ආණ්ඩුවෙන් සහන දුන්නේ පාරිභෝගිකයන්ටද? වෙළඳුන්ටද? එය මේ දිනවල වෙළඳපොළට යන බොහෝදෙනාට නැගෙන පැනයකි. ඩොලරය අඩුවීමේ වාසිය, ඉන්ධන මිල ගණන් අඩුවීමේ වාසිය ඇතුළු පසුගිය සමයේ ලැබුණු සහන ගෙඩි පිටින්ම සිය මල්ලට ඔබා ගැනීමට බොහෝ වෙළෙන්දෝ කටයුතු කරමින් සිටිති. ඒ අතර පාරිභෝගිකයන් සම්බන්ධව පෙනී සිටින සංවිධාන සහ පාර්ශ්ව කූට ව්‍යාපාර වර්ජනය කළ යුතු යැයි යෝජනා කරමින් සිටී. ඒ නිසා සංකීර්ණයකි. සෑම අතින්ම තැලෙන්නේ මහජනතාවයි.
එම නිසාම මෙම තත්ත්වය සමීපව සොයා බැලීමට අපි කටයුතු කළෙමු. පසුගිය සතියේ මේ පිළිබඳ සමාජ මාධ්‍යයට සටහනක් එක්කර තිබුණේ ස්වයං රුකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගමය.
''කූඨ ව්‍යාපාර වර්ජනය කරමු! කූඨ නොවන ව්‍යාපාරික මහතුනි! පාරිභෝගික වර්ජනයකට පෙර අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වහා අඩුකරනු! රජයෙන් දුන් සහනය මංකොල්ල නොකනු! අමාරුවෙන් ජීවිතය ගැටගහන අපේම සහෝදර ජනතාව වෙත අනුකම්පා කරනු! නැතිනම් ඔබගේ ව්‍යාපාරය ජනයාගේ වර්ජනයෙන් අවසන් වනු ඇත.''
ඔහු මෙම අනතුරු ඇඟවීම විශේෂයෙන්ම සිදුකර තිබුණේ කුකුළු මස්, මාලු, බිත්තර, බේකරි ආශ්‍රිත කෙටි ආහාර මිල අඩු නොකරන වෙළඳුන්ට එරෙහිවය. මහජනතාව සමඟ එක්ව කූඨ ව්‍යාපාරවලට එරෙහි වර්ජනයක් රුල්ලක් අරඹන බවද ඔහු එහිදී සඳහන් කර තිබුණි. කොළඹින් ආරම්භ කොට මෙම ව්‍යාපාරය ගමට ගෙනියන බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව පළමුව අප මහින්ද කහඳගම සංවාදයක් සම්බන්ධ කරගතිමු.
''පිටකොටුවේ තොග වෙළෙන්දෝ කියනවා වෙළඳාම අඩු නිසා සිල්ලර වෙළෙන්දෝ බඩුගන්න එන්නේ නැහැයි කියලා. තොග වෙළෙන්දෝ එහෙම කිව්වට සිල්ලර වෙළඳාම කරන අයගෙන් ජනතාවට සහනයක් ලැබෙන්නේ නෑ. වැඩිවෙන වේගෙට වැඩිකරන ඒ වෙළෙන්දෝ අඩුවෙන වේගය අඩු කරන්නැති එක ප්‍රශ්නයක්. නමුත් මේකට විරුද්ධව අපි අරගල කරන්න ඕනෑ. කූඨ ව්‍යාපාරිකයෝ වර්ජනය කරන්න ඕනෑ.''
ඔහු පවසන්නේ පාරිභෝගිකයන් සතොස, සමූපකාර හෝ සුපිරි වෙළඳසැල් තෝරාගත යුතු බවයි. බඩුමිල අඩු නොකරන සිල්ලර වෙළඳුන් වර්ජනය කළ යුතු බව ඔහු කියා සිටී.
''මේ ව්‍යාපාරිකයෝ කරන්නේ අන්තිම අසාධාරණ වැඩක්. තාම බනිස් ගෙඩිය පාන් රාත්තල අඩු කරේ නෑ. දැන් ගෑස් එක අඩු කරා. දර පෝරණුවලින් පාන් පුච්චන අයවත් මිල අඩු කළේ නෑ. රුපියල් 50ක විතර ගණනකින් භූමිතෙල් ලීටරය අඩුවුණා. ඒත් තාම ධීවරයෝ මාළු කිලෝ එකක ගාන අඩු කළේ නෑ. මේ රටේ මිනිස්සු බෝම්බ, කොරෝනා, අරගල නිසා වසර ගණනක් අසරණ වෙලා හිටියා. ඉතිං එදා වේල හම්බ කරගෙන කන මිනිස්සුන්ටවත් මේ සහනෙ දෙන්න නැත්තං කොච්චර අසාධාරණද?''
ඒ අනුව කූඨ ව්‍යාපාර වර්ජනය කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළ ආරම්භ කරන බවටද මහින්ද කහඳගම අප සමඟ තවදුරටත් පැවසීය. ඒ සඳහා ඔහු මහජන සහායද ඉල්ලා සිටියේය.
මේ අතර බඩුමිල අඩුකිරීමේ වාසිය ජනතාව වෙත ගලා නොයෑමට හේතුව පාලකයන්ගේ වැරදි බව සඳහන් කරන පිරිසක්ද සිටිති. ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්ද මෙවන් අදහස් සිටින අයෙකි. බඩු මිලේ වාසිය ජනතාවට ලබා නොයෑම සම්බන්ධව අපි ඔහු සමඟද සාකච්ඡාවක් ඇති කර ගතිමු.
''භාණ්ඩ මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයා වෙත ලබාදිය යුතුයි කියන තැන අපි ඉන්නවා. ඒ වුණත් අපි තමා මේ රටේ කෑම මිල අඩුකරලා මේ රටේ සමාජ මතයක් නිර්මාණය කළේ. ඒත් මේ රටේ ආණ්ඩුවලටවත් විපක්ෂයටවත් වැඩපිළිවෙළක් නැති නිසා තමයි සංගම් මිල තීරණය කරන්න ගත්තෙ. එහෙම සංගම්වලට මිල තීරණය කරන්න බෑ. මේ රටේ පාරිභෝගික කටයුතු අධිකාරිය ඇතුළු ආයතන තියෙනවා. ඒ ආයතනවලින් තමන්ගේ වැඩේ හරියට කරන්නේ නැති නිසා තමයි සංගම්වලින් මිල තීරණය කරන්නේ.''
අසේල සම්පත් සඳහන් කරන්නේ භාණ්ඩ මිල අඩුවීමේ වාසිය ජනතාවට ගලා නොයෑමට හේතුවද වගකිවයුත්තන්ගේ දුර්වලතා බවයි. ඔහු පවසන පරිදි කළු කඩේට යටත් නොවී මෙරට තුළ නිදහසේ වෙළෙඳ පොළක, මිල තීරණ නොවන්නේ පාලකයන්ගේ දුර්වලතාවය හේතුවෙනි.
''මිනිස්සු වර්ජන කරන්න ඕනේ නෑ. මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳාගන්න තමයි දෙකෝටි විසි ලක්ෂයක් එකතුවෙලා පිරිසක් පාර්ලිමේන්තු යැව්වේ. මේවලට අදාළ අණපනත් අණපනත් සම්මත කරගෙන නීති රීති හොයා බලලා ආයතනවල තියෙන අඩුපාඩු සම්පූර්ණ කරන්න ඕනෑ එයාලයි.''
ඔහු පවසන පරිදි මහජනතාවද වෙළෙඳපොළට ගිය පසු බඩු මිල අධික නම් එම වෙළඳුන්ට එරෙහිව පැමිණිලි කිරීමට මැලි නොවිය යුතුය.
කවුරුන් කුමක් සඳහන් කළද වෙළඳපොළ තුළ භාණ්ඩ මිල ගණන් අඩු නොවීම පිළිබඳ වියවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබේ. අධික ලෙස ලාභ උපයන කුඨ වෙළෙන්දෝ රුසක් මේ වනවිටත් පොහොසතුන් වී හමාරය. භාණ්ඩ හා සේවා වර්ජනය කොතරම් ප්‍රායෝගිකද යන්න ගැටලුවකි. එහෙත් ජනතාව කුමක් හෝ කළ යුතුය. බලධාරීන්ද ස්ථිරසාර විසඳුමක් නිර්මාණය කිරීමට මැදිහත් විය යුතුමය. නැතිනම් තත්ත්වය බරපතල වනු ඇත.
පාරිභෝගිකයන්ට සාධාරණය ඉටුකරන්න අපි උපරිමව වැඩ කරනවා
- පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රකාශකයෙක්
වෙළඳ පොළේ තියෙන සියලුම භාණ්ඩවලට උපරිම සිල්ලර මිලක් නියම කරලා නෑ. හාල්, බිත්තර වගේ දේවල් සඳහා එහෙම මිලක් ගැසට් කරල තියෙනවා. විවෘත ආර්ථිකයක් පවතින රටක ඉල්ලුම සැපයුම අනුව මිල තීරණය වීම තමා සාමාන්‍යයෙන් සිදුවෙන්නේ. නමුත් ඒ සඳහා අවශ්‍ය තරගකාරීත්වය ඇති කිරීම අපේ අධිකාරියේ වගකීමක්.
ඒ අනුව භාණ්ඩවල මිල ප්‍රදර්ශනය කිරීම, මිල දර්ශන ප්‍රදර්ශනය කිරීම වැනි දෑ සම්බන්ධව අපි සැලකිලිමත් වෙනවා. වෙළෙන්දාට ඕනෑ ආකාරයෙන් මිල වැඩි කිරීමට අවකාශයක් ලබා නොදීමට අපි ඒ හරහා කටයුතු කරනවා.
ඩොලරය අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට නොලැබීම පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක්. නමුත් බොහෝ භාණ්ඩවල මිල අඩුවෙලා තියෙනවා. පරිප්පු, සීනි, අල, ලූණු වැනි භාණ්ඩවල විශාල මිල අඩුවීමක් දක්නට ලැබෙනවා. නමුත් කාලගුණික, දේශගුණික තත්ත්වයන් මත ඍතුමය වැඩිවීම් තිබෙනවා සමහර භාණ්ඩවල.
මිල පාලනයක් නොමැති භාණ්ඩ සඳහා මැදිහත් වීමේදී අපට නීතිමය අපහසුතා තියෙනවා. නමුත් අපි වෙළෙඳ පොළට ගියාම උපරිමයෙන් ඒ සඳහා සිදුකළ හැකි බලපෑම සිදුකරනවා. අපේ නිලධාරීන් ක්ෂේත්‍රයට ගියාම වෙළඳුන් අසාධාරණ විදිහට මිල වැඩිකිරීම සිදු කරනවා නම්, වාචිකව උපදෙස් දෙමින් වෙනත් නීති රීති හෝ භාවිතා කරමින් බලපෑම් කරනවා. පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට භාණ්ඩ ලබාදීම සඳහා අපි ආයතනයක් ලෙස සිදුකළ හැකි උපරිමය සිදුකරනවා.
I චමිඳු නිසල් ද සිල්වා