ශ්‍රී ලාංකික ජනතාව හරපත් හෙවත් ක්‍රෙඩිට් කාඩ්වලින් ගනුදෙනු කිරීමට පටන්ගෙන මේ වනවිට දශක තුනක් පමණ ඉක්මවා ගොස් තිබේ. හරපත් පාවිච්චි කිරීමට මධ්‍යම පාන්තික ජනතාව වඩාත් රුචියක් දක්වන්නේ එය මුදල් භාවිතයට වඩා පහසු බැවිනි. එයට හේතුව විටින් විට මුදල් ගෙවීමට අවශ්‍ය නොවීමය. කාර්යබහුල පාරිභෝගිකයාට ක්‍රෙඩිට් කාඩ්වලින් ගනුදෙනු කිරීම විශාල වරප්‍රසාදයක් වෙයි. තමන්ට අවශ්‍ය භාණ්ඩ සහ සේවා මිලට ගෙන ක්‍රෙඩිට් කාඩ්පත ඉදිරිපත් කර මුදල ගෙවා දැමීමට පහසුය. මුදල් නෝට්ටු භාවිත නොකිරීම පාරිභෝගිකයාගේ ආරක්ෂාවටද හිතකරය. එසේම තමන් අතේ මුදල් නැති අවස්ථාවක වුවද අවශ්‍ය දෙයක් මිලට ගත හැකිය. තමාට මුදල් ලැබුණු අවස්ථාවක අදාළ ආයතනයට මුදල් ගෙවිය හැකි නිසා පාරිභෝගිකයාට නිතර මුදල් ගෙවීමට අවශ්‍ය නොවේ.
මුලදී හරපත් භාවිතය ආරම්භ කළේ පෞද්ගලික බැංකු සහ මූල්‍ය සමාගම් මගිනි. එවැනි ආයතන පැවතුණේ කිහිපයක් පමණකි. එසේ වුවද මේ වනවිට අපේ රාජ්‍ය බැංකුද තරගකාරී ලෙස මෙම ව්‍යාපාරයට අතගසා තිබේ. ඒ නිසා මෙම කාඩ් නිකුත් කරන ආයතන අතර ඇත්තේ දැඩි තරගකාරී ස්වරූපයකි. පාරිභෝගිකයන් තමා වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුහු විවිධ උපක්‍රම යොදති. එයින් ප්‍රධාන වන්නේ ''ඩිස්කවුන්ට්'' හෙවත් වට්ටම් දීමයි. ඇතැම් ක්‍රෙඩිට් කාඩ්පත්වලට සියයට 20-25 ආදී වශයෙන් වට්ටම් දෙන බවක් දක්නට ලැබේ. එසේම ඇතැම් ක්‍රෙඩිට් කාඩ් ආයතන විවිධ වෙළෙඳ ආයතන සමඟ බද්ධ වී තිබේ. නම් කළ ක්‍රෙඩිට් කාඩ් වර්ගයකින් ඇතැම් වෙළඳ ආයතනවලින් භාණ්ඩ මිලදී ගත්විට හෝ සේවා ලබාගත් විට සිතාගන්නට නොහැකි තරම්, ඇතැම් විට සියයට 50කට අධික තරමේ වට්ටම් ලැබේ. එසේම ගන්නා භාණ්ඩවල වටිනාකම අනුවද වට්ටම් ප්‍රතිශතය ඉහළ දමා ඇත. මෙයින් අදහස් කරනුයේ පාරිභෝගිකයා එක්තරා ක්‍රෙඩිට් කාඩ් වර්ගයක් සමග බද්ධ කර තිබීමය. එවිට ඔවුන්ට එම වර්ගයෙන් බාහිරව ගනුදෙනු කළ නොහැකි වනවා ඇත.
එසේම පාරිභෝගිකයා තුළින් සැකසුරුවම්කම, පිරිමැසීම තුරන් කිරීමද මේවා පාවිච්චියෙන් සිදුවන අහිතකර ප්‍රතිඵල වෙයි. මුදල් දී භාණ්ඩ මිලට ගන්නා විට එසේ ගැනීමට හැකි වන්නේ අතේ ඇති මුදලට පමණකි. එවිට එම මුදලට සරිලන සේ භාණ්ඩ සීමාකර මිලට ගැනීමට පාරිභෝගිකයා නොදැනුවත්වම හැඩ ගැසේ. එවිට පමණ දැන මිලදී ගන්නා බැවින් අනවශ්‍ය භාණ්ඩ හා ප්‍රමාණ මිලදී ගැනීමෙන් වැළකීම සිදුවෙයි. මෙය එක්තරා විධියක ස්වයං වාරණයකි.
එහෙත් කාඩ්වලින් භාණ්ඩ ගන්නා විට එවේලේ මුදල් ගෙවීමක් නොමැති වන නිසා අතිරික්ත ලෙස මිලට ගැනීමක් සිදුවන්නේ ය. මුදල් ගෙවීමේ ප්‍රශ්නයක් එවෙලේ පැන නොනගින නිසා ඇති පදම් මිලට ගනී. සුපිරි වෙළෙඳසල්වලින් භාණ්ඩ මිලට ගැනීමට තම දරු මුනුපුරන් සමග පැමිණෙන සමහර පාරිභෝගිකයන් දරුවන් ඉල්ලන සෑම දෙයක්ම කිසිදු සීමාවකින් තොරව ලබාදීමට යුහුසුළු වන අයුරු දැකගත හැකිය. ඒ නිසා අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේ මිලට ගෙන බාස්කට් පුරවා ගැනීමට පුරුදු වී සිටිති. මිල ගැන නොබලා භාණ්ඩ මිලයට ගැනීමත් මෙහිදී සිදුවන අතර කේවල් කිරීමත් සිදුවන්නේ නැත. කියන මිලට හෝ සඳහන් කර ඇති මිලට භාණ්ඩ මිලට ගෙන අමාරුවේ වැටෙති.
අද ශ්‍රී ලංකාවේ පරිහරණය කෙරෙන හරපත් සංඛ්‍යාව ජනගහණයෙන් අඩකට ආසන්නය. ඇතැම්හු ආයතන දෙක-තුනක හරපත් පාවිච්චි කිරීමට පෙළඹී සිටිති. එක ආයතනයකින් භාණ්ඩ මිලට ගෙන නොගෙවා වෙනත් ආයතනයකින් මිලට ගැනීමට අපහසුවක් නැත. ඒ නිසා ආයතන කිහිපයකින් මිලට ගැනීමට පහසු වී තිබේ. අපේ රටේ විශේෂයෙන් ලාබාල හා යොවුන් අය ක්‍රෙඩිට් කාඩ් පරිහරණය කිරීමට නැඹුරු වී සිටින බව කිවයුතුය. එසේම එය එක්තරා විලාසිතාවක් බවට පත්ව තිබේ. කිසිදු මූලික ගෙවීමක් නොමැතිව ආකෘති පත්‍රය පුරවා දී එවේලේම ණයපත ලබාගත හැකිය. ඇපකරුවන් නොමැත. පාරිභෝගිකයාගේ ආදායම ගැනද සොයාබැලීමක් නොමැතිව මේවා නිකුත් කෙරේ. ඒ නිසා ඇතැම්හු තමාට දරාගත නොහැකි වටිනාකමෙන් යුතු කාඩ් ලබාගනිති.
ක්‍රෙඩිට් කාඩ් සඳහා අයකරන පොලිය මේ වනවිට සියයට 36 ඉක්මවා සිටී. මුල් දිනවල නම් මූල්‍ය ආයතන සහ බැංකු උපරිම පොලී ප්‍රතිශත පිළිබඳ සීමා පනවා තිබිණ. ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය නියම කරන ප්‍රතිපත්ති පොලී අනුපාතවලට සමගාමීව උපරිම පොලී ප්‍රතිශතය නියම කර තිබිණ. එයට වඩා පොලී අයකර ගත නොහැකිය. එහෙත් මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව පොලී සීමාවෙන් ඉවත්ව සිටී. තම ආයතනයේ ක්‍රෙඩිට් කාඩ් සඳහා පොලී ප්‍රතිශත නියම කිරීමට එම ආයතනවලට පුළුවන. ඒවායේ කළමනාකරණ මණ්ඩලය රුස්වී තම පොලී අනුපාතය නියම කරයි. ඒ නිසා විවිධ ආයතන අතර නොයෙක් පොලී අනුපාත ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන ආයතන අතර තියුණු තරගයක් ඇති නිසා ස්වයංක්‍රීයව පොලී අනුපාත පාලනය වෙන බවය. වැඩි පොලී අනුපාත අයකරන ආයතනවලින් ජනතාව ඉවත්වීමට පටන් ගන්නවා ඇත.
අසීමිතව භාණ්ඩ මිලට ගන්නා පාරිභෝගිකයා අපහසුතාවට පත්වන්නේ බිල ගෙවීමට සිදුවන විටය ආයතන නිතර උත්සාහ කරන්නේ පොලිය අයකර ගැනීමට වන අතර ප්‍රමාද වනවිට දඩ මුදලක්ද ගෙවීමට සිදුවෙයි. මේ තත්ත්වය නිසා ක්‍රෙඩිට් කාඩ්වලට පුරුදු වූ පාරිභෝගිකයාට එයින් ගැලවීමක් නොමැති වනවා ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 මැයි මස 31 දින පැවැති රුස්වීමේදී නිත්‍ය තැන්පතු අනුපාතිකය (SLFR) හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 13-14 දක්වා පහළ හෙලීමට කටයුතු කළ බව වාර්තා විය. මෙය පදනම් අංක 250ක අඩුවීමක් බව පැවසේ. මහබැංකුව නිවේදනය කළේ උද්ධමනය බලාපොරොත්තු නොවන ලෙස පහළයාම මෙයට හේතුව බවය. මෙම තත්ත්වය මත වාණිජ බැංකු අයකරන පොලී අනුපාත සැලකිවයුතු ලෙස පහළ වැටේ යැයි පාරිභෝගිකයෝ බලාපොරොත්තු වූහ. එහෙත් රාජ්‍ය වාණිජ බැංකු යම් යම් ප්‍රමාණවලින් ණය හා තැන්පතු පොලී ප්‍රතිශත අඩු කළද පෞද්ගලික වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන තවමත් ඒ පිළිබඳ නිසි සැලකිල්ලක් දක්වා නොමැති බව පෙනේ.
ක්‍රෙඩිට් කාඩ් පොලියද තවමත් සියයට 35-36 අතර ප්‍රමාණයක පවතී. ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන රාජ්‍ය බැංකු වුවද තමන් අයකළ ප්‍රතිශත පහළ දමා නොමැති බවක් පෙනෙන්නට තිබේ. මේ නිසා මෙම කාඩ් පරිහරණය කරන මධ්‍යම පාන්තික ජනතාවට අසාධාරණයක් වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවද මේ පිළිබඳ කර අරිමින් සිටින බවක් දක්නට ඇත. ඒ අය පවසන්නේ විවෘත වෙළෙඳ රටාවට අනුව පොලී මට්ටම තීරණය කිරීමද බැංකුවල වගකීමක් බවය. ඇතැම් බැංකු සහ මූලය ආයතන පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරයි. විශාල ලෙස වට්ටම් දීම ඒ එක් ක්‍රමයකි.
කෙසේ වුවද පාරිභෝගිකයන් සූරා ගැනීමට ක්‍රෙඩිට් කාඩ්වලට තවදුරටත් අවස්ථාව ලබා නොදිය යුතු බව පාරිභෝගිකයෝ කියති.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වූ අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ ක්‍රෙඩිට් කාඩ් පොලිය නියාමනය කිරීමට මහබැංකුව උනන්දුවක් නොදැක්වීම ඛේදජනක තත්ත්වයක් බවය. ඒ තත්ත්වය මත අසරණ පාරිභෝගිකයා සූරාකෑමට ලක්වේ.
''මම මහ බැංකු අධිපතිව සිටින කාලයේ ක්‍රෙඩිට් කාඩ් පොලිය සියයට 18ක මට්ටමේ තබාගත්තා. මහ බැංකුවට පොලිය පිළිබඳ පියවර ගත නොහැකි බව කියනවා නම් එය පිළිගත නොහැකියි. ක්‍රෙඩිට් කාඩ් පොලිය අසීමිත ලෙස වැඩි කළහොත් එය ජනතාවගේ ජීවන වියදම ඉහළ යාමට බලපානවා. අද බොහෝදෙනා මේවායින් ගනුදෙනු කිරීමට පෙළඹී සිටිනවා. අතීතයේ ක්‍රෙඩිට් කාඩ් බාරගත්තේ සුපිරි වෙළෙඳසල් පමණයි. ඒත් අද වනවිට සාමාන්‍ය වෙළෙඳ ආයතනවලින් පවා මේ ගනුදෙනුව කළ හැකියි. ඒ නිසා පාරිභෝගික සංඛ්‍යාව වැඩිවෙලා තියෙනවා.
අද වනවිට පෞද්ගලික බැංකු විතරක් නොවෙයි රාජ්‍ය බැංකු පවා විශාල ප්‍රතිශතයකින් පොලිය අය කරනවා. ඒ නිසා මහ බැංකුවට මේ සඳහා මැදිහත්වීමට අයිතියක් හා වගකීමක් තිබෙනවා. රටේ පොලී අනුපාත තීරණය කරන්නේ මහ බැංකුවෙන්. එයට සාධාරණ ලෙස බැංකුද පොලිය අයකළ යුතු වෙනවා. එයින් පිට පනිනවා නම් නිවැරදි කළ යුතුයි.''
ලීසිං සහ ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය පවසන්නේ මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ හෙළීමට තීරණය කිරීමත් සමඟ වාණිජ බැංකු සහ සියලු මූල්‍ය ආයතන වැඩිකර තිබූ පොලී අනුපාත අඩු කිරීමට කටයුතු කළ යුතු බවය.
''මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය පසුගිය 31දා තම ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දැමුවේ ඊට සමගාමීව වාණිජ බැංකුද සියලුම පොලී අනුපාත පහළ දමනු ඇත යන අපේක්ෂාවෙන්. ණය පොලී අනුපාත සියයට 9-10 පමණ පැවතියද පසුගිය සමයේ සියයට 34 දක්වා වැඩිකර තිබෙනවා. මහ බැංකු අධිපති වාණිජ බැංකු පොලී අඩුකරනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසුවද ඒ සඳහා ලිඛිත උපදෙස් ලබාදී නැහැ. පොලී අනුපාත වැඩි කිරීමේදී චක්‍රලේඛ නිකුත් කරන ශ්‍රී ලංකා මහ බැංකුව එය අඩුකරන ලෙස චක්‍රලේඛ නිකුත් නොකිරීම ගැටලුවක් බව කිවයුතුයි.''
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාත අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා:
''අද පවතින තත්ත්වය අනුව ක්‍රෙඩිට් කාඩ්වල පොලී උපරිමය තීරණය කරන්නේ එම බැංකුවල පරිපාලනය විසින්. මෙහිදී Lending Rate එක පදනම් වෙනවා. ණය පොලීවල උපරිමය තීරණය කරන්නේද ඒ ඒ බැංකු මගින්. ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සඳහා මගපෙන්වීම කරනවා. ක්‍රෙඩිට් කාඩ් අලෙවිය තරගකාරී ලෙස සිදුවන නිසා බැංකු අතර පොලියේ ලොකු වෙනසක් තිබෙන්න බැහැ.
මෙහිදී ක්‍රෙඩිට් කාඩ්වලින් විවිධ Promotion Scheme ක්‍රියාත්මක වෙනවා. විවිධ කාඩ්වලින් විශාල ලෙස අඩු කිරීම් කරනවා. මෙම අඩුකිරීම්ද සියලුම ක්‍රෙඩිට් කාඩ්වලින් අයකරන නිසායි ඒවායේ පොලිය ඉහළ මට්ටමක තියෙන්නේ. මෙහිදී සිදුවන්නේ මෙම වරප්‍රසාද ජීවිතයටම ලබානොගන්නා ක්‍රෙඩිට් කාඩ් හිමි පාරිභෝගිකයන්ටද මෙම මුදල ගෙවන්න සිදුවීමයි. එය අසාධාරණයක්. මුල් දිනවල අපේ රටේ මූල්‍ය සාක්ෂරතාව තිබුණේ සියයට 35ක ප්‍රමාණයේ. දැන් එම ප්‍රමාණය සියයට 54කට නැගලා. එසේ වුවත් හරි වැටහීමකින් මුදල් පරිහරණය කරන අය අඩුයි. ඒ නිසා තමා වෙළෙඳ උපක්‍රමවලට අමාරුවේ වැටෙන්නේ. ඒ පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු වෙනවා.
I යසවර්ධන රුද්රිගු