇති බවට වෛද්‍යවරුන් පැවසුවත් පියා, දරුවා නුවරඑළිය රෝහලෙන් රැගෙන යන්නේ පෙර සිදුවීම්වලින් ලැබූ උගත් පාඩම් අනුව දරුවාගේ ජීවිතය ගලවා ගැනීමේ උත්සාහයෙනි. ඒ සද්භාවයෙනි. එහි වරදක් නැත. රෝහලට රෝගීන් ඇතුළු කරගැනීමේදී ලියාපදිංචිය ප්‍රමුඛ ක්‍රමවේදයක් තිබියදී නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහල ලියාපදිංචියට ප්‍රථම දරුවා පරීක්ෂාවට ලක්කර ඇත්තේද දරුවාගේ ජීවිතය බේරාගැනීමේ ප්‍රමුඛ වූ සද්භාවයෙනි. එහිද වරදක් නැත. එහෙත් යම් ප්‍රශ්නයක් තිබේ. චාරිකාවක් අතරතුරදී හදිසියේ අසනීප වූ රෝගියකු ප්‍රතිකාර සඳහා එම ප්‍රදේශයට ආසන්නම පෞද්ගලික හෝ රෝහලකට ප්‍රතිකාර සඳහා යොමු කරනවා විනා කිලෝමීටර 196ක් දුරින් පිහිටි රෝහලකට ගෙනයාම රෝගීයාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් කෙතරම් සාධාරණදැයි ප්‍රශ්නයක් මතුවෙයි. එම රෝගියා මෙම අවස්ථාවේදී වයස අවුරුදු 15ක දරුවකු වීම පියාගේ මෙම ක්‍රියාව කෙතරම් අවදානම් සහගත අනතුරුදායක ක්‍රියාවක්දැයි පැහැදිලි වීමට වෙනත් කරුණු කාරණා අනවශ්‍යය. ඒ වගේම මෙම පියාගේ ප්‍රකාශයේ රටේ සෞඛ්‍ය සේවයේ විශ්වාසනීයත්වය සම්බන්ධයෙනුත් දෙවරක් සිතා බැලිය යුතු වැදගත් කරුණක් ගැබ්වී ඇතැයිද නොකියාම බැරිය.

ගේ ඇතුළේම මියගිය 74 හැවිරිදි සිය මවට දින 20ක් කෑම ලබාදුන් දියණියක පිළිබඳව මත්තේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූයේ 2022 වසරේදීය. තම මව මියගිය බව නොපිළිගත් දියණිය මළ සිරුර සමග දින 20 ක් ජීවත්වී ඇති අතර එම කාලය ඇතුළතදී මවට කෑම ලබා දී ඇති බවද අනාවරණය විය. හදිසි ආපදාමය අවස්ථාවකදී රෝගියකු හමුවේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ බොහෝදෙනාට ඇත්තේ අවම දැනුමක් බව මෙවැනි සිදුවීම්වලින් පසක් වන කරුණකි. එහෙයින් වරදට දඬුවම් දීමට පෙර සැමදෙනාට හදිසි ආපදා තත්ත්වයකදී එය කළමනාකරණය කරගන්නේ කෙසේද? එයට සුදුසුම ක්‍රියාමාර්ගය ගන්නේ කෙසේද? යන්න සම්බන්ධයෙන් මාර්ගෝපදේශ දැනුමක් මෙරට වැසියන් සැමට ලබාදීම කාලීන වැදගත්කමක් බව අවසන් වශයෙන් ලියා තබමු.

I  සසංක චලන ගිම්හාන